Language Switcher

V2025

ජෝර්ජ් සහෝදරයා නොහොත් ජො. සෙනෙවිරත්න

උපන්දා සිට මැරෙන දා දක්වා මිනිසුන් ජීවත් වන්නේ එක් වරකි. නම මාරු කළ ද පදිංචිය මාරු කළ ද සම්බන්ධතා මාරු කළද ඔහු ඔහු මය. ඇය ඇය මය. කතාව ට කියනවා නම් ඇඟලි සලකුණ වගේ ම ය. එහෙත් කෙනෙකුගේ අප දන්නා, අප අගය කරන, ඔහු හෝ ඇය විසින් ද අගය කරන ලද මූලික ගති ස්වභාව, ප්‍රතිපත්ති මුළුමනින් වෙනස් කළ කල, බොහෝ දෙනෙකුට හෝ ඇතැම් දෙනෙකුට ඔහු හෝ ඇය එකෙක්, එකියක්, නොව දෙදෙනෙක් වන්නේය. එය එසේ යැයි කීම ප්‍රහාරයක් හෝ මඩ ගැසීමක් නොව හිතට දැනෙන,මතකයට හැගෙන අනන්‍යතා ප්‍රභේදයක් වේ.

1964- 65 සිට දස වසරක් පමණ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහ ලංකා විමුක්ති ව්‍යාපාරයේ අප දැන සිටි, අපේ සටන් සගයා වූ, ජෝර්ජ් සහෝදරයා ද, පසු කාලයේ මෙරට සමාජය, මාධ්‍යය, රාජ්‍යය හා ඇතැම් විදේශයන් දන්නා ජෝ. සෙනෙවිරත්න ද, එකම පුද්ගලයකු වුවද එවැනි අනන්‍යතා ප්‍රභේදයකි. චරිත දෙකකි. ද්වයයකි.

1964-65 සමයේ පත්තරකාරයන් විසින් චීන පිල වශයෙන් හදුන්වන ලද ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් ප්‍රේමලාල් කුමාරසිරි හා එන්. ශන්මුගදාසන් සහෝදරවරුන් ප්‍රමුඛව යූනියන් පෙදෙසේ අංක 123 මූලස්ථානය කර ගෙන විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයක් මේ රට පුරා දියත් කර තිබිණි. පසු කලෙක ජනතා විමුක්ති පෙරමුණ පෙරදිග සුළග, ලංකා විමුක්ති ව්‍යාපාරය, ගිණි පුපුර කණ්ඩායම සහ වෙනත් මාක්ස් ලෙනින්වාදී සංවිධාන ගොඩ නගන ලද්දේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ තරුණ අන්තර් නායකයන් විසිනි.

ඒ කාලයේ දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ සාමාන්‍ය පෙළ ශිෂ්‍යයකු වූ ජෝර්ජ් සහෝදරයා මහත් උද්යෝගයකින් හා ආශ්වාදයකින් යුක්තව යූනියන් පෙදෙසේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයට එන්නට පටන් ගත්තේ ඒ 1964 – 65 වකවානුව තුළදීය.

එය අහම්බයක් නොවේ. කොළඹ හා වතුකරය සිසාරා කම්කරු සටන් ද සරසවි හතරේම ශිෂ්‍ය උද්ඝෝෂණද මෙහෙයවු, ‘කම්කරුවා‘ ‘තොලිලාලි', 'ශිෂ්‍ය ලංකා', තරුණ ලංකා පත්‍ර මුද්‍රණය කළ, සතියකට දෙදිනක් රතු කුරුස සමාජ ශාලාවේ මාක්ස්වාදී අධ්‍යයන කවය නම් විවෘත න්‍යායික පාසලක් ගෙන ගිය, ‘කොමියුනිස්ට්‘ නම් න්‍යායික සගරාව ද්වි මාසිකව පළ කළ, එම පක්ෂය, සටන්කාමී තරුණයන්ට අකර්ශනීය විය.

අනෙක් අතින් දෙවන ලෝක සංග්‍රාමය කාලයේ කේරළයෙන් මෙරටට පැම්ණ, පොලිසියට බැදී සේවය කළ මලයාලම් ජාතික ජෝර්ජ් මහතාගේ, නෑදෑයන්ද මිත්‍රයන්ද වූ බොහෝ මලයාලම් වරු දේශපාලනිකව ක්‍රියාත්මක වූයේ ලංකා කොමියුනිස්ට් පක්ෂය සමගය.

ශාන්ත ජෝන් විද්‍යාලයට ගිය සටන්කාමී ශිෂ්‍යයාවූ ජෝර්ජ් සහෝදරයා, පාසලෙන් කට්ටි පැන කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයට ගොස් ශිෂ්‍ය සංගම් හා තරුණ සංගම් වල වැඩ කළේය. තමා පදිංචිව සිටි එඩේරමුල්ලේදී ද ශාන්ත ජෝන් විද්‍යාලයේ හා පක්ෂ මූලස්ථානයේදී ද ඔහුට සිංහල බස මැනැවින් ප්‍රගුණ විය. ඒ අතර කම්කරුවන් සමග වැඩ කිරීමට විශේෂ උනන්දුවක් දක්වමින් ඔහු ලංකා කම්කරු සමිති සම්මේලනයේ හැම සමිති කාර්යාලයකටම උදව් දුන්නේය.

උසස් පෙළ පන්තියේ සිටියදී පක්ෂයට බැදෙන්නට යන්තම් කල වයස පිරුන පසු ජේර්ජ් සහෝදරයා, ලංකා කොමියුනිස්ට් පක්ෂයේ එඩේරමුල්ල ශාඛාවේ අපේක්ෂක සාමාජිකයකු වූයේය.

ඔහු කිසි කළෙක පක්ෂයේ හෝ කම්කරු සමිති සම්මේලනයේ පූර්ණ කාලීන සාමාජිකයකු වූයේ නැත. එහෙත් 1966 මාර්තු මස මුල පක්ෂ නායකත්වය හා කොලින් සිල්වා, නන්දසිරි විජේවීර, ආනන්ද ගුණතිලක , චන්ද්‍රසිරි මායාදුන්නේ, ටී.බී..සී. ප්‍රනාන්දු හා සේනක බණ්ඩාර යන පූර්ණ කාලීනයන් හා ‘කම්කරුවා“ කර්තෘ මණ්ඩල සභිකයන් අතර විවෘත අභ්‍යන්තර අරගලයක් ඇති වූ විට ජෝර්ජ් සහෝදරයා තම සොයුරු තරුණ අන්තර් නායකයන්ට එකතු වූයේය.

1967 වකවානුවේ ලංකා විමුක්ති ව්‍යාපාරය ආරම්භ කළ මුල් යුගයේදීම එහි ක්‍රියාකාරිකයකු වූ ජෝර්ජ් සහෝදරයා අති මහත් කැපවීමකින් යුක්තව 1973 අවසානය දක්වා එහි වැඩ කළේය. මහත් දුෂ්කරතා විදිමින් ඔහු ලංකා විමුක්ති ව්‍යාපාරය වෙනුවෙන් වෘත්තීය විප්ලවවාදියකු වශයෙන් පූර්ණ කාලීන වැඩ කිරීමට ඔහු පොලොන්නරුව දිස්ත්‍රික්කයට ගියේය.. සේනක බණ්ඩාර, හා එච්.ජේ.සී. මෙන්ඩිස් සහෝදරවරු සමග ඔහු පොලොන්නරුව පුරා ඇවිදිමින් ගොවියන් අතර වැඩ කළේය.

1971 කැරලි සමයේ ලංකා විමුක්ති ව්‍යාපාරයේ ප්‍රධාන සංවිධායක ආනන්ද ගුණතිලක සහෝදරයා සිරභාරයට ගන්නා ලදී. දකුණේ සංවිධායක ටී.ජී. ප්‍රේමචන්ද්‍ර සහෝදරයා ද අත්අඩංගුවට ගැනිනි. නිහාල් ඩයස් සහෝදරයා 1972 දී පමණ අල්ලා ගන්නා ලදී. ඒ කාලයේ ව්‍යාපාරයේ ලේකම් චන්ද්‍රසිරි මායාදුන්නේ සහෝදරයා සමග රහස් සංවිධාන වැඩ කරමින් ජෝර්ජ් සහෝදරයා දුම්රිය කම්කරුවන් අතර වැඩ කරන්නට පටන් ගත්තේය.

ලංකා විමුක්ති ව්‍යාපාරය වෙනුවෙන් දුම්රිය නිල ඇදුම් සේවක සංගමය, දුම්රිය ශන්ටර් වරුන්ගේ සංගමය හා දුම්රිය පොයිට්න්ස්මන් වරුන්ගේ සංගමය තුළ ජූර්ණ කාලීනනව වැඩ කළ ජෝර්ජ් සහෝදරයා මෙම ස්වාධින කම්කරු සංවිධාන උදෙසා ‘රතු කොඩිය‘ පත්‍රය සංස්කරණය කර පල කලේය.

විදුලි සංදේශ සේවක සංගමයේද වැඩ කළ ඔහු, ඔවුන් නිකුත් කළ "ගිනි සිළුව" පත්‍රය සංස්කරණය කළේය.

එකල ලංකා සම සමාජ පක්ෂය හා සංශෝධනවාදී රුසියන් පිලේ කොමියුනිස්ට් පක්ෂය දුම්රිය කම්කරුවන් අතර සීග්‍රයෙන් අජනප්‍රිය වූ කළ ජෝර්ජ් සහෝදරයා දුම්රිය එකමතු සංගමය පටන් ගෙන රත්මලාන දුම්රිය පද්ධතිය දවස් තුනකට අඩපණ කළ වැඩවර්ජනයක් දියත් කළේය.

1973 දී ලංකා විමුක්ති ව්‍යාාරය තුළ සන්නද්ධ අරගලයේ සටන් ස්වරූපය ගැන මූලික මතභේදයක් පැන නැගී මුළු ව්‍යාපාරයම බිද වැටිනි.

එකල ජෝර්ජ් සහෝදරයා හා ඔහුගේ සගයන් ඉදිරිපත් කළ යුද්ධවාදී මතවාදය අති ධාවනකාරී යැයි තීරණය කරන ලදී. ඉන්පසු ඔහු කොමියුනිස්ට් කම්කරු ව්‍යාපාරය නම් සංවිධානය ගොඩ නගා ‘සමාජ අධ්‍යයනය “ නම් සගරාව පළ කළේය.

මේ 1970 දශකයේ අවසාන භාගයයි. ඔහුගේ සංවිධාන දක්ෂතා දුටු විවිධ රාජ්‍ය නොවන සංවිධානකාරයන් ඔහුට කිට්ටුවූයේ් මේ කාලය තුළය. ඔහු පෞද්ගලික හේතු මත කේ..ටී. ජෝර්ජ් නම් තම නාමය වෙනස් කර ජෝ. සෙනෙවිරත්න වූයේය.

ඉන් පසු මර්ජ් හා වෙනත් එන්.ජී.ඕ.වල වැඩ කළ ජෝ. සෙනෙවිරත්න, ඉන්දියානු හමුදාව උතුරු නැගෙනහිර පාලනය කළ කාලයේ උතුරු නැගෙනහිර පළාත් සභාවේ ඇමතිවරයෙකුද වූයේය.

ඒ යුගය තුළ පැරණි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හා ලංකා විමුක්ති ව්‍යාපාරයේ සහෝදරවරුන් ගෙන් මුළු මනින්ම වෙන් වූ ඔහු දයාන් ජයතිලක වැනි පුද්ගලයන් සමග කටයුතු කළේය.

1994 පොදු පෙරමුණේ ජයග්‍රහනය තුළ ජන මාධ්‍ය අමාත්‍යාංශයට සමීපව වැඩ කරමින් ‘සුදු නෙළුම‘, තවලම, ආදී සංවිධානවලට හවුල් වූයේය.

‘යුක්තිය‘ පත්‍රයේ කළමනාකාර කර්තෘ වශයෙන් නුවරළිය නගර සභාව සමග නඩු කී ඔහු ලේක්හවුස් ආයතනයේ ‘දිනමිණ‘ පත්‍ර යේ විධායක කර්තෘධුරය ද දැරුවේය. තම පරිවර්තන හැකියාව මොනවට ඔප්පු කළ ජෝ. සෙනෙවිරත්න, ජනප්‍රිය ඕසෝ කෘති මාලාව පළ කළේය.

විවිධ ක්ෂේත්‍ර තුළ විවිධාකාරයේ කැපවීම් හා දක්ෂතා පිළිබිඹු කළ ජෝර්ජ් සහෝදරයා නොහොත් ‍ ජෝ. සෙනෙවිරත්න, හැමදාකම සුහදශීලී මිත්‍රයෙකු වූයේය. ඔහු කිසි දිනක දේශපාලන මතභේද නිසා මිතුරන් හා නොගැටුනේය. මොන ප්‍රශ්න ක්‍රියාකාරීත්වය තුළ වුවද ඔහු හැමට හමුවූයේ සුහද සුන්දර මිත්‍රයකු වශයෙනි. එහෙයින් ඔහු කා අතරත් ඉතිරි කර යන්නේ මහත් සෝබර මතකයක් පමණකිල්.

 සටහන - තිනෙත්.