Language Switcher

V2025

හොඳ හිතින් ගසා කන ජනතා බදු මුදල් හා අමරවීරගේ සුදු හුණු !

හැත්තෑ දෙවසරක් තට්ටු මාරු ක්‍රමයට ජනතාව රවටමින් බලය ලබා ගන්නා දේශපාලකයන් මුල් භාගයේ ඉතා හොර රහසේ ජනතා බදු මුදල් මංකොල්ල කෑවද අද වනවිට එම තත්වය වෙනස්ව ගොස් රැයක් දහවලක් නොතකමින් සිතූ සිතූ සේ ගැසට් පත්‍ර වෙනස් කරමින් ජනතා බදු මුදල් තම ගජමිතුරු කල්ලිය හරහා කොල්ලකමින් ඒවා ඉතා අපූරුවට ජනතාව පිටම පටවා සාධාරණීකරනය කරන අපූරු දේශපාලකන් දැන් ප්‍රසිද්ධියේම තම දේශපාලනික නිරුවත උනා දමා ඇත….

හිත හොඳින් කළ දෙයක් ඒ නිසා ඒ පාඩුව අවුලක් නැද්ද ?  

අද වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයකු ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් රටේ නීතියට හා මහජනතාවට වගකිවයුතු ආකාරයෙන් ප්‍රකාශ කළ යුතුව තිබුනද කිසිඳු විළිසංගයක් නොමැතිව ඔහු ප්‍රකාශ කරනුයේ " හිත හොඳින් කළ දෙයක් පාඩුවක් උනා ජාවාරම් කාරයින් කීපදෙනෙක් අතට ඒ මුදල් ගියා"   

ඉතා අපූරුවට ඇඟ බේරාගන්නට ප්‍රකාශයක් දී ලිස්සා යන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීමට හෝ වගකිවයුතු මාධ්‍යවේදියකු නොසිටීම අවාසනාවක තරම කියාපානු ඇත…

රටට නීති අණපනත් සම්පාදනයට මහජන ඡන්දයෙන් පත්වන නියෝජිතයන්ගේ භූමිකාව මේකද?          

දශක ගණනාවක සිට දේශපාලනයේ නියලෙන වත්මන් පරිසර ඇමති මහින්ද අමරවීර සීනි බදු වංචාව ගැන පවසන ආකාරයෙන් ඔවුන් මේ රටේ අහිංසක මහජනතාවගේ බදු මුදල් වලට ඇති සංවේදීතාව මොනවට කියාපානු ඇත..

කජු ඇට හෝ කොස් ඇට නොව ශ්‍රීලාංකික ඉතිහාසයේ සිදුවී ඇති බරපතලම මහා බදු වංචාව ගෝඨාභය රාජපක්ෂ ජනපති ආණ්ඩුව යටතේ වූ රුපියල් කෝටි එකදහස් පන්සීය අනූවකට (1590) අධිකව ඇත..

රුපියල් විසිපන්දහසකට වැඩි රජයේ දේපල හෝ මුදල් අවභාවිතාවක් සිදුවීමේදී එය දණ්ඩනීති සංග්‍රගයේ බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්වන අතර වත්මන් පරිසර අමාත්‍ය වරයා වගකීම් විරහිතව ජනතාව හා රජ්‍ය කෙරෙහි කිසිඳු සංවේදීතාවයකින් තොරව රුපියල් කෝටි 1590ක බදු වංචාව සාධාරණීකරනය කරන අතර තුරේ ජාවාරම් කරුවන් කීපදෙනෙකු විසින් එම මුදල් අවභාවිතා කොට ඇති බව සැල කරනුයේ රෙදි හැඳගෙනද යන්න ගැටලුවකි….                  

තවද මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ උදාහරණ ගෙන දක්වමින් සීනි බදු මංකොල්ලය සද්භාවයෙන් ජනතාවට සහන දීමට කළ එකක් බව කියන පරිනත දේශපාලකයාට එකී මහ බැංකු බැඳුම්කරයට අදාලව රුපියල් බිලියන (12) කට ආසන්න  එම පාඩුව පියවාගැනීමට අදාල වන සේ රාජසන්තක කරඇති බව අමතක වී ඇත….  එහෙත් මේ මහා කුප්‍රකට සීනි බදු වංචාවේ රුපියල් කෝටි 1590 පියවා ගන්නේ කාගෙන්දැයි වගේ වගක් නැතිවීම හා එය සාධාරණීකරනය කරමින් ප්‍රකාශ සිදුකරන මෙවන් දේශපාලකයන් සැබෑ ජනතා නියෝජිතයන්දැයි රටේ මහජනතාව තීරණය කළ යුතුව ඇත….

පරිසර ඇමති කියන ජාවාරම් කරුවන් කොල්ල කා ඇති බදු මුදලින් එන්නත් කීයක් ලබාගත හැකිද?          

උද්ගත මහා කොරොනා වසංගතය හමුවේ බදුගෙවන දෙකෝටි විසිලක්ෂයක් වූ ජනතාව අද අන්ත අසරණව දෛනික ජීවිකාව සාමාන්‍යය පරිද්දෙන් පවත්වාගත නොහැකිව අනාරක්ෂිතව සිටින මොහොතක ඔවුන්ගේ ජීවිත සුරක්ෂාව වෙනුවෙන් එන්නත් ආනයනය පිණිස ලෝකයට අතපාමින් ණය ඉල්ලා සිඟමන් යදින්නට සිදුවී ඇත්තේම මෙකී ආකාරයෙන් දිගින් දිගටම සිදු කරන මහා පරිමාණ ජනතා බදු මුදල් කොල්ලය නිස නොවේද?..

එන්නත් මිලියන පහලවක් (15 Million ) පමණ මිලට ගතහැකිව තිබූ මහා භාණ්ඩාගාරයට අහිමිකට ඒ මහා ධනස්කන්ධයට වගකිවයුත්තන් වහා රටට හෙළිකොට ඒ ජනතා බදු මුදල් නැවත අය කරගතයුතු නොවේද?..

සීනි බදු වංචාවට එක් වියයුතු පොල්තෙල් හා ආනයනික ටින්මාළු බදු වංචාවේ ප්‍රමාණය කවරේද?            

එක දිගටම ගැසට් පත්‍ර මුද්‍රණය කරමින් සීනි මෙන්ම ආනයනික පොල්තෙල් හා සැමන් ටින්මාළු ආනයනයේදීද අති විශාල බදු මුදල් ප්‍රමාණයක් රාජ්‍ය භාණ්ඩාගාරයට අහිමි වූ අතර සැමන් හා පොල්තෙල් ආනයනය මත ආසන්න වශයෙන් අහිමි වූ බදු මුදල් රුපියල් කෝටි දහසක් පමණ වන බව ආර්තික විශ්ලේෂකයන් හා ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පෙන්වා දී ඇත..එවිට සීනි,සැමන් හා පොල්තෙල් වලින් රාජ්‍යට අහිමි වූ බදු මුදල් රුපියල් කෝටි දෙදහසකට ( 2000 ) ආසන්නය..

දිගින් දිගටම මෙම බදු සහන වංචාවලින් අවසානයේ පීඩාවට පත්වනුයේ රාජ්‍යයත් රටේ මහජනතාවත්වන අතර එවන් සාපරාධී මහා අපරාධයන් සද්භාවයෙන් සිදුකළා යැයි කියමින් වත්මන් පාලක පක්ෂයේ දේශපාලකයින් සාධාරණීකරනය කිරීම කෙතරම් අභාග්‍යසම්පන්න හා නින්දිතද යන්න රටේ මහජනතාව අවබෝධ කොටගත යුතුය.

බදු මුදල් අහිමිවීම තුළ අකර්මණ්‍යවන රටේ ජාතික අධ්‍යාපනය හා සෞඛ්‍යයේ හෙට දවස…?          

වරක අධ්‍යාපනය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් ප්‍රකාශ කළ ආකාරයට ශ්‍රී ලංකාවේ පිරිසිදු පානීය ජලය, වැසිකිළි හා කැසිකිළි පද්ධති නොමැති සමස්ත පාසල් ගණන එකදහස් පන්සීයකට ( 1500 ) ආසන්නය...එසේම නිසි ගොඩනැගිලි නොමැති පාසල් කීයක් මේවනවිට පවතිනවාද?.........තවද නිදහස් සෞඛ්‍යක් හිමි අප රටේ අත්‍යාවශ්‍ය ඖෂධ විශේෂයෙන්ම පිළිකා වෙනුවෙන් භාවිතාවන ඖෂධ රාශියක් හිගවීමෙන් බදු ගෙවන ජනතාව මේවනවිට මුහුණපා ඇති සෝචනීය තත්වයන් වලින් වළකා ඒ ජාතික අවශ්‍යතාවන් නිසි අයුරින් ඉටු කිරීමටත්, තවතවත් මතු අනාගත පරපුර ණය උගුලේ සිරකර නොකොට අහිමිකළ බදු මුදල් තිබුනේ නම් රටේ ජනතාවට අවශ්‍ය  කොරෝනා එන්නත් ලභාගැනීමටත් පාසල් හා සෞඛ්‍ය පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගැනීමට කිසිඳු ගැටලුවකින් තොරව හැකියාව තිබුනා නොවේද?.....            

මෙසේ පාරම්බාන දේශපාලකයන් බලයට එන්නේ "අපි ආවාම කරලා පෙන්වන බව පවසමිනි" ….එහෙත් කතාව දෝලාවෙන් ගමන පයින් බව සක්සුදක් සේ පැහැදිලි උවද, ඔවුන් දේශපාලනයට අවතීර්ණවන විට, දේශපාලනයේ යෙදෙනවිට හා දේශපාලනයෙන් විශ්‍රාම යනවිට ඔවුන්ගේ වත්කම් නිරීක්ෂණය කළහැකි නම් රාජ්‍යයේත් මහජනතාවගේත් ජනතා බදුමුදල් කොල්ල කා ඇති අපූරුව වටහාගත හැක…

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි 

මිලානෝ,ඉතාලිය.