Language Switcher

V2025

වඳපෙති ගැන දුර්මතය පරාජය කළ යුතුය

යළි රටෙහි මුස්ලිම් විරෝධයක් මතුවෙමින් තිබේ. විරෝධය මතුවෙමින් තිබෙන්නේ අතීශයින් ප්‍රාථමික ආකාරයෙනි. මීට කලකට පෙර මුස්ලිම් විරෝධීන් ප්‍රචලිත කිරීමට තැත් කළ ප්‍රවාදයක් වූයේ ආහාරවලට කිසියම් විශේෂයක් කවලම් කොට සිංහල ජාතිය වන්ධ්‍යභාවයට ලක්කිරීමේ සැලසුමක් තිබෙනවා යන්නය.

මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් ප්‍රකට ව්‍යාපාරික ස්ථානයකදී කුඩා ගැහැනු දරුවන් අනාගතයේදී වඳභාවයට පත් කළ හැකි වන ටොෆී දෙන බවත් එහි විකුණන කාන්තා තනපටවල තවරා ඇති රසායනයක් නිසා කාන්තාවන් වඳ භාවයට පත් වෙන බවත් සිංහල ජාතවාදීන් හා ආගම්වාදීන් මතු කළ අවිචාරවත් හා පදනම් විරහිත තර්කයකි.

එවර සිංහල සමාජයේ බහුතරය එම ගෝත්‍රික මතය පිළිනොගත් නිසා ප්‍රචාරක ව්‍යාප්තිය යට ගියේය.

එහෙත් යළිත් සිංහල සත්‍යවාදීන් එවැනි මතයක් සමාජයේ ප්‍රචලිත කිරීමට වෑයම් කරනු පෙනේ.

විද්‍යාත්මක තත්ත්වය විමසා බැලීම:

අප කළ යුත්තේ එවැනි දුර්මත විශ්වාස කිරීම හෝ නොකිරීමට වඩා මේ පිළිබඳ විද්‍යාත්මක තත්ත්වය විමසා බැලීමය. මේ ගැන අදහස් පළ කළ හිටපු ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරී (නාරි හා ප්‍රසව) වෛද්‍ය රුවන් එම්. ජයතුංග මහතා මෙවැනි අදහසක් පළ කරයි.

කෑම වලට වඳ පෙති දමා මිනිසුන් වන්ධ්‍යකරණයට ලක් කළ නොහැක. එසේ කරන්නේ නම් රෝහල් එල්එල්ආර්ටී කිරීම මෙන්ම එම්.ඕ.එච්. කාර්යාලවලින් කාන්තාවන්ට ලූප් දැමීම අවශ්‍ය නැත. පෙති මගින් දරු උපත් සීමා කළ හැකිය.

සාක්ෂරතාව තිබුණද නූගත්කම ඉහටම ගසා තිබෙන බැවින් සමහරෙක් කෑම මගින් හෝ ඇඳුම් මගින් වඳභාවයට පත් කළ හැකි පෙති හෝ රසායනිකයන් ඇති බව සිතති. එය හිතළුවක් පමණි.

කාන්තා යට ඇදුම්වලට රසායනික ද්‍රව්‍ය ගැල්වීමෙන් හෝ තනපටවල ජෙල් වර්ග තැවරීමෙන් කිසිවකු වඳභාවයට පත් කළ නොහැක.

මිනිසුන් තුළ ඇති මෙම දුර්මත තම වාසියට යොදාගන්නා ජාතිවාදීහු වඳ පෙති ප්‍රවාදය මගින් බියපත් කරති.

අන්ධානුකරණය සහිත සමාජයක් තුල බිය සැක හා ව්‍යාකූලතා ඇති කිරීම පහසුය. එහෙත් මේ නිසා ප්‍රජාව තුළ හටගන්නා ගැටුම් හා විපත් සීමාරහිතය.

'වඳ භාවයට පත් කළ හැකි රසායනයක් මෙතෙක් සොයාගෙන නැ'

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා ප්‍රකාශ කරන්නේ කෙනෙකු වඳ භාවයට පත් කළ හැකි කිසිම රසායනයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙතෙක් සොයාගෙන නැති බවය.

ඔහු කියන පරිදි වඳභාවයට හේතුව ආහාර නොව කෙනෙකුගේ ජානමය තත්ත්වයන්ය. පිටතින් ශරීරයට ලබාදෙන ද්‍රව්‍යයන්ගෙන් වඳභාවය ඇති නොවන බව ප්‍රකාශ කරන විශේෂඥ වෛද්‍යවරයා මේවා ජාතිවාදී පදනමෙන් එක්තරා පිරිසක් වසින් කරගෙන යන හුදු ප්‍රචාර බවද කියති.

හුදු ප්‍රචාරයක් එක්විටම විශ්වාස නොකර තෙමේම ප්‍රත්‍යක්ෂ කරගෙන ක්‍රියාකිරීම බෞද්ධ පිළිවෙතය.

අඩුම තරමින් ලංකාවේ ජනයා සැබෑ බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් මෙවැනි මර උගුල් වලට හසු නොවන බවත් කිව යුතුය.

(රාවය)