Language Switcher

V2025

මේ යාඥාවට ඔබේ ආදරණීයයන් ද කැටුව එන්න

මරණයකට වන්දි ගෙවිය යුත්තේ තවත් මරණයකින්මද ? ඒ හැර වෙන කිසිම මඟක් ගැන මිනිස්සුන්ට හිතාගන්නටවත් නොහැකිද ? නැත්නම් කිසිම සාමකාමී පිළිවෙතක් ගැන හිතන්නට මේ දියුණු යැයි කියන මිනිස්සුන්ට හැකියාවක් නැද්ද ?

තෙල්දෙණියේ සිංහල වගේම මුස්ලිම් මිනිස්සුත් මරණ බයෙන් ජීවත්වෙද්දි රට වටේ ඉන්න සිංහලයින්ටත් නුවරට එන්න කියලා තිබුණු පෝස්ට් වලින් භීතියට පත්වුණු මොහොතක බුකියට පුංචි විරාමයක් තබන්නට හැකිවෙද්දි අහම්බෙන් වගේ The Reluctant Fundamentalist සිනමාපටය නරඹන්න ලැබෙනවා.

001 1

‘‘හැඟීම් අපට ධෛර්යය ලබාදෙනවා. නිතරම හිනාවෙන් හිටිය අපේ අහිංසක සමීර්ට මේ කතාව ඇහුණොත් ඔහුත් ඊට එකඟ වේවි. සමීර් වෙනුවෙන් නොහඬා ඉන්නැයි ඔහුගේ මාපියන් අපෙන් ඉල්ලා හිටියා. නිහඬව ගලාබසින මේ ගංඟාවට දැනටමත් ඕනෑවටත් වඩා කඳුළු එක්වී තිබෙනවා. තමන්ගේ පුතා වෙනුවෙන් පළි නොගන්නැයි, දෛවයට දෙස් දෙවොල් නොතබන්නැයි ඔවුන් අපෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා. අල්ලා අපේ පුතාව ආදරයෙන් වැළඳගෙන හමාරයි. දෑසින් වැගිරෙන ඔය කඳුළු පිසදා, ආඥාදායකයෝ-ප්‍රජා පීඩකයෝ, ඒ විතරක් නෙමෙයි ආක්‍රමණිකයෝ නැති හෙට දවසක් වෙනුවෙන් යාඥා කරන්න. මේ යාඥාවට ඔබේ ආදරණීයයන් ද කැටුව එන්න. කිසිකලෙක නොදුටු අමිල රැස් විහිදුවන්නැයි - ඈතින් දිලිසෙන ඉරට කියමු. අපේ ආත්මයේ සාරයත් උකහාගෙන තව තවත් දීප්තිමත් වන හැටි හිරුට උගන්වමු‘‘

 

002 2

ශිෂ්‍ය උද්ඝෝෂණයක් මැද්දේ තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්න පාකිස්ථානු ජාතිකයෙක්ගේ ඔළුවට පිස්තෝලයක් එල්ල කරපු ඇමරිකන් ජාතිකයෙකු අතින්,අත්වැරදීමකින් පිටවුණු උණ්ඩයකින් එල්ලවුණු බුලට් පහරකින් මරණයට පත්වෙන සමීර්ගේ දේහය අද්දර හිඳ ඔහුගේ මාපියන් වෙනුවෙන් චංගීස් කියන්නේ ඔවැනි කතාවක්.

දෙවියන් ලොව වැඩ ඉන්නවාද ? නැත්නම් දෙවියන්ට පෘථග්ජන මිනිස්සු අමතක වෙලා ගිහිං ද කියන කාරණේ හරිහැටි විශ්වාස කළත් නොකළත් හැම මිනිහෙක්ගේම ප්‍රාර්ථනය වෙන්නේ සුභදායී හෙටක්. ඒ හෙට දවසේ දී තමන්ව පීඩාවට පත්කරන මෘග පාලකයෝ තවදුරටත් නොසිටීවා යන්න ඉත සිතින් ප්‍රාර්ථනා කරන්න මිනිස්සු කැමතියි. මොකද පුංචි පුංචි ප්‍රශ්න ඇතිකරලා ඒවා ජාත්‍යන්තර අර්බුද තරමට පත්කරවලා තියෙන්නෙත් ඔය කියන පාලකයෝ විසින්මයි. ආගමේ නාමයෙන් එකිනෙකා සමගින් මරාගන්නා අන්තවාදීන් වගේම එකෙක් පරයා තවෙකෙක් නැගී සිටින්නට වෙර දරන වෙළඳපල ආර්ථිකය ඇතුළේ මිනිස්සු යන අතක් කොහිදැයි හොයාගන්නට නොහැකිව මංමුලා වෙලා.

003 1

වෝල් ස්ට්‍රීට් හි තක්සේරු සමාගමක රැකියාව කළ මුස්ලිම් ජාතික පාකිස්ථානුවෙකු වුණු චංගීස්ට, මුස්ලිම් ජාතිකයෙකු වූ නිසාවෙන්ම සැප්තැම්බර් 11 ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වුණු ප්‍රහාරයෙන් පස්සේ මේ ආගන්තුක රට ඇතුළේදී කටුක අත්දැකීම් වලට මුහුණදෙන්න සිද්ධවෙනවා. මේ තරුණයා නැවතත් තමන්ගේ රටට ඇවිත් සල්ලි වෙනුවට දැනුම බෙදන කථිකාචාර්යවරයකු විදියට කටයුතු කරද්දීත් තමන්ගේ රටේදීම ජීවිතය අනාරක්ෂිත වන තැනට පත්වෙන අන්දම මේ සිනමාපටය තුළ දිගහැරෙනවා. අවසානයේදී අල් කයිඩා සාමාජිකයෙකු විදියට ඇමරිකානු බුද්ධි අංශයන් වල සැකයට බඳුන් වෙන මේ තරුණයාගේ ජීවිතයට වගේම පවුලේ අයටත් තර්ජන එල්ල වෙනවා. එහෙම වෙන්නේ ඔහු මූලධර්මවාදය ප්‍රතික්ෂේප කළ මුසල්මානුවෙකු වුණු නිසයි.

004

අල්ලාගේ නාමයෙන් තමන්ගේ ජීවිතය පරදුවට තබන්නටැයි මුජාහිඩ් පිරිස් වෙතින් චංගීස්ට ලැබෙන ආරාධනාවන් ඔහු ප්‍රතික්ෂේප කරනවා. හැබැයි, ආගමේ නාමයෙන් ඒ මඟනොයන්නට තරම් තීරණයක් ගන්නට හැකියාවක් චංගීස්ට තිබුණා. අවසානයේදී තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරන්නට ආව සමීර් තමන්ගේ ඇස් ඉදිරිපිට මැරී වැටෙද්දිත් චංගීස් අවිය වෙනුවට ආයෙමත් මිනිස්සුන්ගේ හදවත් සුවපත් කරන කැරැල්ලකට ආරම්භය දෙනවා. ඒ යහපත් හෙට දවසක් වෙනුවෙන් වූ ප්‍රාර්ථනාවත් සමගයි.

The Reluctant Fundamentalist කෘතිය ලියැවෙන්නේ පාකිස්ථානු ජාතිකයෙකු වුණු මෝසීන් හමීඩ් එනමින්ම රචනා කරපු කෘතිය ඇසුරෙනුයි. වැදගත්ම දේ ධනය වෙනුවෙන් වුණු අරගලය හමීඩ් ඇමරිකාවේ ගතකළ කුඩා අවදියේදී සිටම සියැසින්ම දැක තිබීමයි.

005 ( මෝසීන් හමීඩ්)

තමන්ගේ දිවිසැරිය ගැන මතකය අවදි කරන හමීඩ් කියන්නේ, ‘ලාහෝරයේ ඉපදුණු මම අවුරුදු තුනේදී සැන් ප්‍රැන්සිස්කෝවට යනවා, අවුරුදු නමයේදී ආයෙත් ලාහෝරයට එනවා. ම්ම්, අවුරුදු 18 තරුණයෙක් විදියට නිව් ජර්සි වලත්, වයස අවුරුදු 22 දී ආපහු ලාහෝරයටත්, 23 දී බොන්ස්ටන් වලටත්, 26 දී නිව්යෝර්ක් වලටත්, ජීවිතයේ 30 වන කඩඉමේදී ලන්ඩන් වලට ගියපු මම ආයෙත් සුපුරුදු විදියට අවුරුදු 38 දී ලාහෝරයට එනවා.‘‘

 006

ජීවිතේ කියන්නේම මෙලෝ හසරක් නොදැන කරන සැරිසැරීමක් වුණත් තමන්ගේ අක්මුල් අමතක කරන්නට කිසිවෙකුට හැකිවෙන්නේ නැහැ. හමීඩ් අවසානයේදී තමුන්ගේ අක්මුල් හොයාගෙන එන්නේ The Reluctant Fundamentalist සිනමාපටයේ ඉන්න චංගීස් නැවතත් පාකිස්ථානයට පැමිණි ලෙසින්මයි. ඒ මඟ එන්නට ඔහුට පසුබිම සැකසෙන්නේ තමන්ගේ අතීත මතකයන් හා අන්ධ ධනවාදය ඇතුළේ මිනිස්සුන්ගේ ජීවිත වල පාලනය ගිලිහී යාම ගැන ලැබෙන වැටහීම තුළිනුයි.

මේ කතාව ලෝකයට කිව යුතුම කතාවක් බව තීරණය කරන මීරා නායර් The Reluctant Fundamentalist කෘතියක් විදියට මුද්‍රණයෙන් පිටවෙන්නත් කලින් එනමින්ම චිත්‍රපටයක් නිර්මාණය කරනවා.

රටවල් කීපයක් පුරා සැරිසරා අවසානයේ පාකිස්ථානයේ දිවි ගෙවන්නට තීරණය කරන හමීඩ් අන්ධ ජාතිවාදිය වෙනුවට මනුෂ්‍යත්වයේ මාවත තෝරාගන්නවා.

‘‘ජාතිකත්ව අදහස ඔස්සේ තමන්ගේ වටේ ඉන්න අයටත් අනුකම්පා කරන්න පුළුවන් නිසා එක අතකින් ඒක අතිශය බලසම්පන්නයි. ඒත්, මේ කියන ජාතිකත්ව අදහසම මිනිස්සු එකිනෙකාගෙන් භේද බින්න කරන්නත් හේතුවෙනවා. ඇත්තටම, ජාතිකත්වය ඔප් නැංවීම කියන්නේ මිනිස්සු තුළ දැකගන්නට හැකි බොහොම භයානක දුර්වලතාවක්.

ජාතිය, ආගම, ලිංගිකත්වය, ජාතිකත්වය, ජනවර්ගය, රැකියාව විතරක් නෙමෙයි - විලාසිතා, කෑම බීම, සංගීතය, කියවන පොත පත වගේ දේවල් ඔස්සේ මිනිස්සුන්ට විවිධාකාරයේ අනන්‍යතා තිබෙනවා. මේ හැමදේම අපේ අනන්‍යතාවයේ කොටස්. බ්‍රිතාන්‍යයින්, මුසල්මානුවන් හෝ සුදු ජාතිකයින් විදියට නැත්නම් ගැහැණු පිරිමි විදියට එකෙක් අනෙකා පරයා නැගී සිටීමේ අනවරත අරගලයක මිනිස්සු නිරත වෙනවා. මේ අරගලය ඇතුළේදී අපි, අපිට හානියක් කරගන්නවා වගේම අනික් අයටත් කරන්නේ බරපතල හානියක්.

007

මෙයා අපේ ජාතියේ කෙනෙක්, මෙයාව මරන්න එපා කියලා එක් මිනිහෙක්ව මරණයෙන් මුදවාගෙන, අරයා අපේ කෙනෙක් නෙමෙයි - එයා මරලා දාන්න ඕන කියලා තීරණය කරද්දි මිනිස්සු විදියට අපි නොසලකා හරින්නේ අපි හැමෝම පියවරු, දූ දරුවෝ, මේ රටේ පුරවැසියෝ කියන හැගීමයි. ඒ හැමදේටම වඩා අපි හැමෝම මිනිස්සු කියන හැඟීම මේ වගේ අති කෘර අරගලයකදී අමතක කරලා දානවා. ඇත්තටම, මිනිහෙක් තවත් කෙනෙක් කෙරේ දැක්විය යුතු මානුෂීය ගුණය ප්‍රතික්ෂේප කරදමද්දී තමන් සන්තකයේ තියෙන මනුෂ්‍යත්වයෙන් කොටසකුත් මකාදමනවා.

 The Reluctant Fundamentalist සිනමා පටයේ ටේලරය 

සටහන - වින්ධ්‍යා ගම්ලත්