Language Switcher

V2025

වහගෙන ඉන්න තාක් කල් ඇරලා බලන්න මිනිස්සු කැමතියි!

කාලෙකට පස්සේ හොඳ ෆිල්ම් එකක් බැලුවා.

ෆිල්ම් එකක්. ඒ මොකක්ද ? .. ෆැන්ටසි කතාවක් වත්ද ? .

 හ්ම්, නැහැ නැහැ. Much Loved කියලා මොරොක්කෝ ෆිල්ම් එකක්. ෆැන්ටසි ලෝකේ ජීවත්වෙන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණා ඒක බැලුවම නම්. ජීවත්වෙන්න තමන්ගේ ඇඟ විකුණන මුස්ලිම් කෙල්ලෝ සෙට් එකක් ගැන කතාවක්. උන්ට පාරට වැටෙන්න සිද්ධ වෙන්නේ ඒ සමාජේ වැරැද්ද නිසාමයි.

කොහෙන්ද බං උඹ ඕවා හොයාගන්නේ..

අහම්බෙන් වගේ අහුවුණේ. මොරොක්කෝ රයිටර් කෙනෙක් ඉන්නවා Leila Slimani කියලා. දැන් නම් එයා ඉන්නේ ප්‍රංශේ. සාහිත්‍ය වෙනුවෙන් ප්‍රංශේ දෙන ඉහළම සම්මානේ වෙන Prix Goncourt සම්මානය 2016 දී එයාට ලැබුණා. අවුරුදු 112 ක ඉතිහාසය ඇතුළේ මේ සම්මානේ ලැබුණු හත්වෙනි කාන්තාව එයා. ඉතිං. අහම්බෙන් වගේ මේ රයිටර්ගේ ඉන්ටර්වීව් එකක් කියෙව්වා. එතකොට තමයි ෆිල්ම් එක ගැන අහන්න ලැබුණේ. අවසානේ මෙයා නවතින්නේ ප්‍රංශ ජනාධිපතිගේ උපදේශිකාවක් වෙලා. එයා එක තැනක කියනවා මොරොක්කෝවේ ඉන්න ගැහැණුයි - මිනිස්සුයි අතර තියෙන වෙනස ගැන.

‘‘මිනිහෙක්ට හරි හමන් රස්සාවක්, වියදමට සල්ලි වගේම අඩු තරමේ නිදහසේ ඇවිදින්න වීසා පවා නැතිවෙන්න පුළුවන්. ඒත්, ඒ ඔක්කොම අඩුපාඩු තියෙන much loved 1මිනිහෙක්ට කිසි ලැජ්ජාවක් නැතිව කන්‍යාවියක්ව බැඳගෙන ගෙදරකටත් හිමිකම් කියාගෙන ජීවිතකාලේටම සීලවන්ත ගැහැණියක්ව උරුමකර ගන්න පුළුවන්කම තියෙනවා. බටහිර මිනිස්සුන්ට නම් මේ කතා විහිළු වගෙයි.

අපේ වගේ සමාජයන් වල නම්බුව ප්‍රතිශ්ඨාපනය කරන තවත් එක් මගක් විදියට මේක හඳුනගන්නට පුළුවන්. මුස්ලිම් සමාජය ඇතුළේ තියෙන මේ පුහු නම්බුව දරාගෙන හිඳීම හරිම අසීරුයි. ඒ වගේම ඒ නම්බුව ගැහැණුන්ගේ පැත්තෙන් බැලුවොත් හරිම අදමිටුයි.‘‘

හ්ම්, ඔහොම කතාවක් කියන්න නම් අනිවා එයා මාර ගෑණියක් වෙන්න ඕන. මොරොක්කෝව මුස්ලිම් රටක්. දැන් අපේ රට සිංහල බෞද්ධ රටක්. එතකොට, මුස්ලිම් ගෑණු ලෝගු පොරවගෙන ඉන්නවා කියලා කෑ ගහන අපේ සිංහල බෞද්ධයයි කියාගන්නා නායකයෝ පිළිපදින්නෙත් ඔය කියන උතුම් මාර්ගයමනේ ඉතිං ?....

හොඳ තර්කයක්...ඒ ගැනනම් ටිකක් හිතලා බලන්න ඕන. හැබැයි ලොකුම විහිළුව කියන්නේ කසාදෙන් පිට සිද්ධවෙන ඕනම විදියේ ලිංගික සම්බන්ධතා, සමලිංගිකසේවනය නැත්නම් ගණිකාසේවය වෙනුවෙන් දැඩි දඬුවම් දෙන්න මොරොක්කෝ නීතිය නියම කරලා තියෙනවා. ගැහැණුන්ව පිළිකුල් කරන මේ පීතෘ මූලික සමාජය ඇතුළේ ගෑණුන්ට තියෙන්නේ චොයිස් දෙකයි. එක්කෝ කන්‍යාවියක් විදියට ජීවත් වෙන එක නැත්නම් කාගේ හරි ගෑණියක් වෙලා මුළු ජීවිත කාලේම ගෙවන එක.

much lovedඉතිං, මම හිතන්නේ නැහැ මේ බෞද්ධ රටක් කියාගන්න ලංකාවේ සමාජයත් ඔයිට වඩා වෙනස් ඇති කියලා. සෙක්ස් ඇතුළේ කොච්චර ඇරියස් ලංකාවේ ගෑණු මිනිස්සුන්ට තියෙනවද ?. කෙල්ලන්ගේ පැත්තෙන් බැලුවොත්, දැන් බලපං. සරළවම ගත්තොත් කෙල්ලෙක්ට පාරක නිදහසේ යන්න පුළුවන්ද ?. අඩු තරමේ ගෙදරට වෙලා තනියම ඉන්න පුළුවන්ද ? . වෙන එකක් තියා ෆේස්බුක් වගේ සෝෂල් මීඩියා ෆ්ලැට්ෆෝම් එකක් ඇතුළේ වත් උන්ට නිදහසේ ඉන්න පුළුවන්ද ? ...මාර වැඩක්නේ ඒක.

ම්ම්. මම හිතන්නේ මිනිස්සුන්ට තියෙන්නේ එක එක විදියේ චොයිස්. ඒ වගේ කෙනෙක් දිහා පහත් හැඟීමෙන් බලන්න නරකයි. මොකද ? අද අපි ජීවත්වෙන්නේ සෙක්ස් හිඟන සමාජයක් ඇතුළෙනේ. එහෙට මෙහෙට දුවන මේ සංකීර්ණ ජීවිත ඇතුළේ හැබෑ හැඟීම් එළියට ගන්නවත්, ඉස්කෝලේ කාලේ, කැම්පස් කාලේදී වගේ ඔය පරමයි පවිත්‍රයි කියන ආදරේ විඳගන්න වත්, ඒ හැඟීම් එක්ක ජීවත්වෙන්න වත් චාන්ස් එකක් නැහැනේ ඉතිං. එහෙම වටපිටාවක් ඇතුළේ සෙක්ස් හිඟන එක අහන්නත් දෙයක්ද ? . වහගෙන ඉන්න තාක් කල් ඇරලා බලන්න මිනිස්සු කැමතියි.

කවුද ? එතකොට ඒකට වගකියන්න ඕන.

වෙන කවුරුත් නෙමෙයි. අපි අපිම තමයි ඉතිං,

මිනිස්සු සංස්කෘතිය, සදාචාරය, සිරිත් විරිත්, හොඳ නරක මේ සම්මත වලින් බැඳී ඉන්න තාක් කල් හොඳයි. ඒවා එක මොහොතකදී හරි එහේ මෙහේ වෙලා අපි වහගෙන ඉන්න පුහු සාටකය හුළඟේ ගියොත් ආයෙත් අපි මෙලෝ සංස්කෘතික සාළුවක් පොරව නොගත්ත මිනිස්සු වෙනවා. මිනිස්සු අඳුරට කැමති ඒකනේ. මොකද අඳුරෙදි කරන දේවල් කාටත් පේන්නේ නැහැනේ. අඳුර අතර තනිවෙන්න, තනිවෙන්න මිනිස්සු ඇතුළේ ස්වභාවයෙන්ම හැංගිලා තිබුණු අර පරණ පුරුදු ගති එළියට එනවා. ඉතිං, තවදුරටත් උන්ට පුහු සදාචාරවාදී අදහස් කරේ ගහගෙන ඉන්න ඕන වෙන්නේ නැහැ.

ම්ම්, සුද්දෝ ඇවිල්ලා අපිව ශිෂ්ඨසම්පන්න කරලා ගියාලු. උන්ගේ නීති රීති, සංස්කෘතිය, පල්ලියෙන් ආව පුහු සදාචාරවාදී අදහස් ගෙනැල්ලා උන් ආපහු යන්න ගියා. හැබැයි අපි තාමත් උන්ගේ නීති, රීති, සදාචාරවාදී අදහස් කරේ ගහගෙන සිංහල බෞද්ධකම ගැන උජාරුවෙන් කිය කියා, තැම්බී තැම්බී ජීවත්වෙනවා. ඒ වෙනුවට උන් මොනවද කරන්නේ. කසාදේ එපා නම් ලිවින් ටුගෙදර් හරි, විරුද්ධ ලිංගිකයෙක් ගැන ආදරයක්, හැඟීමක් පහළ වෙන්නේ නැත්නම් සමලිංගිකයෙක් එක්ක හරි ජීවත් වෙනවා.

උන් උන්ගේ නීති කඩලා ඉස්සරහට යද්දි සුද්දෝ ගොඩබහින්න කලින් එකගෙයි කෑම, නැත්නම් කිසිම ලියවිල්ලකින් තොරව සෙක්ස් කරපු, ළමයි හදපු වඩපු අපේ මී මුත්තලාගේ සංස්කෘතියට පයින් ගහලා මේ ඉරිලා යන කොළේක නෑ සනුහරේ මැද්දේ උජාරුවට අණ බෙර ගහලා අත්සන් කරපු ලියවිල්ලක් තියාගෙන, එකම ගෙදරක සුසුම් පොදි හෙළ හෙළා, ඒත් දෙතැනකට වෙලා දරුවෝ වෙනුවෙන් කියලා හරි, නැත්නම් නෑදෑයොන්ගෙන් දොස් අහන්න වෙයි කියලා හරි ලෝකෙට පේන්න ජීවත් වෙනවා.

much loved 2ඉතිං, එහෙම උන් ඔෆිස් එකේදී හරි, නැත්නම් පොඩ්ඩක් හරි තමන්ගේ ඇත්ත මූණ වසන්ගෙන බොරු මූණක් පෙන්නගන්න ලැබෙන සමාජ ජාල ඇතුළේ හරි (ලංකාවේ නම් ඉතිං ෆේස්බුක් ඇර වෙන එකක් නැහැනේ), යන එන මඟතොටේ, කඩපිලේ, නැත්නම් පාර්ක් එකේදී හරි උන් සෙක්ස් හිඟා කන එක අහන්නත් දෙයක්ද ? . මොරොක්කෝව වගේ පීතෘ මූලික සමාජයක් ඇතුළේ තියෙන තත්ත්වෙයි, මෙහේ තත්ත්වෙයි කිසි වෙනසක් නැහැ.

ම්ම්, ඔය හෑලි කියද්දියි මතක් වුණේ ලොකුම විහිළුව කියන්නේ අපිට නීතිය ගෙනාපු, අපිව ශිෂ්ඨාචාරගත කරයි කියාපු උන්, උන්ගේ පල්ලියට පවා ඇහුම්කන් නොදී සමලිංගික වගේම සමස්ත LGBT ප්‍රජාව වගේම උන්ගේ චොයිස් එක වෙනුවෙන් හරි, උන්ගේ හෙට දවස වෙනුවෙන් හරි මඟ විවර කරලා දෙද්දී, නැත්නම්, ඇබෝර්ෂන් නීතිගත කරලා දූෂණයට ලක්වෙන පුංචි දැරියන්, නැත්නම් තමුන්ට දරුවෙක්ව ජීවත් කරවන්න හයියක් නැහැ කියලා තීරණය කරන්න තරම් හයියක් තියෙන ගෑණුන්ගේ හෙට දවස සුවදායී කරද්දි, කසල ගොඩට දරුවෝ නොදාන දවසක් හදන්න වෑයම් කරන්න උරදෙද්දි, අපේ උන් මොනාද කරන්නේ ? .... උන් ගෙනාපු නීති, සදාචාරවාදී අදහස් ඇතුළේ හිරවෙලා හති දදා කිසිම සතුටක් නැතුව හැල්මේ දුවනවා. ඒක ඇතුළේ ගෑණුන්ටත් නොමැරී ජීවත්වෙන්න අනිවාර්යයෙන්ම සිද්ධවෙනවා. ඒකයි අපි කෙළ හළ හළා තාමත් ෆැන්ටසිය හොයාගෙන යන්නේ.....

සටහන - වින්ඩි