Language Switcher

V2025

වැදගත් දේට අඩු ප්‍රචාරයක් : ඇයි ආණ්ඩුව එහෙම ?

මේ වන විට රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව නිකුත් කරන මාධ්‍ය නිවේදනවල අලුත් පොකුරක් ගැනත් සදහන් වන අතර, එය නම් අලුත් අවුරුදු පොකුරයි. මෙම මාධ්‍ය නිවේදන ජනතාව අතිශයින් නොමග යවනසුළු පන්නයේ ඒවා වනවා සේම, රජයට කිසිදු සෙතක් අත්කර දෙන්නේ ද නැත. 

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ප්‍රදේශයන් මගහැර සිටියහොත් කෝවිඩ්-19 වෛරසය ආසාදනවන්නට ඉඩක් නොමැත යැයි රටේ ජනතාවට ඒත්තු ගන්වා තිබීම මිස, මෙම මාධ්‍ය නිවේදනයන්ගෙන් සිදුව ඇති අන් දෙයක් නොමැත. දැන් රට වටා ආසාදිතයන් වාර්තා වෙමින් තිබෙන්නේ, දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාම වන කලාපය ආවරණය කරමිනි. තවත් ප්‍රමාද නොකර, රටේ උද්ගතව තිබෙන තත්ත්වය තේරුම්ගෙන අවශ්‍ය පියවර ගැනීම රජයේ යහපතටම හේතු වන කාරණයකි. එහිලා යම් යම් වෙනස්කම් දැනටමත් සිදුව ඇත. 

මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල පුද්ගලයෙක් වන මොහාන් සමරනායක මහතා රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩභාරගෙන තිබේ. එම්ටීවී මාධ්‍ය ආයතනයේ ප්‍රමුඛ පෙලේ නිවේදකයකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු මෙන්ම ආයතන ප්‍රධානියකු ද වූ කිංස්ලි රත්නායක මහතා ජනපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වැඩභාරගෙන තිබේ. රූපවාහිනී ක්ෂේත්‍රයේ තවත් ප්‍රවීණයකු ලෙස සැළකෙන සුදේව හෙට්ටිආරච්චි මහතා, ජනපති මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස පත්කර තිබේ. 

මෙසේ සිදුව තිබෙන වෙනස්කම් සැළකිල්ලට ගැනීමේ දී, තමන් දෙන පණිවුඩය ජනතාව අතරට නොයන බව රජයම වටහාගෙන ඇතැයි කිව හැකිය.

අවධානය සමාජ මාධ්‍ය වෙතට !

මෙම වෙනස්කම් සමග රජයේ වැඩි අවධානය සමාජ මාධ්‍ය වෙත යොමුව ඇත. අගහරුවාදා පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ගැන විශේෂ සදහනක් කළේ ය.

කිසියම් ප්‍රදේශයක් හුදකලා කිරීමේ වුවමනාවක් මතුවනවා නම්, වහාම ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රදේශය හුදකලා කිරීමට අපි කටයුතු කරනවා. සාමාන්‍යයෙන් සිදුවුණේ, එළෙස හුදෙකලා කිරීමට යන ප්‍රදේශවලට ඒ බව කල්තියාම දැනුම්දෙන එක. නමුත් දැන් එසේ කිරීමට හැකියාවක් නැහැ. එහෙමයි කියා සම්පූර්ණ රටම ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.

කෝවිඩ්-19 වසංගත තත්ත්වය සැළකිල්ලට ගැනීමේ දී, රට තීරණාත්මක මංසන්ධියකට පැමිණ තිබෙනවා. දිනකට වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1500ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අගයන් ඉදිරි දින කිහිපය ඇතුළත තවත් ඉහළට යා හැකියි. තිබෙන ගොඩනැගිලි ප්‍රමාණවත් වුනේ නැතිනම්, කෝවිඩ්-19 ප්‍රතිකාර කටයුතු සදහා යුද හමුදාවට අයත් ගොඩනැගිලි ලබාදෙන්නට අපි සූදානමින් සිටිනවා. එම ගොඩනැගිලිත් ප්‍රමාණවත් වුනේ නැතිනම් අපි සංචාරක හෝටල ඒ සදහා යොදා ගන්නවා. ඒ නිසා රෝහල් පහසුකම් හිගවීමක් ගැන ජනතාව කරදර විය යුතු නැහැ.

කෝවිඩ්-19 නව ප්‍රභේදය කෙතරම් නම් වේගයකින් රටේ ජනතාව ආසාදියන් බවට පත්කරමින් සිටින්නේදැයි යන්න ගෙවුණු සතියේ දින හතරක් ඇතුළත පමණක් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව සැළකිල්ලට ගැනීමෙන් සිතාගත හැකිය. මෙසේ ආසාදිතයන්ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතීම හමුවේ, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස්කර තබාගන්නැයි ජනතාවට අනතුරු ඇගවීමට යුද හමුදාපතිවරයාට සිදුවිය. 

රට සම්පූර්ණයෙන් වසා දැමීම සම්බන්ධව, වසංගත මර්දන කටයුතුවල ඉදිරිපෙල සිට කටයුතු කරන්නන් සහ රටේ දේශපාලන බලාධිකාරිය අතර මත ගැටුමක් පවතී. 

රට සම්පූර්ණයෙන් වසා දමා තත්ත්වය පාලනය කිරීමට වසංගත මර්දන කටයුතුවල ඉදිරිපෙල සිටින්නන් කැමැතිය. ඒ විශේෂයෙන්ම සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන ආසාදිතයන්ගේ ප්‍රමාණය සැළකිල්ලට ගෙනය. ඒ අතර, අනෙක් පැත්ත නියෝජනය කරන දේශපාලන බලාධිකාරිය එවැන්නට දැඩිව විරෝධය දක්වන්නේ ය. එසේ කළහොත් ආර්ථිකයේ බරපතල කඩාවැටීමක් සිදුවනු ඇතැයි ඔවුන් බියය. එනිසා ඔවුන් සිටින්නේ ගතයුතුව ඇති අවසාන තීරණය කුමක්දැයි යන්න තවමත් තෝරාබේරා ගනිමිනි.

ව්‍යාජ රූප මවා පෙන්වීම !

මෙරට කෝවිඩ්-19 වසංගත තත්ත්වය ආරම්භයේ පටන් මේ දක්වා ගෙවී තිබෙන කාලය ඇතුළත වාර්තාවී තිබෙන මුලු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 106,484 කි. මෙම ගණනින් ගෙවුණු අප්‍රේල් මස 8 වැනිදා සිට (එක්සත් රාජධානි ප්‍රභේදය පළමු වතාවට හදුනාගැනුණු) මේ දක්වා ගෙවී තිබෙන කාලය ඇතුළත පමණක් වාර්තාවී තිබෙන ආසාදිතයන්ගේ ප්‍රමාණය 10,372කි. වාර්තාවන නව ආසාදිතයන් ද, පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කෝවිඩ් පොකුරුවලටම දමමින්, රටේ තත්ත්වය එතරම් බරපතළ නැතැයි ව්‍යාජ රූපයක් ජනතාව හමුවේ මවා පෙන්වීමට රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටිය ද, බිම් මට්ටමේ සැබෑවටම සිදුවෙමින් තිබෙන්නේ කුමක්දැයි යන්න ජනතාව දනී. 

ජාතික මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවල පළවෙමින් තිබෙන පුවත් එකිනෙක ගැටගසා, රටේ සෞඛ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන් කෝවිඩ්-19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් එකිනෙකට කෙතරම් නම් වෙනස් ප්‍රකාශයන් සිදුකරමින් සිටින්නේද යන්න වටහාගැනීමට දැන් ඕනෑම කෙනෙකුට හැකිය. 

තමා දැනට දරමින් සිටින රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවටත්, ඉදිරි මැතිවරණවලට හෝ ඉදිරිපත් නොවන බවටත්, එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙක් මෑතක දී කළ ප්‍රකාශයක් එවැන්නකට උදාහරණයකි. එවන් ප්‍රකාශයක් සිදුකිරීම පසුපස වෙනත් කාරණා තිබෙන මුත්, ඉන් ප්‍රධාන වන්නේ ඔහුගේ අමාත්‍ය සගයෙක්, කෝවිඩ්-19 වසංගත මර්දන කටයුතු පිළිබද තොරතුරු ඔහුගෙන් වසන් කර තිබීමය. මෙම රාජ්‍ය අමාත්‍යවරයා සාමාන්‍යයෙන් රටේ සිදුවෙමින් පවතින දෙයට ප්‍රතිවිරුද්ධ දෙයක් පවසන්නට පුරුදුව සිටින, වැඩිමනත්ම තමාගේ පෞද්ගලික ප්‍රතිරූපයට අවධානය දෙන, පුද්ගලයෙක් වේ.

සමස්ත ශ්‍රී ලංකාවටම එකවර මුහුණදෙන්නට සිදුවූ බරපතලම ඛේදවාචකය කෝවිඩ්-19 වසංගතය වේ .ඇතැම් විට නොදැනුවත්කම හෝ අත්දැකීම් මදකම නිසා, වසංගතයේ මුල් අදියර සනිටුහන් වූ ගෙවුණු වසරේ මුල් මාස කිහිපය ඇතුළත, වැරදි කිහිපයක්ම සිදුවිය. ජීවිත අහිමිවිය. කෙසේවුවත්, වසංගතය දිනෙන් දිනම වඩ වඩාත් හිස එසවීමට ගත්විට, ආරම්භය ගැන ආපසු සිතා බැලීමේ දී, පැහැදිලි වන්නට ගත්තේ අප අද මෙවැනි තැනකට පත්ව තිබෙන්නේ සෞඛ්‍ය බලධාරීන් සහ අනෙක් පාර්ශවයන්, කෝවිඩ්-19 වසංගත තත්ත්වය මර්දනය කිරීම සම්බන්ධයෙන් වූ ඔවුන්ගේ කටයුතු නිසි විනිවිදභාවයක් ඇතිව සිදුකිරීමට අපොහොසත්වීම නිසා බවයි. එහි ප්‍රතිඵලය ජනතාවගේ විශ්වාසය බිද වැටීම සහ අනෙක් පසින් ඔවුන් කෙරේ ජනතාවගේ කෝපය දිනෙන් දිනම ඇවිලීමය. 
බරපතලම කාරණය නම් රටේ ජනතාව ඒ සියල්ල මධ්‍යයේ අපේක්ෂාභංගත්වයට ද, පත්ව සිටීමය. බිම් මට්ටම නියෝජනය කරන ජනතාව එක්රැස් කරවා, ඔවුන්ගේ උදව් වසංගතයේ ඉදිරිපෙල සිටින සෞඛ්‍ය සේවකයින්ට ලබාදීමට කටයුතු කිරීම හරහා, ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට රජයට තවමත් කාලය පවතී.


වෙයි ෆෙන්ග්හේ ගේ සංචාරය !

ශ්‍රී ලංකාව පුරා කෝවිඩ්-19 වෛරස සීඝ්‍රයෙන් පැතිර යමින් තිබුණ ද, චීන ජාතික ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග්හේගේ ශ්‍රී ලංකා සංචාරයට එය බාධාවක් නොවීය. 

ගෙවුණු අගහරුවාදා ඔහු දෙදින නිල සංචාරයක් සදහා කොළඹට පැමිණියේ ය. දිවයිනට පැමිණි වහාම ඔහු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවිය. හමුව පැවතියේ ජනපති ලේකම් කාර්යාලයේය. ජනපති ලේකම් පී.බී.ජයසුන්දර, ජේ්‍යෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ජයනාත් කොළඹගේ යන මහත්වරු එම අවස්ථාවට එක්ව සිටියහ. 
ජනතා විමුක්තිකාමී හමුදාවේ රොකට් බලඝනයේ (රොකට් ෆොර්ස්) හි හිටපු අණදෙන නිලධාරියා වන වෙයි ෆෙන්ග්හේ සම්පූර්ණ හමුදා ඇදුමින් සැරසී සිටි අතර, එය ඔහු දිනාගෙන තිබූ පදක්කම්වලින් ද, සම්පූර්ණ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන මධ්‍යම කමිටුවේ සාමාජිකයෙක් වන ඔහු, පකිස්තානයේ ළගම හිතවතෙකු ලෙස ද, සැළකේ. කොටින්ම පකිස්තානය සහ චීනය අතර ආරක්ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වරක් පකිස්තානය ඔහුට නිශාන්ඒ-ඉම්ටියාස් යන වර්ණ පැළදවීමට පවා කටයුතු කළේ ය. 

ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් ද, සමන්විත වූ ශ්‍රී ලංකා දූත පිරිස සමග කළ සාකච්ඡාවේ දී, ජනරාල් වෙයි ශ්‍රී ලංකාව සමග ද, ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කරගැනීමේ නොතිත් වුවමනාවකින් පසුවන බව පැහැදිලිව පෙනී ගියේ ය.

ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය දැරුවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාය. සිය සංචාරය අතරතුර ජනරාල් වෙයි, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවිය.

ජනරාල් වෙයිගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පිළිබිඹු වන්නේ, වඩාත් පුලුල් ලෙස ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කරගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට චීනය සූදානමින් සිටින්නේය යැයි ලබාදෙන ස්ථීර සහතිකයයි.
“චීනය ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවශ්‍යතා බලා ගනීවි. ඒ වගේම උදව් අවශ්‍ය වෙලාවට ඒ උදව් ලබාදේවි” යයි රජයේ මුල් පෙළ ආරංචි මාර්ගයක් ලියුම්කරු සමග පැවසුවේ ය. 

ඕනෑම යුදමය අවශ්‍යතාවයක් වෙනුවෙන් උපකරණ මිලයට ගැනීම සදහා චීනය දැනටමත් ඩොලර් ලක්ෂ 500 කට සමාන යුවාන් මුදල් ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබා දී, තිබේ. ශ්‍රී ලංකාවේ භාවිතා කැරෙන හෝ භාවිතයෙන් පසු ඉවත් කර තිබෙන එරට නිශ්පාදිත යුද උපකරණ අලුත්වැඩියා කිරීමට මෙන්ම එම ඇතැම් උපකරණ වෙනුවට භාවිතා කළ, නමුත් ක්‍රියාකාරී මට්ටමේ ඇති එවැනිම උපකරණ ලබාදීමටත්, ඔවුන් සූදානම්ය. 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, චීනයේ නිශ්පාදිත සන්නාහ සන්නද්ධ රථ, අවි, විවිධ වර්ගයේ බර අවි යනාදිය භාවිතා කරයි. ශ්‍රී ලංකා නාවික හමුදාව ද, චීනයේ නිෂ්පාදිත ප්‍රහාරක බෝට්ටු, අවි සහ වෙනත් දේවල් භාවිතා කරයි. ගුවන් හමුදාව ද, චීනයේ නිශ්පාදිත භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානාවක් වන හාර්බින් වයි-12 ගුවන්යානයක් ඇතුලුව එරට නිශ්පාදිත රේඩාර් උපකරණ ආදිය භාවිතා කරයි. මෙරට ආරක්ෂක අංශවලට පුහුණු පහසුකම් සැළසීමට ද, චීනය ඉදිරිපත්ව සිටින බව සදහන් කළ ඉහත ආරංචි මාර්ගය, ඒ අතරට බුද්ධි තොරතුරු වැනි විශේෂිත ක්ෂේත්‍රයන්ට අදාළව වන පුහුණු වැඩසටහන් ද, ඇතුළත් බව වැඩිදුරටත් පැවසුවේ ය.

පොලිසිය අමතක නොවේ !

සන්නිවේදන උපකරණ මිලයට ගැනීම සදහා මීට පෙර පිරිනැමුණු ටෙන්ඩරයක් චීනයේ හුවාවි සමාගම දිනාගත් අතර, එම උපකරණවලට අමතරව ශ්‍රී ලංකා පොලිසියට සිරුරේ පැළදිය හැකි කැමරා සහ තවත් උපකරණ රැසක් ද, ලැබීමට නියමිතව ඇත. ඉහත ආරංචි මාර්ගයන්ම සදහන් කළ ආකාරයට, දෙරට ප්‍රොටෝකෝලයකට අත්සන් තබා තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට යම් තර්ජනයක් මතුවන ඕනෑම අවස්ථාවක චීනයේ උදව් මෙරටට ලබාගැනීම සදහා නිල වශයෙන්ම දොරටු විවර කරමින්ය.

චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ කැපී පෙනුණු ලක්ෂණයක් වූයේ ඒ සම්බන්ධයෙන් රජය වැඩි ප්‍රචාරයක් ලබා නොදීමය. එසේ වුනේ, රජයේ මාධ්‍ය කටයුතුවලට අදාළ ඉහළම තනතුරුවලට නව පුද්ගලයින් ද, පත්කර තිබූ පසුබිමකය. එම හිඩැස පිරවූයේ චීන රජයේ නිල මාධ්‍ය ආයතනය වන ෂින්හුවා පුවත් ඒජන්සියයි. 

පොරොන්දු

චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සහ එයින් ලත් ප්‍රතිඵලයන් ඔවුන් වාර්තා කළේ ය. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානී සහ මාධ්‍ය ප්‍රකාශක ලු චොන්ග් උපුටා දක්වමින්, එම වාර්තාව පළකර තිබුණේ මේ අයුරිනි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර, යුදමය කටයුතු ඇතුලු සියලුම ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි, සහයෝගීතාවය වර්ධනය කරගැනීමට කටයුතු කරන බවට, දෙරටේ නායකයෝ ගෙවුණු බදාදා දිනයේ පොරොන්දුවක් දුන්හ. එම පොරොන්දුව ලබාදීම සිදුවූයේ චීන ජාතික ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග්හේගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරය. එම සංචාරයේ දී, ඔහු ශ්‍රී ලංකාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ හමුවිය.

දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡාවේ දී, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යධූරය ද, හොබවන ජනපති ගෝඨාභය රාජපක්ෂ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන සහ ඉතාම වටිනා සබඳතාවය සහ ශ්‍රී ලංකාවට ලබාදෙන අනේකවිධ සහාය සම්බන්ධයෙන් චීනයට ස්තූතිය පුද කළේ ය. චීන කොමියුනිස්ට් පක්ෂය ආදර්ශයට ගනිමින්, දුෂ්කර ප්‍රදේශ සංවර්ධනය කිරීමට සහ එම ප්‍රදේශයන් දිළිදු බවින් මිදවීමට කළ යුතු දේ ගැන උගැන්මට තමා අපේක්ෂා කරන බවත්, ශ්‍රී ලංකාවේ ජනපතිවරයා පැවසුවේ ය.

ස්වකීය මූළික වුවමනාවන් සහ අවශ්‍යතාවයන් ආරක්ෂා කරගැනීම මූලිකත්වයෙහි ලා චීනය අනුගමනය කරන ස්ථාවරයට ශ්‍රී ලංකාව සහාය දක්වන බවට මෙන්ම, චීනය සමග සබඳතා වර්ධනය කරගැනීමට ප්‍රමුඛතාවය ලබා දී තිබෙන බව, ජනපති ගෝඨාභය මහතා සදහන් කළේ ය. තමාගේ රට ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, කලාපයෙන් බැහැර කිසිදු බලවත් රටකින් එල්ල වන පීඩනයකට කිසිදු අයුරකින් නොනැමෙන බව සහ කිසිදු රටක් සමග සන්ධානයක් ගොඩනගා ගැනීමට කටයුතු නොකරන බවත්, ශ්‍රී ලංකා ජනපතිවරයා අවධාරණය කළේ ය. 

ආරක්ෂක ක්ෂේත්‍රය අරබයා දෙරට අතර සහයෝගීතාවය ක්‍රමවත් අයුරකින් වර්ධනය කරගැනීම හරහා, වඩා සමීපව එම ක්ෂේත්‍රයට අදාළ කටයුතුවල නියැළීමටත් ඒ හරහා තවදුරටත් එකී සහයෝගීතාවය වර්ධනය කරගැනීමටත්, ශ්‍රී ලංකා ජනපතිවරයා අපේක්ෂා කළේ ය.

මෙරට කෝවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කරගත නොහැකි මට්ටමක පැවතියේ වුව, චීන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට සහභාගීවීම, ශ්‍රී ලංකාව සමග සබදතා ගොඩනගා ගැනීමට චීනය ඉහළ වැදගත්කමක් ලබා දී, තිබෙන බව පැහැදිලි කරදෙයි.

වසංගතය මර්දනය කිරීමේ සහ පාලනය කිරීමේ අතින් ද, ආර්ථික සංවර්ධනය සහ දිළිදුකම දුරැලීම අතින් ද, චීනය ලබා තිබෙන ජයග්‍රහණයන් ගැන ප්‍රශංසා මුඛයෙන් අදහස් දැක්වූ අගමැතිවරයා, ඉල්ලා සිටි සෑම අවස්ථාවම තමාගේ රටට ලබාදුන් සහාය සම්බන්ධයෙන් චීනයට ස්තූති කළේ ය.

ස්වකීය මූළික වුවමනාවන් සහ අවශ්‍යතාවයන් ආරක්ෂා කරගැනීම මූලිකත්වයෙහි ලා චීනය අනුගමනය කරන ස්ථාවරයට, ශ්‍රී ලංකාවේ ස්ථීර සහාය හිමිබව බව සහතික කළ අගමැතිවරයා, ශ්‍රී ලංකාව ඉදිරියටත් චීනයේ ළගම මිතුරෙක් ලෙසම කටයුතු කරන බව පැවසුවේ ය.

මිලිටරි කටයුතු ඇතුලු විවිධ ක්ෂේත්‍රයන් ගණනාවක් ආවරණය කැරෙන පරිදි, චීනය සමග ක්‍රමවත් සහයෝගීතාවයක් ගොඩනගා ගැනීමට සහ එම ක්ෂේත්‍රයන් අරබයා දැනට පවතින සබදතාවයන් තවදුරටත් ශක්තිමත් කරගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින්නේ යැයි අගමැති රාජපක්ෂ මහතා කීවේ ය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර, ගැඹුරු ද්විපාර්ශවීය සබදතාවලින් පෝෂණය ලබන දීර්ඝ කාලීන මිතුදමක් පවතින බව චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ ය. එක පටියක් - එක මාවතක් ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක උසස් මට්ටමේ ඉදිකිරීම් කටයුතුවල, දෙරටම එක්ව නියැළී සිටින බව සදහන් කළ ඔහු, එහිලා ශ්‍රී ලංකාව මෙන්ම චීනයත් සංවර්ධනයේ ප්‍රතිලාභයන් අවබෝධ කරගෙන සිටින බව පැවසුවේ ය.

චීනය- තායිවානය, හොංකොං සහ ෂින්ජියෑන්ග් යන රටවල් සහ කලාපයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ස්ථාවරය සහ එම කලාපවලට අදාළව පැන නැගී තිබෙන ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරමින් සිටින ස්ථාවරය ගැන කෘතඥ වේ. මානව හිමිකම් හා සංහිදියාවට අදාළව නැගෙන ඕනෑම ගැටලුවක දී, ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට චීනය සූදානමින් සිටී.

ආරක්‍ෂාවේ මිතුදම !


දෙරටේ ආරක්ෂක අංශ අතර පවතින දිගු කාලීන මිතුදම ගැන සදහන් කළ වෙයි, එම ක්ෂේත්‍රය පදනම් කරගෙන ගොඩනැගී තිබෙන සබදතා තවදුරටත් ගැඹුරු කරගැනීමටත්, සහයෝගීතාවය වර්ධනය කරගැනීමටත්, කටයුතු කළ යුතුව තිබෙන බව පැවසුවේ ය. අද ලොව පවතින ප්‍රවණතාවය වන්නේ සාමකාමීව සිදුකැරෙන සංවර්ධනය සහ දෙපාර්ශවයටම ජයක් ගෙන දීමේ සමත් සහයෝගීතාවය යැයි පෙන්වාදුන් චීන ආරක්ෂක අමාත්‍යවරයා, ඉදිරියට යා යුතු මග වන්නේත් එයයැයි පවසා සිටියේ ය.

කලාපීය සාමය පවත්වාගැනීම වෙනුවෙන් යැයි විවිධ කණ්ඩායම් ගොඩනගා ගැනීමට ඇතැම් මුල් පෙළ රටවල් කටයුතු කරන බව පැවසූ ඔහු, එවැනි ක්‍රියාකලාපයන් ජනතාවගේ වුවමනාවන් දෙවැනි තැනට දමන මෙන්ම කලාපීය රටවල වුවමනාවන්ට පටහැනි දේවල් යැයි හදුන්වාදුන්නේ ය.

ශ්‍රී ලංකාවේ ස්වාධීන සහ නොබැඳි ප්‍රතිපත්තිය අගය කරන චීනය, කලාපීය සාමය ආරක්ෂා කරගැනීම සහ පවත්වාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීමට ඉදිරියටත් සූදානම් බව, චීන ආරක්ෂක අමාත්‍යවරයා කීවේ ය.

බදාදා දිනයේ වෙයි සහ ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අතර සාකච්ඡා පැවැත්විණ. චීන ජාතික ආරක්ෂක සරසවියේ ශ්‍රී ලංකා සංසදය මැයෙන් වෙබ් අඩවියක් ද, දෙදෙන අතින් අන්තර්ජාලයට මුදා හැරිණ.

චීන තානාපති කාර්යාලය නිකුත් කර තිබෙන මෙම නිවේදනයේ වන ඇතැම් සදහන් කිරීම්වල පදනම් සහගතභාවය සම්බන්ධයෙන් ගැටලුවක් තිබිය නොහැක. ශ්‍රී ලංකාවේ මාධ්‍ය එම නිවේදනය නොසළකා හැර ඇතත්, සරලවම කිවහොත් එම නිවේදනයේ සදහන්ව තිබෙන්නේ චීන රජයේ ස්ථාවරයයි.

තමාගේ රට ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, කලාපයෙන් බැහැර කිසිදු බලවත් රටකින් එල්ල වන පීඩනයකට කිසිදු අයුරකින් නොනැමෙන බව සහ කිසිදු රටක් සමග සන්ධානයක් ගොඩනගා ගැනීමට කටයුතු නොකරන බවත්, යැයි ජනපති ගෝඨාභය දක්වා තිබෙන අදහස් ඉතාම වැදගත්ය.

විදේශ ප්‍රතිපත්තිය !

ශ්‍රී ලංකාව ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින්නේදැයි යන්න ගැටලුවකි. වඩාත් වැදගත් කාරණය වන්නේ, කලාපයෙන් බැහැර කිසිදු බලවත් රටකින් එල්ල වන පීඩනයකට කිසිදු අයුරකින් නොනැමෙන බව සහ කිසිදු රටක් සමග සන්ධානයක් ගොඩනගා ගැනීමට කටයුතු නොකරන බව, ජනපතිවරයා අවධාරණය කර තිබීමයි. එය, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාවලිය පසුබිම් කොටගෙන ගත්විට, එක්සත් ජනපදයට, බි්‍රතාන්‍යයට සහ එම රටවල මිතුරන්ට එරෙහිව කියා සිටි දෙයක් ලෙස සැළකිය හැකිය. 

ඒ සම්බන්ධයෙන් ජනපතිවරයා කෝපයට පත්ව සිටින බව මෙන්ම ඔහු එය චීනයෙන් නොසැඟවූ බව, පැහැදිලිය. කෙසේවුවත්, සන්ධානයන් ගොඩනගා නොගැනීම සහ ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම යන ස්ථාවරයන් දෙවැනි තැනට වැටෙන්නේ, ආර්ථික සහාය ලබාගැනීමෙහි ලා ශ්‍රී ලංකාව, බීජිං නුවර මත වඩවඩාත් යැපීමට ගෙන තිබෙන බැවිනි.

කලාපයේ කිසිදු රටක් සමග සන්ධානයක් ගොඩනගා ගන්නේ නැතැයි, කර තිබෙන සදහන, ඉන්දියාව ඉලක්ක කරගත් අදහස් දැක්වීමක් යැයි කොළඹ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගේ අදහසයි. ඉන්දියාව ප්‍රමුඛ සිව්දෙනාගේ කල්ලිය (එක්සත් ජනපදය, ඕස්ටේ්‍රලියාව සහ ජපානය), ඉන්දියා සාගර කලාපයේ ඔවුන්ගේ කටයුතු වඩා වර්ධනය කර ගැනීමට අත්වැල් බැදගෙන සිටින අතර, එය ඔවුන් හදුන්වාදෙන්නේ චීනය අනිසි අයුරින් කරමින් සිටින ආධිපත්‍ය පැතිරවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙසය. 

එසේවුවත්, ජනපති ගෝඨාභය මහතා, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත පෞද්ගලිකම ලිපියක් යවමින්, එරට වර්තමානයේ දරුණු ලෙසම පැතිර යමින් තිබෙන කෝවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සිය කණගාටුව දැක්වීමටත්, සහයක් අවශ්‍ය වෙතොත් ඒ සදහා ශ්‍රී ලංකාව සෑම අවස්ථාවකම සූදානමින් සිටින බව සහතික කිරීමටත්, කටයුතු කරන බවද ප්‍රකාශ කළේය. 

සම්පූර්ණ යුද්දයක් බවට පරිවර්තනයව ඇති කෝවිඩ්-19 වසංගතය මට්ටු කිරීමේ අරගලය මධ්‍යයේම, භූදේශපාලන ක්ෂේත්‍රයේ අලුත් පෙරැළියක් ද, සිදුව ඇත. එය නම් ශ්‍රී ලංකාව සහ චීනය අතර සබදතා තව තවත් ශක්තිමත් අතට හැරීමය. එසේ වී තිබෙන්නේ වොෂින්ටනය සහ ලන්ඩනය, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී, සම්මත වූ යෝජනාවලිට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගතයුතුව තිබෙන පියවර ගැන අවධානය යොමුකර තිබෙන අවස්ථාවකය. යම් යම් ක්ෂේත්‍ර ආවරණය කැරෙන සංචාරක සීමා පැනවීම්, එහි ප්‍රතිඵලයක් ලෙස අපේක්ෂා කළ හැකිය. එයම, නව සබදතා ගොඩනැගීමට හේතුවකි.

ඉතිහාසය සැළකිල්ලට ගත්විට, අවසානයේ ඉතා වැදගත් වූවේ යැයි පෙන්වා දිය හැකි සිදුවීම් වන්නේ මෙවැනි දේය.

මුලාශ්‍රය : ලංකාදීප ( ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර)