Language Switcher

V2025

ව්‍යාග්‍රාටත් කොරෝනා !

එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර පිහිටි බ්‍රොන්ක්ස් සත්ත්වෝද්‍යානයේ සිටින මැලේසියානු ව්‍යාඝ්‍ර දෙනකට නව කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

සත්ත්වයෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ බවට එක්සත් ජනපදයෙන් වාර්තාවන පළමු වතාව මෙය වේ.

බ්‍රොන්ක්ස් සත්ත්වෝද්‍යානය පවසන්නේ එරට ජාතික පශුවෛද්‍ය සේවා රසායනාගාරය තුළ සිදු කළ පරීක්ෂාවකින් නාඩියා නමැති මෙම ව්‍යාඝ්‍ර ධේනුවට නව කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවය.

මෙම සත්ත්වෝද්‍යානයේ වෙසෙන, බිලාල කුලයේ තවත් සතුන් හය දෙනෙකුට ද මෙම වෛරසය ආසාදනය වී ඇති බවත් මෙම සතුන් සිප වැළඳ ගන්නා, සත්ත්වෝද්‍යාන සේවකයෙකුගෙන් මෙම වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බවත් විශ්වාස කෙරේ.

එම සේවකයා සමඟ ගැවසීමෙන් අනතුරුව මාර්තු මස අවසන් භාගයේ පටන් වියලි කැස්ස වැනි රෝග ලක්ෂණ මෙම සතුන්ට මතු වී තිබේ.

"පුද්ගලයෙකුගෙන් සත්ත්වයෙකුට රෝගයක් බෝ වෙලා සත්ත්වයා අසනීප වූ බවක් අසන්නට ලැබෙන පළමු වතාව මේක වෙන්න ඇති." එම සත්ත්වෝද්‍යානයේ පශුවෛද්‍ය පෝල් කෝලේ, රොයිටර් පුවත් සේවයට පැවසීය.

නව කොරෝනාවෛරසය අසාදනය වූ බවට තහවුරු වී සතුන් වෙන්කර තැබූ අවස්ථා ලෝකයේ විවිධ පළාත්වලින් මීට පෙර වාර්තා වූ නමුත් විශේෂඥයන් අවධාරණය කරන්නේ සතුන් රෝගී විය හැකි බවට හෝ සතුන්ගෙන් එය බෝවිය හැකි බවට සාධක නොමැති බවය.

මෙම තොරතුරු අනෙකුත් සත්ත්වෝද්‍යාන සහ කොවිඩ් - 19 පිළිබඳව සමීක්ෂණ සිදු කරන ආයතන සමඟ බෙදා ගැනීම තම අරමුණ බව පශුවෛද්‍ය පෝල් කෝලේ පැවසීය.

"මේ මොහොතේ පවතින අතිශය අවදානම් තත්ත්වය හමුවේ අප නාඩියාව පරීක්ෂා කළා. මේ හරහා ලබා ගන්නා සෑම දැනුමක් ම මේ නව කොරෝනා වෛරසය පිළිබඳව අධ්‍යයනය කරන ලෝකය සමඟ හුවමාරු කර ගැනීමට අප සහතික වෙනවා." සත්ත්වෝද්‍යානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

නාඩියාට අමතරව ඇයගේ සොයුරියක වන අසුල්, තවත් ව්‍යාඝ්‍රයන් දෙදෙනෙකු සහ අප්‍රිකානු සිංහයන් තිදෙනෙකු ද රෝගී ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර එම සතුන් සියලුදෙනා ම පුර්ණ සුවය ලබනු ඇති බව සත්ත්වෝද්‍යානය පවසයි.

මෙම සතුන්ගේ ආහාර රුචිය අඩු වී ඇති නමුත් "පශුවෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ, සත්ත්වයන් රැකබලා ගන්නා පිරිස සමඟ ඔවුන් හොඳින් සිටින" බව සත්ත්වෝද්‍යානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙම නව කොරෝනා වෛරසය සතුන් තුළ කෙසේ ක්‍රියාත්මක වන්නේද යන්න තවමත් නොදන්නා බවත් එක් එක් සත්ත්ව වර්ග තුළ එය විවිධාකාරයෙන් ක්‍රියා කළ හැකි බවත් පවසන සත්ත්වෝද්‍යානය තවදුරටත් කියා සිටින්නේ සියලුම සත්ත්වයන් සමීපව අධීක්ෂණය කෙරෙනු ඇති බවය.

 111643447 whatsubject

ඉහත දැක්වූ සතුන් හය දෙනාට අමතරව මෙම සත්ත්වෝද්‍යානයේ සිටින වෙනත් කිසිදු සත්ත්වයෙකු මෙතෙක් රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැත. බිලාල කුලයට අයත් තවත් කොටි, ව්‍යාඝ්‍ර සහ සිංහ වර්ග කිහිපයක් ම මෙම සත්ත්වෝද්‍යානය තුළ වාසය කරති.

"දැනට රෝග ලක්ෂණ පෙන්නුම් කරන සතුන්ට මෙම වෛරසය ආසාදනය වන්නට ඇත්තේ ඔවුන් රැකබලාගන්නා අදාළ පුද්ගලයාට රෝග ලක්ෂණ මතු වන්නටත් කලින් විය හැකියි." සත්ත්වෝද්‍යානය පවසයි.

රෝග ලක්ෂණ පෙන්නුම් කරන සතුන් සිටින්නේ මෙම සත්ත්වෝද්‍යානයේ "ව්‍යාඝ්‍ර කන්ද" ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ ය. එහි වෙසෙන අනෙකුත් සතුන් ද නව කොරෝනාවෛරසය සඳහා පරීක්ෂා කෙරෙනු ඇතිදැයි තවමත් පැහැදිලි නැත.

කෙසේ නමුත් එක්සත් ජනපදයේ වන සත්ත්ව ආරක්ෂණ සංගමය විසින් පවත්වාගෙන යනු ලබන බ්‍රොන්ක්ස් සත්ත්වෝද්‍යානය ඇතුළු නිව් යෝර්ක් නුවර පවතින අනෙකුත් සත්ත්වෝද්‍යාන සියල්ලම මාර්තු 16වනදා පටන් මහජනතාවට වසා දමා ඇත.

මෙම සත්ත්වෝද්‍යාන තුළ සිටින සතුන් සහ සේවකයන් රැක බලාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

නව කොරෝනාවෛරසය පසුගිය වසරේ අග භාගයේ දී මුලින් ම වාර්තා වූයේ චීනයේ වූහාන් නගරයෙනි.

කොවිඩ් - 19 නමින් හැඳින්වෙන රෝගය ඇතිකරවන මෙම වෛරසය හැඳින්වෙන්නේ Sars-CoV-2 නමිනි.

මෙම වෛරසය වූහාන් නගරයේ පිහිටි වන සත්ත්ව වෙලේන්දපොළක සිටි සතෙකුගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන්නට ඇති බව විශ්වාස කෙරේ.

ඉන් පසුව එය වසංගතයක් බවට පත් වූයේ මිනිසාගෙන් - මිනිසාට සම්ප්‍රේෂණය වීමෙනි. නමුත් නාඩියා රෝගාතුර වීමෙන් අනතුරුව, මෙම වෛරසය මිනිසාගෙන් - සතුන්ට සම්ප්‍රේෂණය වේදැයි යන ප්‍රශ්නය මතු වී තිබේ.

ඇතිකරන සතුන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තැනින් තැන වාර්තා වූයේ සිද්ධීන් අතළොස්සක් පමණි. හොංකොං හි සුනඛයන් දෙදෙනෙකු ඒ අතර විය.

"බල්ලන් පූසන් ඇතුළු වෙනත් සතුන්ගෙන් - පුද්ගලයන්ට කොවිඩ් - 19 රෝගය වැළඳුණු අවස්ථාවක්" පිළිබඳව තවම එක්සත් ජනපදයෙන් සාක්ෂි ලැබී නැතැයි බ්‍රොන්ක්ස් සත්ත්වෝද්‍යානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සුරතලයට ඇති කරන බළලුන් සහ සුනඛයන්ගෙන් නව කොරෝනාවෛරසය සම්ප්‍රේෂණය වන බවට තවමත් සාධක හමු වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් මෙය හොඳින් තේරුම් ගැනීම සඳහා අධ්‍යයන කෙරෙමින් පවතින බව සත්ත්ව සෞඛ්‍යය සඳහා වන ලෝක සංවිධානය (World Organisation for Animal Health) පවසයි. එබැවින්, නව කොරෝනාවෛරසය ආසාදනය වූ පුද්ගලයන් සුරතල් සතුන් සමඟ සබඳතා සීමා කළ යුතු බවට අවධාරණය කරයි.

මෙම වෛරසය නිසා වානර කුලයේ සතුන්ට තර්ජනයක් එල්ල විය හැකි බව සත්ව ආරක්ෂණ ක්‍රියාධරයෝ අනතුරු අඟවති.

එම නිසා ගොරිල්ලන්, චිම්පන්සියන් සහ ඔරංග්ඔටන් වැනි සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගත යුතු බව ඔවුහු පවසති.