Language Switcher

V2025

ලංකාවේ යොහානියි ඉන්දියාවේ ස්නේහායි !

එක්කෙනෙක් ලංකාවේ - යොහානි, ගායිකාවක්.

අනෙක් කෙනා ඉන්දියාවේ - ස්නේහා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියානු පළමු ලේකම්.

මේ දෙන්නාම ගැන වැඩි වශයෙන් ඉන්දියාවෙත් ලෝකයේ සමහර තැන්වලත් මේ දවස්වල කතා වෙනවා.

යොහානි සිංදුවක් නිසා - "මැණිකේ මගේ හිතේ"

ස්නේහා රාජ්‍ය තාන්ත්‍රික වැඩක් නිසා - UN මහ සමුළුවේදී පාකිස්ථානයටත් අගමැති ඉම්රාන් ඛාන්ටත් එල්ල කළ දැඩි වාග් ප්‍රහාරයක්. (එනම් රටකින් තවත් රටකට කළ ප්‍රහාරයක්)

දෙන්නාගේ දෙවිදියක වැඩක්. එක විදියට බර තියන්න බැහැ. ඒත් මෙහි මා දකින යම් සාධනීය කරුණු කිහිපයක් තිබෙනවා.

දෙන්නම කාන්තාවන් වගේම, වැදගත්ම කරුණ අඩු වයසේ තරුණියන් දෙදෙනෙක් වීම.

‍යොහානි ද සිල්වාගේ පියා ලංකාවේ හිටපු හමුදා ප්‍රධානියෙක්. ස්නේහා ඩූබේගේ (Sneha Dubey) පියා ඉන්දියාවේ ව්‍යාපාරිකයෙක්. දෙන්නගෙම ගමන් මගට දෙමාපියන්ගෙන් දරුවන්ට ලැබෙන සාමාන්‍ය සහයෝගය මෙකී පියවරුන්ගෙන් ලැබෙන්න ඇති. ඔවුන් තම බලය අනිසි ලෙස යෙදවීම හෝ අනුන්ගේ තැනක් උදුරාගෙන මේ දූවරුන්ට දීලා නැහැ.

යොහානිත් විදේශයකින් උසස් අධ්‍යාපනය ලබලා. ඒ වගේම සංගීත ක්ෂේත්‍රයේ තැනකට එන්න ගොඩක් මහන්සි වී ඇති බව, කැපකිරීම් කර ඇති බව පේනවා.

ස්නේහා ගෝවේ පදිංචිකාරියක්. ඇය නවදිල්ලියේ ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයෙන් භූගෝල විද්‍යා Master උපාධියත් ජාත්‍යන්තර අධ්‍යයන MPhil උපාධියත් හිමිකර ගෙන තිබෙනවා.

ඇයගේ කතාව පොඩ්ඩක් කියන එක වැදගත්. ස්නේහා ඉන්දීය විදෙස් සේවයට (IFS) එක්ව ඇත්තේ 2012 වසරෙදි. විදෙස් සේවයේ තෙවන හා දෙවන ලේකම් තනතුරුවල සේවය කිරීමෙන් අනතුරුවයි ඇය මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාව නියෝජනය කරන පළමු ලේකම් බවට පත්ව සිටින්නේ.

ඇයගේ වයස හෙළිකර නැතත් අවුරුදු 25 - 35 අතර තැනැත්තියක්. අද ඇය කෝටි 140 ක පමණ ජනගහණයක් සිටින රටක් නියෝජනය කරනවා.

UN මහ සමුළුවේදී ((UNGA) ස්නේහා සිය රට වෙනුවෙන් අදහස් පළ කළා. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කාශ්මීරය සම්බන්ධයෙන් දැක්වූ අදහස්වලට දැඩි ප්‍රතිචාරයක් දක්වමින් ඇය කියා සිටියේ පාකිස්ථානය ත්‍රස්තවාදය පෝෂණය කරන බවයි. සිය අසල්වැසි රට ඇත්ත වශයෙන්ම "ගිනි නිවන භටයෙකු" ලෙස වෙස්වළාගෙන "ගිනි තැබීමක්" සිදු කරන බව ඇය කියා සිටියා. මේ අදහස් දෑක්වීමෙන් පසු ස්නේහා ඉන්දියාව වගේම ලෝකයෙත් හෙඩ්ලයින් එකක් බවට පත්වුණා.

ස්නේහාට වගේම ලංකාවේ අයත් ඉගෙන ගෙන මේ විදියට ඉදිරියට නොයනවා නොවෙයි. ලංකාවෙත් විදෙස් සේවයට බඳවා ගැනෙනවා. ඔවුන් අදියරෙන් අදියර ඉදිරියට එද්දි තානාපතිවරුන් හෝ මහ කොමසාරිස්වරුන් ලෙස පිටතින් පිරිසකුත් පත්කෙරෙනවා. විශ්‍රාමික දේශපාලකයෙකුට හෝ පක්ෂයට උදව් උපකාර කළ පිරිසකට තුටු පඬුරක් ලෙස එම තනතුරු ලැබෙනවා. රෝහණ බැද්දගේලා, නීලා වික්‍රමසිංහලා විතරක් නොවෙයි ASP ලියනගේ වැනි ජෝකර්ලත් එවැනි තනතුරුවලට දමනවා. අපේ රාජ්‍ය තාන්ත්‍රික සේවාව තිරිහන් වෙනවාට වඩා තිරිසන් වෙනවා.

එතනින්ද නොනැවති විදෙස් තානාපති සේවාවලට දේශපාලකයන්ගේ දූ දරුවන්, නෑදෑයන් පවා පත්කරන මජර ක්‍රමයක් දැන් තිබෙන්නේ. සුදුසුකම් ඇතිව හෝ නැතිව කර ඇති මේ බඳවා ගැනීම් බොහොමයක් දේශපාලන පත්වීම්.

ගාමිණී ලොකුගේ, කෙහෙළිය රඹුක්වල්ල, බන්දුල ගුණවර්ධන, තිස්ස අත්තනායක, චන්ද්‍රාණි බණ්ඩාර වැනි අයගේ දූ පුතුන්, වාසුදේව නානායක්කාර, ජනක බණ්ඩාර වැනි අයගේ ඥාතීන් මෙලෙස බඳවා ගත් අය අතර සිටිනවා. එක්කෝ ඔවුන්ගෙන් සමහරු ඒ තරනතුරුවලින් මේ වන විට ඉවත්කරලා. සමහරු තවම සිටිනවා.

තමන්ගේ දරුවන් රට යවා උගන්වා රජයේ ඉහළ තනතුරුවලට දාන්න, පළාත් සභාවට පළමුව ඉදිරිපත් කර හෝ පෞද්ගලික කාර්යය මණ්ඩලයට ගෙන පුහුණු කර නායකයන් කරන්න අපේ දේශපාලකයන් සූක්ෂම දක්ෂතා ඇති පිරිසක්.

එහෙත් යොහානිත් ස්නේහත් ස්වශක්තියෙන් පන්නරය ලබා ඉදිරියට පැමිණි අය. පෙරදා කාන්තාවට නිසි තැන නෑ කියූ ඉන්දියාවෙදි ස්නේහට නිසි තැන ලැබෙනවා. ඒ වගේම ඉතා අඩු වයසකදී. අපේ රටේ විශ්‍රාමිකයන් එවැනි තනතුරුවලට පත් කරනවා.

දැන් අපේ රටේ අයත් කියන්න පුළුවන් "අපිත් ළඟදිම තරුණයෙක් රටේ නායකයා කරනවා" කියලා. ඒක හොඳයි. ඒත් ස්වශක්තියෙන් ඉගෙන ගෙන අත්දැකීම් ලබා ඉදිරියට පැමිණි කෙනෙක් නම් වඩා හොඳයි.

අන්තර් ජාතික ප්‍රජාව හමුවේ ප්‍රතිරූපය ඉහළ නංවාගත යුතු කාලපරිච්ඡේදයක අප සිටින්නේ. එහෙත් කාලාන්තරයක් පුරාම සිදුවන්නේ ඇති එකත් බිඳදමා ගන්නා ක්‍රියාදාමයක්.

අහඹුවකින් හෝ යොහානිලා, ස්නේහලා වැන්නවුන් අපේ රටේ බිහිවන තෙක් බලාසිටිමු..!

මහින්ද රූබසිංහ ගේ ෆේස්බුක් ගිනුමෙනි