Language Switcher

V2025

ආදාහන කටයුතුවලට වැලිගමටම එන්න !

වැලිගම ප‍්‍රාදේශීය සභාවේ වරකපිටිය ආදාහනාගාරය හා අවමංගල්‍ය ශාලාව මීට දින හතරකට පෙර විවෘත කරන ලදී. එකී විවෘත කිරීම සිහිපත් කිරීම සඳහා සාදන ලද සමරු ඵලකය ලෝක වාර්තාවකි. එයට හේතුව එම සමරු ඵලකයෙහි නම් 52 ක් කොටා තිබීමය. ඒ සමරු ඵලකයේ සඳහන් විස්තරය මේ ආකාරයෙන් පටන් ගනී. ‘‘අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයට අනුව, ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි, අමාත්‍ය ජනක බණ්ඩාර මැතිතුමාගේ මගපෙන්වීමෙන්, දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මැතිතුමාගේ අධීක්ෂණයෙන්, වැලිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ගේ පූර්ණ කැපවීම මත, රුපියල් මිලියන 70 වියදමෙන් ඉදිකරන ලද වැලිගම ප‍්‍රාදේශීය සභා වරකපිටිය ආදාහනාගාරය සහ අවමංගල්‍ය ශාලාව මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා, ඩලස් අලහප්පෙරුම මැතිතුමා, කංචන විජේසේකර මැතිතුමා, නිපුන රණවක මැතිතුමා, කරුණා කොඩිතුවක්කු මැතිතුමා, වීරසුමන වීරසිංහ මැතිතුමා යන ඇමැති මන්ත‍්‍රී සහභාගීත්වයෙන් දකුණු පළාත් ගරු ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මැතිතුමාගේ සුරතින් වැලිගම ප‍්‍රාදේශීය සභාවේ වරකපිටිය ආදාහනාගාරය සහ අවමංගල ශාලාව විවෘත කළ වගයි.

ඉහතින් ඔබ කියවූ නම් සංඛ්‍යාව 12 කි. ඊට අමතරව වැලිගම ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් 40 දෙනකුගේ නම් ද මෙම ඵලකයේ සඳහන් ය. මේ ඵලකයේ නැත්තේ ආදාහනාගාරය ගොඩනැගූ මේසන්වරුන්ගේ නම් සහ ආදාහනාගාරය තුළට මිනී පෙට්ටි ඇතුළු කරන සේවක මහත්වරුන්ගේ නම් පමණි.

තම ගමේ ආදාහනාගාරයේ විවෘත කිරීම් ඵලකයෙහි නම් කොටා ගැනීමට අනියම් අයිතියක් වැලිගම ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන්ට ඇති බව අපි පිළිගනිමු. එයට හේතුව මේ සියලූ දෙනාටම එකී ආදාහනාගාරයේ ආදාහනය වීමට අයිතිය තිබීමය.

එහෙත් සෙසු අයගේ නම් ඇතුළත් කර ඇත්තේ දේශපාලන පන්දම් පිණිස බව අපගේ විශ්වාසය වේ. ආණ්ඩුකාර විලි ගමගේ ට සුරතක් ලැබුණේ කවදා සිට දැයි අපි නොදනිමු. සුරත් ඇත්තේ සුර දූතයන්ට සුර දූතිකාවන්ට පමණි. මේ ඵලකය සම්බන්ධයෙන් ලජ්ජාවට පත්වී කනගාටුව පළකර සිත නිදහස් කරගැනීමේ අයිතිය විලි ගමගේ සූරීන්ට හිමිවන බව අපි කල්පනා කරමු. අපට හැඟී යන පරිදි වැලිගම ආදාහනාගාරයක් විවෘත කරන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නොදනී. ඔහුගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය තුළ ආදාහනාගාර පිළිබඳ හෝ මිනී වළලන ආකාරය පිළිබඳ උපදෙස් නැත. එසේම අගමැති මහින්ද රාජපක්ෂ මෙයට උපදෙස් දී නැත. මෙවැනි ආදාහනාගාරයක් හදන බව එතුමා දන්නේද නැත. රටේ අගමැති සහ ජනාධිපති ආදාහනාගාර සම්බන්ධයෙන් කටයුතු නොකරන අතර රාජ්‍ය පාලනය කරමින් විශාල පීඩනයක් දරාගෙන සිටිති. ඵලකයේ සඳහන් අන්දමට ආදාහනාගාරය තැනීමේ කටයුතුවලට පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මගපෙන්වා තිබේ. ඔහු විසින් මගපෙන්වන ලද්දේ ආදාහනාගාරය ඉදිකිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය සොයාගැනීම සඳහාද? නොඑසේ නම් ආදාහනාගාරය තැනීමට බඩු අදින ලොරි වලට ඔහු විසින් පාර පෙන්වන ලද්දේ ද? දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මෙම ඉදිකිරීම අධීක්ෂණය කළ බවද ඵලකයේ සඳහන්ය.

එනම් මේසන් බාස්ලා භාර සුපිරින්ටෙන්ඩන්ට් ලෙස කටයුතු කර ඇත්තේ ඔහුය. වැලිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ආදාහනාගාරය ඉදිකිරීමේදී පූර්ණ කැපවීමක් කළ බවද ඵලකයේ සඳහන් ය. මෙහි අර්ථ දෙකක් ඇත. එක්කෝ පුෂ්පකුමාර බැට්ටගේ ආදාහනාගාර ව්‍යාපෘතියේ කම්කරුවකු ලෙස නොමිලේ සේවය කළේය. නොඑසේ නම් කට්ටියම එකතුවී ඔහු බිල්ලට දුන්නේය. ඇතැම් ආගම්වලට අනුව ඉදිකිරීම් කරද්දී එළුවකු බිල්ලට දෙයි. මෙයට වසර දහස් ගණනකට පෙර සියලූ වැදගත් වැඩ කරන ලද්දේ මිනිස් බිල්ලක් දීමෙන් පසුවය. මේ අනුව අහිංසක පුෂ්පකුමාර බැට්ටගේ ජීවතුන් අතර සිටීද යන්න සොයා බැලිය යුතුය. මධ්‍යකාලීන යුගයෙන් පසු මිනිස් බිලිදීම ඉඳුරා තහනම් ය.

වැලිගම ආදාහනාගාරයේ සමරු ඵලකය පිළිබඳ ප‍්‍රවෘත්තිය ඉතා වේගයෙන් සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතී. මේ ඵලකය පිළිබඳ කතාව සත්‍යයක් නම් එමගින් පෙන්වන්නේ මේ රට තුළ තිබෙන දේශපාලන වහල්භාවයයි. මෙපමණ වහලූන් සිටින රටක ඕනෑම කුණු වැඩක් කළ හැකිය. මේ විකාර ඵලකය ගැන සොයා බලා එහි නම් සඳහන් ප‍්‍රභූවරුන්ට සිදුවූ අවමානය සම්බන්ධයෙන් පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමය. මෙහිදී ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන්ට ඇති ආදාහන අයිතිවාසිකම සලකා ඔවුන්ගේ නම් ඵලකය මතම තිබීමට ඉඩ හැරීම යුතුකමකි.

(දිවයින කතුවැකිය)

September 22, 2021