Language Switcher

V2025

යුරෝපයේ එන්නත්කරණය !

උද්ගත කොරෝනා ව්‍යසනයෙන් ජන ජීවිත ආරක්ෂා කිරීමට ලොව දියුණු රටවල් ඉතා යුහුසුළුව ක්‍රියාත්මක විය. ඔවුන් තමන්ට අවශ්‍ය එන්නත් ධාරිතාවයන් සෞඛ්‍ය අංශ උපදෙස් මත කල්තියාම වෙන් කිරීමට සමත්විය.  

මක්නිසාදයත් ඒ ඒ සියලු රටවල දේශපාලන අධිකාරිය උද්ගත තත්වය දරුණු වෛරසයක් මගින් පැතිරෙන වසංගත තත්වයක් බවත්, ඊට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම වෛරස්වේදී විශේෂඥයන් ඇතුලු සෞඛ්‍ය අංශ වෙත පවරමින් එකී උපදෙස් මත ක්‍රියා කරමින් අනවශ්‍ය අතපෙවීම් නොකිරීම තුළ අද යුරෝපය ඇතුලු බහුතර රටවල් යථා තත්වයට පත්වෙමින් පවතී.

පෝළිම් නොමැතිව අතිවිශාල ජනග්‍රහණයක් එන්නත් කළේ කෙසේද ?              

අධික ජන ගහනයක් ඇති යුරෝපීය රටවල ඉතා කාර්‍යක්ෂමව විදිමත්ව එන්නත්කරනය සිදුකිරිමේදී එම සාර්ථකවයට තුඩු දුන් ප්‍රධාන හේතු කීපයක් මෙසේ දැක්විය හැක.

එන්නත්කරනයට කිසිඳු දේශපාලනික අතපෙවීම් නොකිරීම.ප්‍රථමයෙන් සෞඛ්‍ය අංශ, වෛද්‍යවරුන් ඇතුලු සියලූම සෞඛ්‍ය අංශවල සේවය කරන්නන් වෙත ප්‍රමුඛත්වය දීම.වයස වැඩිම පුද්ගලයන්ගේ සිට අවරෝහණ ක්‍රමයට එන්නත්කරනය ආරම්භ කිරීම.

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් හට ප්‍රමුඛත්වය ලභාදීම.අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් ප්‍රමුඛත්වය ලභාදීම තවද මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවනුයේ ඒ ඒ නගරසභා සීමාවල පොදු විශේෂිත එන්නත්කරනය මධ්‍යස්ථානය පිහිටුවා ඒ ඒ ප්‍රදේශ වල පුද්ගලයින්හට අන්තර්ජාලය මගින් තම ජීව දත්ත ලභාදී එන්නත්කරනයට තමා සුදුසුවන වේලාව දිනය ස්ථානය වෙන්කර ගැනීමට ඇති හැකියාව සහ එකී වෙන්කර ගැනීමෙන් පසුව ජංගම දුරකථනයට අදාල සියලු තොරතුරු සමගින් කෙටි පණිවිඩයක් ලැබීමේ පහසුවය.

මේ ආකාරයෙන් මේ මොහොත වනවිට එන්නත් ලැබිය යුතු පිරිසෙන් 95%ක් පමණ එන්නත් කොට අවසාන කිරීම මෙරට රජයන් සාර්ථක වී ඇත්තේ ජනතාවට කිසිඳු කාළය නාස්ති කිරීම හා අපහසුතාවයන් රහිත යාන්ත්‍රණයක් හඳුන්වා දෙමිනි.

ඔරකල්, රොබොටික්ස්, ආර්ටිපිෂල් හඳුන්වාදුන් අපට සිද්ද වුනේ  කුමක්ද..?            

ලොව පිළිගත් වඩා කාර්‍යක්ෂම එන්නත්කරන හැකියාවක් හිමි ශ්‍රී ලංකාව වත්මන් අදූරදර්ශි පාලනය හමුවේ,අපට පහසුවෙන් ජනජීවිත සුරක්ෂිත කිරීමට තිබූ එකම යාන්ත්‍රණය පවා අඩපණ කරමින් සාහසික තත්වයක් නිර්මාණය කොට ඇත්තේ ලොව අන් කිසිඳු රටක සිදු නොවූ අපූරු එන්නත් ක්‍රමවේදයක් හඳුන්වා දෙමිනි….

වෛරසයක් මැඩලීමට සෞඛ්‍ය අංශවලට මුල්තැන ලභාදෙනවා විනා කෝකටත් තෛලය ලෙස මිලිටිරිකරණය ඉස්සරහට දමන්නේ 'වෛරසයට වෙඩි තබා විනාශ කළ හැකිය' යන ලෙසින් සිතන පාලකයන් සිටිනා බැවිනි..                     

 නිශ්චිත මොහොතේ අත්‍යාවශ්‍ය ලෙස එන්නත් ඇණවුම් නොකොට, ඊට මිත්‍යාවෙන් පිළිතුරු සොයන්නට උඩගෙඩි දෙන ආණ්ඩුවේ දේශපාලකයන් ජනතාව මුලා කරනාවිට, හැටනවලක්ෂයේ පැතුම් පුබුදවාලන්නට ඔරකල්,රොබොටික්ස්, ආර්ටිපිෂල්, ඔස්තාර්ලා ඉදිරිපත් වූයේ නැත….

අස්සයා පැනගිය පසු ඉස්තාල වහන පොලිටිකල් ලීඩර්ලා ඉස්තාල වසන්නේ අවසානයේ ජනතාව පිට වරද පටවමිනි.. එන්නත් ලභාගැනීම පිණිස දිගින් දිගටම ජනතාව දිගු පෝලිම් වල අව්වේ වැස්සේ වරු ගණන් දුක් විඳින්නේද, බලපුලුවන්කාර නිලධාරීන් සංචරණ සීමා කඩ කරමින් එන්නත් කොල්ල ජයටම කරන්නේ එක් රටක් එක් නීතියක් තුළ ඔරකල්, රොබොටික්ස්,ආර්ටිපිෂල් ඉන්ටෙලිජන්ස් අතරේ වීම හාස්‍යට මෙන්ම අතිශය කණගාටුව හේතුවී ඇත..

එන්නත් ඇණවුම් පමාකලේ කොමිස් කුට්ටි වෙනුවෙන්ද….?          

මුල් අවස්තාවේම එන්නත් ඇණවුම් කල්දමමින් විවිධ ප්‍රකාශ කරමින් මගහැරියේ,විද්වතුන් මෙන්ම හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසන ආකාරයට ප්‍රධාන සමාගමෙන් මිළදීගැනීම් නොකොට උප සමාගම් හරහා එන්නත් ආනයනය සිදු කරන්නේ එක් එන්නතකින් ඩොලර් පහක් පමණ කොමිස් ගිලීමට නොවේද? යන්න සාධාරණ සැකයක් ඇති කරන්නේ එකී එන්නත අසල්වැසි බංග්ලාදේශය හා පකිස්ථානය මිළට ගන්නේද ඩොලර් 10ක් වැනි මුදලකට වීම නිසයි…

කොරෝනා මරණ වරෙන්තූව මොන මොහොතේද කිසිවෙක් නොදන්නා සන්දර්භයක ගෙන්වන එන්නතකින් පවා කොමිස් කුට්ටි ගිලින්නේ නම් ඔවුන් තවදුරටත් මිනිසුන් විය හැකිද?...

එසේ ජනතා බදු මුදලින් ගෙන්වන එන්නත්, එන්නත්කරනයේදී දේශපාලන අධිකාරියේ රුව,නාමයන්,පක්ෂ සලකුණු ප්‍රදර්ශනය කිරීම තුළ ලෝකයෙන් එක වීමට පාරම්බෑ පාලකයෝ සමස්ත ලෝකවාසී ඉදිරියේම නිරුවත් වී ඇත……

තවදුරටත් එන්නත්කරනය තුළින් එන්නත් පොකුරු නිරිමාණය කර නොගැනීමට වග බලාගනිමින් ජනතව අපහසුතාවයට පත් නොකොට විදිමත් ක්‍රමවේදයක් හරහා වහාම සමස්ත රටවැසියන් එන්නත් කොට ලෝකයෙන් එක වීමට ක්‍රියාකරන්නැයි අවදාරණය කරමු…

sumusu M 150pxසුමුදු මද්දුමආරච්ච,

මිලානෝ,

ඉතාලිය.