Language Switcher

V2025

ලංකාවේ බ්‍රෑන්ඩ් ප්‍රශ්නය !

යොහානි ද සිල්වා ඉන්දියාවෙදී අද (සැප්තැම්බර් 30) ප්‍රසංගයක් පැවැත්වීම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක්, ආඩම්බරයෙන් හැටියට බොහෝ දෙනා කතා කරනවා.

"මැණිකේ මගේ හිතේ" ගීතය සමග යොහානිට වඩා ශ්‍රී ලංකාව සංගීතයෙන් ජාත්‍යන්තරයට ගිය වගක් මෙකී උද්දාමයන්ගෙන් පෙනී යන්නක්. එහෙත් මේක එවැන්නක් කියලා මා නම් හිතන්නේ නැහැ. මෙය ඇය තම මහන්සියෙන් ගොඩ නගා ගත් හුදකලා ගමනක ප්‍රතිඵලයක්. ඒකෙන් යොහානි දැන් බ්‍රැන්ඩ් එකක් වෙලා.

රටක් හැටියට ඉදිරියට යාමට හෝ ඒ මත සතුටුවීමට තනි තනිව හදන බ්‍රෑන්ඩ්වලට වඩා එකී රට හදාගන්න බ්‍රෑන්ඩ් තමයි වැදගත් වෙන්නේ. යොහානිලා ලෝකෙට ගියත් ගෙනියන්නේ අපේ සංගීතයම නොවෙයි. මෙහි තිබෙන්නේ ඇය අපේවීම පමණයි. හැබැයි ඇය ගෙනෙන "අපටත් පුළුවන්" කියන පණිවුඩය ඉතා වැදගත්.

ජේ.ආර්, සනත්, අර්ජුන, සුසන්තිකා වගේ අයත් ලෝකේ බ්‍රෑන්ඩ් වුණු අපේ කිහිප දෙනෙක්. පුද්ගලයින්ට වඩා අතීතයේ රටක් හැටියට ජාත්‍යන්තරයේ අපි බ්‍රෑන්ඩ් වුණ අවස්ථා වැඩියි. Ceylon Tea කියන්නේ එහෙම එකක්. ථේරවාද බුදුදහම තවත් එකක්.

වර්තමානයේ අපට එවැනි බ්‍රැන්ඩ් තිබේද යන්න ප්‍රශ්නයක්. ලංකාව මැදපෙරදිග බ්‍රෑන්ඩ් වෙන්නේ කාන්තා ගෘහ සේවයෙන්. එහෙත් වර්තමානයේ ඉන්දියාව, පිලිපීනය ආදි රටවල් හෙදියන් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර බ්‍රෑන්ඩ් එකක්. බංග්ලාදේශය, ඉන්දියාව සොෆ්ට්වෙයාවලින් ඉදිරියට ඇවිත්. බංග්ලාදේශය, මියන්මාරය වගේ රටවල් ලංකාවට තිබූ තැනත් අභිබවා යමින් ඇඟළුම් ක්ෂේත්‍රයේ බ්‍රෑන්ඩ් වෙලා ඉවරයි.

හැම දෙයක්ම තිබුණත් ලංකාව තායිලන්තය, මාල දිවයින වගේ සංචාරක බ්‍රෑන්ඩ් එකක් වෙලා නැහැ. ඒක විටින් විට විචල්‍ය වනවා.

ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජපානය, ඉන්දියාව ආදි රටවල් හැදූ මෝටර් රථ බ්‍රෑන්ඩ් ජාත්‍යතරයේ අදත් වැඩි වර්ධනය කරගෙන ඉදිරියට යනවා. ඒත් ලෝකෙට බ්‍රෑන්ඩ් නොවුණත් අපේ රට ඇතුලේ බ්‍රෑන්ඩ් වෙලා තිබුණු අපේ දේවල් පවා දැන් අපට නැතිවෙලා. කැළණි ටයර්, පුත්තලම සිමෙන්ති, ඔරුවල වානේ, වාලච්චේන කඩදාසි දැන් කොතනද තිබෙන්නේ? ඇල්පෙනෙත්තක් හදන එකත් අපට දැන් සිහින. එදා තිබුණු පාසල් සිලබස් අද වෙනස් කරන්න වෙලා. ගුරුවරුන්ට අපේ යැයි කියන දේවල් උගන්වන්න නැහැ දැන්.

යුද්ධය නිමකර මහින්ද රාජපක්ෂ බ්‍රෑන්ඩ් එකක් වුණත් ඒක රට ඇතුලේ සිංහල බහුතරය අතරට සීමාවෙලා. ජාත්‍යන්තරව ඇති වූ කැලැල් තවමත් නිම නැහැ. දැන් දැන් සිදුවන දේවලින් තියෙන බ්‍රෑන්ඩ් එකත් නැතිවෙනවා.

වර්තමානයේ අපිට හිමි තැන කුමක්ද? ජාත්‍යන්තර ණය අරන් බ්‍රෑන්ඩ් වෙනවා. වෙනත් රටවල් බොහෝ දේ අත්පත් කර ගනිද්දි අපි දේශීය සම්පත් විකුණලා බ්‍රෑන්ඩ් වෙන රටක්. අමෙරිකා, චීන, ඉන්දියා කොළණියක් කියලා දැන් අපිම කියාගන්නවා.

වෙළෙඳ පොළ ආර්ථිකයක අප වගේ රටවල් ගිලගන්නවා තමයි. ඒත් ඒකේ ඇතුලෙත් අපටත් ඒවගේම අවස්ථා තිබෙනවා. ඒකට ඔලුව දාගන්න අපට බැරිකමක් තිබෙන්නේ. දාගත්ත ටිකත් එළියට ගන්න බොහෝ දෙනා වැඩකරමින් ඉන්නේ.

මේ අතරේ යොහානි ජාත්‍යන්තරය ජය ගැනීම හෝ බ්‍රෑන්ඩ් එකක් වීමෙන් ලංකාවේ බ්‍රෑන්ඩ් එක තවත් පහළට වැටෙන්නත් බැරි නෑ. අල්ලපු රට ඉන්දියාවේ එක එක කොන්වල ඉන්න මිනිස්සුත් ශ්‍රී ලංකාව ගැන හරියට දන්නේ නැහැ. යොහානිත් එක්කම මිනිස්සු ශ්‍රී ලංකාව කියන රට හොයන්න ගනීවි. එතකොට ශ්‍රී ලංකාව ගැන දැනගන්න පුළුවන් දේ මොනවාද? බිඳ වැටෙමින් යන ආර්ථිකයක්, දූෂිත දේශපාලනයක් හා දෙශපාලකයන්, අපරාධ ඉහවහා ගිය රටක්, මිනීමරුවන් නිදහස් කරන පාලන තන්ත්‍රයක්, හිරගෙවල්වලට පැන යකා නටන ඇමතිවරුන් වගේ දේවල්. යොහානිගේ බ්‍රෑන්ඩ් වීම රටේ අවරෝහණය බවට විතැන් වෙනවා.

ඒ නිසා මම නම් කියන්නේ යොහානි මේ ඇර පෙන්වන්නේ කවුළුවක්. තනියම ලෝකයට යන හැටි. ඒකෙන් ගන්න ඕන දේ තමයි රටක් හැටියට ලෝකයට යන හැටි හොයන එක. ශ්‍රී ලංකාව, ජාත්‍යන්තරයේ බ්‍රෑන්ඩ් එකක් කරන හැටි. එහෙම නැතිව යොහානි ලෝකේ දින්නා කියන්නේ ලංකාව දිනුවා කියන එක නම් නොවෙයි.

|මහින්ද රුබසිංහ ෆේස්බුක් ගිනුමෙනි