Language Switcher

V2025

කප්පාලන්තේ vs ලංකාලන්තේ

‘‘අනේ, මේ බලන්නකෝ..හුරතල් පැටියෙක්. ළමයා ඉපදිලා ටිකට් කැපුවට පස්සේ පාරේ දාලා ගිහිල්ලා"

"අනේ අම්මෝ. මොන හිතකින් නම් මුන් මොනවා කරනවා ඇද්ද ?

"අම්මා කෙනෙක් ළමයව දාලා යන්නේ කොහොමද ? ඔහොම ඉතිං..!"

හ්ම්, අම්මා නිවුස් බලනවා. ඉවරයි. හෙට උදේ අහල පහළ ගෑණු සෙට් එක එකතු වුණාම ආයේ දෙකක් නැහැ, දවසේ මාතෘකාව ඕක ඉතිං.

සුපුරුදු විදියට ලැප්ටොප් එක දිගෑරගත්තේ ගෙදර ඉද්දි දැනෙන බෝරිං ගතිය නැතිකරගන්නත් එක්කයි.

එඩ් ෂීරන්ගේ ෆර්ෆෙක්ට්. ලවු දිස් සෝන්ග්..

‘‘බේබී. අයිම් ඩාන්සින් ඉන් ද ඩාර්ක් යූ බිට්වීන් මයි ආම්ස්
බෙයා ෆූට් ඔන් ද ග්රා්ස්, ලිස්නින් ටූ අවර් ෆේවරිට් සෝන්"

අනේ, මේ මවාපාන තරම පරම පිවිතුරු ආදරයක් කොහේද තියෙන්නේ ඉතිං...

"වෙල් අයි ෆවුන්ඩ් එ වුවමන්, ස්ට්රෝසන්ගර් දෑන් එනි වන් අයි නෝ ..."

හ්ම්, ගෑණු ස්ට්රෝං . පිරිමින්ව අතෑරලා ගියාම අඬන්නේ නැතුව ජීවිතේට මූණදෙන්න නම් ඉතිං. ඒ තරම් ශක්තියක් නැති ගෑණුත් ඉන්නවනේ

"ටූ කැරී ලව් .... ටූ කැරී චිල්රන්.. ඔෆ් අවර් ඔව්න් ..."

ළමයි, ළමයි, ළමයි..

Arte bagno Fridaහැම මිනිහෙක්ගේම, ගැහැණියෙක්ගෙම උත්තරීතර පැතුම. ළමයි. වැඩේ කියන්නේ එහෙම හීන මවන උන්නේ මෙහෙම ළමයිව දාලා යන්නේ. එක අතකින් මළපොතේ අකුරක් නොදන්න ගෑණියක් බඩකුත් එක්ක තනිවුණාම වෙන මොනවා කරන්නද ? ඉතිං. එක්කෝ බඩත් උස්සගෙන තව මිනිහෙක්ගේ කරේ එල්ලෙන්න ඕන. පොඩිම පොඩි රස්සාවක් කරලා ජීවත්වෙන්න බැරි නම් අඩු තරමේ ළමයව කොහෙට හරි දීලා වෙන අතක් බලාගන්න වෙනවා. මොකෝ ළමයෙක්ව ඕන නැහැ කියලා තීරණය කළාම ගබ්සා කරන්න තරම් නීතියක් වත් නැති රටකනේ ඉපදිලා ඉන්නේ. අඩු තරමේ අම්මා, තාත්තා වත් තමන්ට ළමයෙක්ව ඕන නැහැ කියලා තීරණය කරපු වෙලාවකදී නීත්‍යානුකූලව කළලය විනාශ කරන්න තරම් අවස්ථාවක් නැති රටක්නේ මේක.

අර කප්පාලගේ කතාවේ තියෙනවා වගේ ඉපදෙන්න කලින් බඩේ ඉන්න ළමයත් එක්ක කතාකරන්න පුළුවන් වුණා නම් අඩු තරමේ අහන්නවත් තිබුණා.

‘බබෝ ඔයාට, මේ ලෝකේ එළිය දකින්න ඕනද ? නැද්ද ?, ඕන නැත්නම් අපි ඔයාව බලෙන් මේ ලෝකෙට ගේන්නේ නැහැ කියලා'

ආ..‘කප්පා‘ කිව්වේ මේ අකුතගවාරයුනොසුකෙ ලිව්ව පියසීලී විජේමාන්න සිංහලට පරිවර්තනය කරපු පොතක්. කප්පා කියන්නේ ජපන් ජනකතා වල ඉන්න ගෙම්බෙක් වගේ සතෙක්. මේ කප්පලා අතරට වැරදිලා වැටුණු මනුස්සයෙක් තමයි කප්පලගේ කතාව කියන්නේ. ඇත්තටම, අකුතගවා අතින් කප්පා ලියැවෙන්නේ එයා තමන්ගේ ජීවිතේ තිස් පස්වන අවදිය පසුකරමින් ඉද්දී සියදිවි නසාගන්න කලින්. මිනිස්සු ගැන ඇතිවුණු පිළිකුලත් එක්ක මේ පොත ලිව්වා කියලා තමයි කියන්නේ

ආ..මේ තියෙන්නේ කප්පා පොතේ මම හොයපු තැන.

‘මව්පියන් තමන්ගේ ලේසිය ගැනම හිතන එක වැරදියි. ඒක ආත්මාර්ථකාමීකමෙනුත් මහාම ආත්මාර්ථකාමීකමක්..'

මිනිස්සුන්ගේ ඕනෑම මිනුම් දණ්ඩකින් මැනලා බැලුවත් කප්පාවන්ගේ දරු ප්‍රසූතියේ සිද්ද වෙන දේ තරම් විකාරයක් නම් තවත් නැහැ. චක්කු එක්ක මං උපත් පාලන ගැන කරපු කතාවට ටික දවසකට පස්සේ බග්ගුගෙ බිරියගේ දරු ප්‍රසූතිය බලන්න බග්ගුගේ ගෙදරට ගියා.

දරුවා ලැබෙන්න ඔන්න මෙන්න කියලා තියෙනකොට සැමිය බිරිය ළඟ දණගහගෙන ටෙලිෆෝනයකින් කතා කරනවා වගේ ඇගේ යෝනියට කට ළං කරලා හයියෙන් කීපසැරයක්ම මෙන්න මෙහෙම අහනවා.

‘උඹ මේ ලෝකෙට බිහිවෙලා එන්න කැමතිද ?. අකමැතිද ?. උත්තර දෙන්න ඉස්සර වෙලා හොඳට කල්පනා කරලා බලපන්'..

ටික වෙලාවකින් මවගේ ගර්භාෂයෙන් දරුවාගේ පිළිතුර හරිම සබකෝල හඬකින් පිටවුණා.

‘මම ඉපදෙන්න කැමති නැහැ. මුල්ම හේතුව තාත්තගේ ආරෙන් එන ඔල්මාදෙ. අනික් කාරණේ තමා කප්පා මේ ලෝකෙ ඉන්න එක අසුබයි‘

ඔන්න චොයිස් එක. ළමයම කියනවා එයාට ජීවිතයක් ඕන නැහැ කියලා. ඉතිං, වින්නඹු අම්මා ඉන්ජෙක්ෂන් එක ගැහුව ගමන් බඩ සැහැල්ලු වෙනවා. අම්මලට, තාත්තලට බරක් වෙන විදියේ ළමයි ඒ නිසා ඉපදෙන්නේ නැහැ කොහොමත්ම. කප්පලගේ ටෙලිවිෂන් වලින් ඉපදුණු ගමන් ළමයි පාරේ දාලා ගියපු කතා ඇහෙන්න ඉඩක් නැහැ කොහොමටවත්ම.

ඔරියානා ෆලචි එයාගේ Letter to a Child Never Born පොතේදී අකලට අහිමිවුණු තමන්ගේ කළලයෙන් අහන්නෙත් ‘ඔයාට මේ ලෝකේ එළිය දකින්න වුවමනාවක් නැත්නම්, ඇත්තටම, මට ඔයාව මේ ලෝකෙට බිහිකරන්න අයිතියක් තියෙනවද ?‘ කියලයි.

පල්ලියේ, පන්සලේ විරෝධතා මැද්දේ 1883 දී ඉඳන් පැවතගෙන එන නීතිය වෙනස් කරලා එහෙම තේරීමක් කරන්න පුළුවන්කමක්, අම්මා-තාත්තට, තනිවුණු ගැහැණියෙකුට, අතවරයට ලක්වුණු අඩු වයසේ ගැහැණු දරුවෙකුට කරන්න පුළුවන් වුණා නම් කවදාවත් විවාහයක් නොකරගත්ත සුනිල් ආරියරත්න මහත්තයා මේ වගේ ගීතයක් නොලියාවි. මීට අවුරුදු තිහකට කලින් නන්දා මාලිනියගේ හඬින් අපේ ඇඟේ හී ගඩු පුබුදුවන මේ වගේ ගීතයක් ‘පවන‘ දී නොගැයේවි.

‘දස මසක් මා කුස තුළ උන් පුතුනේ - දැන් ඉතින් අපි වෙන්ව යා යුතුවේ
වීසි කරමි වන ලැහැබට දෑස පියාගෙන - නයි පොළොඟුන්ගෙන් මවක ලබාවා - වග වලසුන්ගෙන් පියෙකු ලබාවා
දැඩි වී වග වලසුන් අතරේ වලසෙකු වී අවුදින් - පුතුනේ, වීසි කරන්නට දරුවන් තනනා ලෝකය කා වනසන් පුතුනේ
සැතපී නයි පොළඟුන් දරණේ පොළඟෙකු වී අවුදින් - පුතුනේ, අහක දමන්නට දරුවන් වදනා ලෝකය කා වනසන් පුතුනේ'

සටහන - වින්ඩි