Language Switcher

V2025

අවුරුදු දෙකක වැඩ මිනිත්තු දෙකෙනුත් කියන්න පුළුවන් : නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා !

මේ වන විට සමාජ මාධ්‍ය තුළ අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩර්න්(Jacinda Ardern) විසින් සිය වසර දෙකක පාලනය ගැන මිනිත්තු දෙකකින් කියන වීඩියෝවක් සංසරණය වෙයි.

පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි.

අපේ රට ගැනත් හිතේ තියාගෙන බැලුවට කම් නැත..!

වසංගතයට එරෙහි ක්‍රියාමාර්ග දේශපාලන නායකත්වය විමසා බැලෙන කදිම අවස්ථාවක් ලෙස මේවන විට කතා බහට ලක්වනවා.

ඇමෙරිකාවේ "The Atlantic" සඟරාව පලකළ ලිපියක දැක්වෙන්නේ මෙහිදී නවසිලන්ත අග්‍රාමාත්‍යවරිය ග්‍රහ ලෝකයේ සාර්ථකම නායිකාව විය හැකි බවයි. සමස්ත අදහස එලෙස පලකළද කොරෝනාවලට එරෙහි නවසීලන්තයේ වත්මන් සාර්ථකත්වය අගමැතිණි ජසින්ඩා ආර්ඩර්න්ගේ(Jacinda Ardern) පමණක් නොව එරට මහජන සෞඛ්‍ය ආයතන, විපක්ෂ දේශපාලනඥයින් හා රට වැසියන්ගේ සාමුහික ප්‍රයත්නයක් ලෙසද දක්වා තිබෙනවා.

මේ ලිපියේ නවසිලන්ත හිටපු අග්‍රමාත්‍යවරියක වන Helen Clark ගේද අදහස් උපුටා දක්වමින් ජසින්ඩා පිලිබඳ උරි ෆ්‍රයිඩ්මන්(Uri Friedman) ලේඛකයා තබන සටහනේ සාරාංශයක් සටහන් කරන්න හිතුනා. දේශපාලන නායකත්වය පිලිබඳ ආකර්ෂණිය අදහස් කිහිපයක්ද එහි තිබෙනවා. ————

කොරෝනා වසංගතය, ලෝකයේ මෙතෙක් දැක ඇති දේශපාලන නායකත්වයේ විශාලතම පරීක්ෂණය විය හැකිය.

ලෝකයේ සෑම නායකයෙක්ම සිය හැකියාව පිලිබඳ එකම ආකාරයේ අභියෝගයකට මුහුණ දෙමින් සිටී.

සෑම නායකයෙක්ම වෙනස් ආකාරයකින්, ඔහුගේ හෝ ඇයගේ ශෛලිය අනුව ප්‍රතිචාර දක්වයි. සෑම නායකයෙකුම විනිශ්චය කරනු ලබන්නේ එහි ප්‍රතිඵලය මගිනි.

ජර්මන් චාන්සෙලර් ඇන්ජෙලා මර්කෙල්(Angela Merkel) විද්‍යාව වැලඳ ගනී. බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ(Jair Bolsonaro) එය ප්‍රතික්ෂේප කරයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ(Donald Trump) දිනපතා මාධ්‍ය හමු සර්කස් සංදර්ශන වැනිය. බිලියන 1.3 ක ජනතාවක් අගුලු දමා(Lock down) සිටියද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිතිපතා එවැන්නක් කරන්නේ නැත.

39 හැවිරිදි නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් තමාගේම මාවතක් සකසා ගනිමින් සිටී.

මෙතැන් සිට කියන්නේ ඇය පිලිබඳවය...

මිනිසුන් තමන් වෙනුවෙන්ම පෙනී සිටීමට පොළඹවන ආකාරයේ සංවේදනයක් සහිත නායකත්ව ශෛලියක් ඇයට තිබේ.

ඇයගේ පණිවිඩ පැහැදිලි, ස්ථාවර හා සන්සුන්ය. ඒවා විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වෙයි.

ඇය වැරදි තොරතුරු ලබා නොගනී. ඇය දොස් නොකියයි. ඇය සැනසිලිදායක සටහන් ඉදිරිපත් කරන අතරම, සෑම දෙනාගේම අපේක්ෂාවන් කළමනාකරණය කිරීමට උත්සාහ දරයි.

ආර්ඩර්න් තමන්ට දේශනා නොකරන බව මිනිසුන්ට හැඟේ. ඇය ඔවුන් සමඟ සිටින බව හැඟේ.

එකී සංවේදනය නිසා ඇය කෙරෙහි ඉහළ විශ්වාසයක් හා බලාපොරොත්තුවක් පවතී.

ඇය සන්නිවේදිකාවක්. සන්නිවේදනය පිළිබඳ උපාධියක්ද හිමියි.

"ඔබට දැනටමත් COVID-19 වැළඳී ඇතැයි සිතා ක්‍රියා කරන්න” වැනි ප්‍රයෝජනවත් සංකල්ප ඇය හඳුන්වා දුන්නාය.

නිතර නිතර ෆේස්බුක් සජීවී සංවාද පවත්වමින් ආර්ඩර්න් ජනතාව දැනුවත් කළාය.

ඇය ප්‍රායෝගික උදාහරණ සමඟ දැඩි ප්‍රතිපත්ති සාධාරණීකරණය කළාය.

ආඩර්න් ඉහළ නිලධාරීන් හා මාධ්‍යවේදීන් සමඟ වඩාත් විධිමත් හා සාම්ප්‍රදායික දෛනික සංවාද පවත්වයි. ඇමරිකානු ජනාධිපතිවරයා මෙන් ඇය මාධ්‍යවේදීන්ට කිසිවිටකත් තර්ජනාත්මක ප්‍රතිචාර දක්වා නැත. කළේ විහිළු පමණි.

මෙම ලිපිය අවසානයේ කතුවරයා උපුටා දක්වන ඇමෙරිකානු දේශපාලන විශේෂඥයකු වන වෑන් ජැක්සන්ගේ (Van Jackson) අදහසද ඉතා ආකර්ෂණීයය.

“උපායමාර්ගික තීරණ ගැනීම සහ අර්බුදයකදී තීරණ ගැනීම බෙහෙවින් වෙනස්ය. ඉදිරි වසරවලදී ලෝකය බොහෝ දුරට නරක අතට හැරෙනු ඇත. විශාල මානසික අවපීඩනයක් නොවැළැක්විය හැකිය. චීනයේ උපායමාර්ගික අවස්ථාවාදයට සීමාවක් නැත. සෑම තැනකම ඒකාධිපතියෝ සමාජ පාලනය කිරීම සඳහා වසංගතය භාවිත කරති. පොරොන්දු වූ පරිදි බහුපාර්ශ්වීය ආයතනවලට භාරදීම නොකෙරේ. මෙම අර්බුදයෙන් මිදීම, නිර්භීත නව ලොවක් කරා යන දිගු ක්‍රියාවලියක එක් පියවරක් පමණි.”

මෙය නායකයින් බිහි කරන හෝ බිඳ දැමිය හැකි ආකාරයේ අර්බුදයක් ද විය හැකිය.

https://amp.theatlantic.com/amp/article/610237/

( මහින්ද රූබසිංහගේ ෆේස්බුක් ගිනුමෙනි )