Language Switcher

V2025

පළමුව දූෂිත ජාතික ඔලිම්පික් කමිටු ඉස්තාලය පිරිසිදු කළ යුතුයි - රොහාන් ප්‍රනාන්දු

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය සඳහා ඔබ මෙවර ඉදිරිපත් වන බව සඳහන් වෙනවා?

ඔව්. පෙබරවාරි 23 වනදා නිලවරණය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මං එහි සභාපතිධූරය සඳහා ඉදිරිපත් වෙනවා.

වසර කීයකට පසුවද මේ නිලවරණයක් පැවැත්වෙන්නේ ?

2009 වසරෙන් පස්සේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයක් පවත්වලා නෑ. ඒක තමයි තියන ලොකුම ප්‍රශ්නය. අපි මේ තත්ත්වය වෙනස් කරන්න 10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් එක්වෙලා අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව දැනුවත් කර ලිපියක් යැව්වා. එහි ප්‍රතිඵල 2017 වසරේ සැප්තැම්බර් මාසයේ ලැබුණා. එහි තමයි සඳහන්ව තිබුණේ කඩිනමින් නිලවරණයක් පවත්වන්න කියලා.

ඇයි නිලවරණ නොපවත්වා හිටියේ?

මොකුත් නෙවෙයි, බලයේ ඉන්න තියන ගිජුකම. ඒ හරහා තිබෙන වරප්‍රසාද භුක්ති විඳින්න තියන අපේක්ෂාව. ඒ වගේම තමයි ක්‍රීඩාව නැංවීමට කිසිම අවශ්‍යතාවක් නොතිබීම. එහෙම නොවෙන්න රට කරවන ආණ්ඩු පිහිටුවන්න නිලවරණ තියනවා නම් ගමේ මරණාධාර සමිතියේ, සුභසාධන සමිතියේ නිලවරණ තියනවා නම් ඇයි ජාතික ඔලිම්පික් කමිටුවට නිලවරණ අදාළ නැත්තෙ.

ඒ විතරක් නෙවෙයි, වසර 4 කින් පමණ විධායක කමිටු රැස්වීමක් හෝ කමිටුවක් රැස් කරලා නෑ.

එකට හිටපු පාර්ශව දෙකට බෙදිලා තරගකරනවා කියලයි ආරංචිය?

එකට හිටියා. නමුත් වැරදි තීන්දු තීරණ ගන්නවා නම්, අත්තනෝමතික විදිහට ක්‍රියාකරනවා නම්, ක්‍රීඩාවට, ක්‍රීඩා සංගම් වලට කිසිම සෙතක් නැත්නම්, පොදුවේ රට තුළ ක්‍රීඩාව කඩා වැටෙනවා නම්, ආයතන පද්ධති දුෂිත නම් එකටද ඉන්නෙ, වෙන වෙනමද ඉන්නෙ කියන එක අදාළ නෑ. අපි මෙවර ඉදිරිපත් වෙන්නේ ඔය තත්ත්වය වෙනස් කිරීමේ අධිෂ්ඨානයෙන්.

කවුද ඔබේ සහයට ඉන්නේ?

ඇත්තටම මෙවර නිලවරණයට මං ඉදිරිපත් වෙන්නේ නියෝජිතයන් 15 දෙනෙකු විසින් කළ ඒකමතික නිර්දේශයක් අනුවයි. ඒ වගේම තවත් අනුබද්ධ සංගම් ගණනාවක් අපට සහය දෙන්නට ඉදිරිපත්ව සිටිනවා.අපි උත්සාහ කරන්නේ මේ තියන තත්ත්වය වෙනස් කරන්න. තවදුරටත් මේ විදිහට යන්න ඉඩදීලා බලාගෙන හිටියොත් සිදුවන දේ පැහැදිළියි.

මොකක්ද පැහැදිළියි කියන්නේ? අපි කැමතියි විස්තර ඇතුව දැනගන්න?

ජාතික ඔලිම්පික් කමිටුව පිහිටුවන්නේ 1937 වසරේ, එතැන් සිට වසර 10ක් ගතවන විට ඒ කියන්නේ 1948 වසරේ පළමු ඔලිම්පික් පදක්කම දිනන්න අපි සමත් වෙනවා. ඒ ඩන්කන් වයිට් හරහා. නැවත අපි ඔලිම්පික් පදක්කමක් දිනන්නේ 2000 වසරේ. සිඩ්නි ඔලිම්පික් තරගාවලියේදී සුසන්තිකා ජයසිංහ හරහා. අද වෙන කොට ක්‍රීඩාව තාක්ෂණිකව විශාල වර්ධනයක් ලබා තියනවා. අපේ රටට වඩා අඩු පහසුකම් තියන රටවල් පවා අද පදක්කම් දිනමින් සිටිනවා. නමුත් අපි, අපට මොකද වෙලා තියෙන්නෙ.

මේ නොහැකියාවට කවුද වගකියන්නෙ. අපේ අදහස මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩා ජාතික ඔලිම්පික් කමිටුවයි වගකියන්න ඕන. ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරය ජයග්‍රහණය කරවීම සඳහා සැලැස්මක් ඇතුව ක්‍රියාකළ තත්ත්වයක් දකින්න තියනවද? නෑ. රුපියල් මිලියන ගණනින් වැයකරලා තියෙන්නෙ කිසිම තේරුමක් නැති වැඩ වලටයි. ඉතින් රටට පදක්කමක් ගෙන එන්න නොහැකි, ක්‍රීඩක ක්‍රීඩිකාවන් බලාගන්න නොහැකි, ක්‍රීඩා සංගම් නොතකන නිකරුණේ මුදල් වැයකර දමන එක නම් වැඩේ, ඒක කරන්න ජාතික ඔලිම්පික් කමිටුවක් මොකටද.

ඒ විතරක් නෙවෙයි, ඔබට කියන්න 2012 වසරේ සිට 2016 වසර දක්වා අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතු ගිණුම් වාර්තා පවා ඉදිරිපත් කර නැහැ. ඒ අතරේ අක්‍රමිකතා රාශියක්ද සිදුව තිබෙනවා.

ජාතික ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර රෙගුලාසි අනුව කටයුතු නොකළ බවද කියන්නෙ?

ඔව්. ජාතික ඔලිම්පික් කමිටුවේ කිහිපදෙනෙකු රෙගුලාසි නොතකා තමයි වැඩ කරේ. ඒ විතරක් නෙවෙයි, ඔවුන් ක්‍රීඩා අමාත්‍යංශය සමඟ පවා ගැටුම් ඇතිකර ගත්තා. ඒ ගැටුම් ඔවුන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට හුවාදැක්වීමට කටයුතු කළේ දේශපාලන බලපෑම් තියන විදිහටයි.

ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ප්‍රශ්න ඇතිකරගෙන පුළුවන්ද ක්‍රීඩාව නංවන්න කටයුතු කරන්න. එහෙත් ඔවුන් එය සිදුකළා.

මේ තත්ත්වය වෙනස් කරන්න ඔබ ඇතුළු පිරිසට අවස්ථාව හිමිවෙයිද?

අපිට පැහැදිළි විශ්වාසයක් තියනවා. අපි මෙවර නිලවරණය සඳහා ඉදිරිපත් වන්නෙම "ක්‍රීඩාව දුෂණයෙන් ආරක්ෂා කර ගනිමු" යන තේමාව තුළ සියළුම ක්‍රීඩා සම්මේලන දැනුවත් කරමිනුයි. ඇත්තටම ජාතික ඔලිම්පික් කමිටුවේ මේ දුෂිත ඉස්තාලය පළමුව පිරිසිදු කළ යුතු වෙනවා.
මේ ගැන කාටවත් ගැටළුවක් තිබෙයි කියා මා හිතන්නෙ නෑ. අපට තිබෙනවා ජාතික ඔලිම්පික් කමිටුව වැටී ඇති මේ තත්ත්වයෙන් ඔසවා තබන්න ක්‍රියාකාරී සැලැස්මක්. එය ඉතා ප්‍රායෝගික සහ කාලෝචිත සැලැස්මක්. ක්‍රීඩාවට ආදරේ කරන මෙරට ක්‍රීඩාව නැංවීම වෙනුවෙන් අපේක්ෂා සිතදරා සිටින කිසිවෙකු මේ සැලැස්ම ප්‍රතික්ෂේප කරයි කියා අප හිතන්නේ නෑ.

අපි කැමතියි ඔබේ පාර්ශවය ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳත් දැනගන්න?

 අපේ සැලැස්මේ පළමු අංගය තමයි රට තුළ ක්‍රීඩා සංවර්ධනය නංවාලීම වෙනුවෙන් සහ ඔලිම්පීයත්වය ව්‍යාප්ත කිරීමේ දැක්මෙන් යුතුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, පෞද්ගලික සහ රාජ්‍ය අංශය ඇතුළුව ජාතික සම්මේලන අතර සමීප සම්බන්ධයක් ගොඩනැගීම.

ඒ වගේම ජාතික ක්‍රීඩා සම්මේලන බලගැන්වීම වෙනුවෙන් ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සහය දීමට සහ ඔවුන් සතු ව්‍යවස්ථාවන් අනුව අනුග්‍රාහකත්ව ලබන්නට අප සහය දෙන්න අපේක්ෂා කරනවා.

මේ කටයුතු සිදුවන අතරේම ජාතික ඔලිම්පික් කමිටුව සඳහා විනය හා ආචාර ධර්ම අනුගත කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය ජනවාරි 04 දින පැවති රැස්වීමේදී මෙන් අප්‍රසන්න හැසිරීම් යලිත් සිදුනොවන තැනට ආයතනය පත්කිරීමයි අපේ අපේක්ෂාව.

ඒ වගේම තමයි නව ක්‍රීඩා සම්මේලන සහ අඩු වරප්‍රසාද සහිත සම්මේලන වෙත වැඩි අවධානයක් යොමුකරමින් කටයුතු කරන්නටත් මෙරට ක්‍රීඩා සම්මේලන සඳහා සමානාත්මතා පදනමකින් යුතුව සම්පත් බෙදීයාම තහවුරු කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා.

එසේම ක්‍රීඩාව තුළ කාන්තා නියෝජනය කෙරෙහි අපි අවධානය යොමුකරන්න අපේක්ෂා කරනවා. ජාත්‍යන්තරයට සාපේක්ෂව බලන කළ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පරිපාලන සහ සංවර්ධන අංශ සඳහා අපේ තියන කාන්තා නියෝජනය පහල මට්ටමක තිබෙන්නෙ. එය වෙනස් කල යුතු තත්ත්වයක්. ඒ වගේම සම්මේලන අතර අන්‍යෝන්‍ය අවබෝධයක් සහ සමඟියක් ඇති කරන්නටත් කටයුතු යොදන්න අපි අපේක්ෂා කරනවා.

විශේෂයෙන් කියන්න ඕන සිරුරේ සහ මනසේ ධාරිතාව ගොඩනැංවීම වෙනුවෙන් වැඩි බරක් තබා කටයුතු කරන්නට අපි අපේක්ෂාවෙන් සිටිනවා. එය සෑම ක්‍රීඩාවක් සඳහාම අත්‍යාවශ්‍ය සහ කඩිනමින් සංවර්ධනය වියයුතු අංශයක් බවයි අපේ දැක්ම.

මීට අමතරව ක්‍රීඩාවේ තහනම් උත්තේජන භාවිතය, මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු, ක්‍රීඩාවට ලැදි පාර්ශව සමඟ ස්වේච්ඡා සේවයේ ජවය ක්‍රීඩාවට ගැනීම, ඔලිම්පික් ආදී ක්‍රීඩකයින්, ක්‍රීඩා සංවර්ධන අරමුදල, විදෙස් ගත පුහුණුවීම් විධිමත් කිරීම, රටට අහිමිව ඇති ක්‍රීඩක සම්පත් නැවත රට වෙත දිනා ගැනීම, ජාතික සම්මේලන අතර නිරන්තර සමඟි සම්බන්ධයක් පවත්වා ගැනීම යන සියළු අංශ ආවරණය වන ආකාරයේ ක්‍රියාකාරී සැලැස්මක් අප සතුව තිබෙනවා.