Language Switcher

V2025

තීරු තීරුවලට ඉරා කියවිය යුතු පත්තරකාරයෙකු ගේ නික්මන !

සුනිල් අයියා යනු සමනල වර්ණ පත්තරයක් මෙන් පොඩිනොවන සේ දිගහැරගෙන කියවිය හැකි පත්තරකාරයෙක් නොවේ.

අසූව දශකයේ දිවයින පත්තර පිටුවක් මෙන්, එහි මුද්‍රිත අකුරුවලින් මෝහනය නොවී, තීරු තීරුවලට ඉරා, ඒ අකුරුවලට යටින් නිර්දය කියවීමටක ලක්කළ යුතු පත්තරකාරයෙකි.

80 දශකය අග දකුණේ තරුණ නැඟිටීමේ පටන් ලංකාවේ දේශපාලනය අද තිබෙන අන්තවාදී, අපරාධකාරී, දූෂිත නරාවල බවට පත්වූයේ කෙසේදැයි, ලංකාවේ සමාජය මේ තරම් වඳපීදුනු කාලකණ්ණි පිස්සන්කොටුවක් බවට පත්වූයේ මන්දැයි තේරුම්ගැනීමට අවශ්‍ය ම කවුළුවක්, එවැනි නිර්දය කියවීමක් ඔස්සේ විවරකරගත හැකිවනු ඇත.

දේශපාලනය - දේශපාලනයෙන් ම නොකියවා, දේශපාලනය රොමෑන්ටික් හදවතකින්, හැඟුම්බර සාහිත්‍යයෙන් කියවන්නට යාමෙන් අප පොට පටලවාගත් තරම ද ඉන් හෙළිදරව් කරගත හැකිවනු ඇත.

එක් ඒකල පුවත්පත් ලියමනක් පාදක කරගෙන එවැනි වූ නිර්දය කියවීමකට මා මෙයින් වසර දෙකකට පෙර ලුහුඬු උත්සාහයක් දැරූවද, එය අදටත් මා හැර අන් කිසිවකු නොදුටු, මගේ පරිගණකයේ ඉලෙක්ට්‍රොනික දුහුවිල්ලේ මළකමින් ඇති වචන සමුදායක් පමණක් ලෙස ඉතිරිව තිබේ.

එවැනි නිර්දය කියවීමකට මේ හැඟුම්බර මොහොත ද කොහෙත්ම නොගැලපෙන බැවින්, විශේෂයෙන් මා වැන්නෙකු එය මේ මොහොතේ කරන්නට යාම අවශ්‍යම සේවනූලක් මුත් අනවශ්‍ය වේලාවක ගිනිතබන්නට යාමක් බැවින්, එය අත්හැර දමමි.

ඒ වෙනුවට මම අතීත කතාවක් ඔබට කියමි‍.

ඒ, එකල පත්තර ලෝකයේ අපේ ප්‍රමුඛතම වීරයෙක් වූ සුනිල් මාධව නම් ‘ආදරණීය මිනිසා’ හමුවන්නට ගිය අපේ පළමු ගමන ගැන ය.

87 - 89 භීෂණයේ ගිනිරස්නය ගව්වක් දුරට හෝ දැනුණු මගේ පරපුරේ සාතිශය බහුතරයකට සුනිල් මාධව වීරයෙක් වී සිටියේය යි කීම අසාධාරණ නොවේ.
ඉතින්, එදා ඔහු මගේ ද වීරයෙකි.

කිසිදා දැක නොතිබූ මේ මිනිසා වෙනුවෙන් අප පෙළුණේ ඉහමොළ දවාගෙන යන ආදරයකිනි.

ඒ 1990 වසර යි. කොළඹ ඩී එස් සේනානායක විදුහලේ සිසුන් වූ මමත් විරංග ගමගේ නම් එකල මගේ ප්‍රාණසම මිත්‍රයාත් පාසල් ඇඳුමින් ම අපේ පත්තර වීරයා වූ සුනිල් මාධව සොයා මත්තේගොඩ බඩගෑවෙමු. විරංග එකල ඩීඑස් සාහිත්‍ය සංගමයේ සභාපති ය. මා එහි ශිෂ්‍ය උපදේශකයෙක් හෝ මොකෙක් හරි ය.

අප ගියේ අපේ සාහිත්‍ය සංගමයෙන් පවත්වන්නට යන ඩීඑස් භාෂා දිනයේ දී ඔහුට පුදන්නට යන උපහාරය පිළිගන්නැ’යි අපේ පත්තර වීරයාට ආරාධනා කරන්නට ය.

භීෂණ සමයේ ඩීඑස් විදුබිම ද ගිනිතැබූ අග්නිසර, අඟුරු පමණක් ඉතිරිකරමින් යන්තම් නිවෙමින් තිබූ අතර, අපට අපේ සහෝදරවරු කිහිපදෙනෙක් ම අහිමි වී සිටියහ. (මා ඒ ඉරණමින් ගැලවුණේ කෙසේදැයි අදටත් නොදනිමි.) පිටතට වැඩිපුර නොපෙන්වූවාට අප සිටියේ ඇතුළතින් කකියන ලෙයින් කැකෑරෙමිනි.

අප යනවිට සුනිල් අයියා පඩිපෙළකින් වැටී කකුළක් ඇමැට්ටි කරගෙන කොරගසමින් සිටියේ ය. කොරගැහුවාට ඒ සිටියේ අපේ වීරයාම ය. වේගයෙන් ඇහිපිල්ලම් ගසමින්, මුවපුරා සිනා සලමින්, නිරතුරුව ලෙංගතු ම වදන් හලනා මේ වීරයා අපේ ආදර උමතුව එදා උපරිමයට උත්සන්න කළේ ය.

අප යනවිට අපේ වීරයාගේ සිගරට් පැකට්ටුව තිබී ඇත්තේ හිස් වෙලා ය. අප ගොස් පැයකට හමාරකට පසු එහි ආ කටදෝ කියා ඔහු සිගරට් ගෙන්වාගත්තේ ය. "මට මේ කොල්ලො දෙන්නට කියල සිගරට් ගෙන්නගන්න හිතදුන්නෑ බං." ඔහු ඒ අමුත්තාට කීවේ ය. (ඒ සුනිල් අයියාගේ ලොකු මල්ලී, පසුකලෙක ලේක්හවුසියේ දී දිග ඇසුරකට යා වූ සරත් අයියාදැ යි මට හරියටම මතක නැත.)
විරංග කෙසේවෙතත්, කිසිදා ටිපිකල් ජෙප්පෙක් නොවූ මා ඒ වනවිටත් සිටියේ සිගරට් නොව ඊට වඩා දේවලුත් ගසමිනි.

ඒ උම්මත්තකව සැරු සමයේ, ඔළුවට පොලුපහරවල් වැදුණු දවස්වලට මාත් විරංගත් හැතැප්ම ගණන් පයින් ඇවිද්දෙමු. එදා ද අප මත්තේගොඩ සිට කොට්ටාවටත්, එතැනින් බොරැල්ල පාරෙන් පන්නිපිටියටත් ආවේ හීනෙන් දොඩවමින්, හීනෙන් ඇවිදින්නන් මෙන් පාගමනිනි.

එයින් වසරක් ගිය තැන මම පත්තරකාරයෙක් බවට පත්වී ලංකාදීප ක්‍රීඩා පිටුව මතට වැටී සිටියෙමි. සුනිල් අයියාගේ මල්ලී සඳුන් සමග ක්‍රීඩා වාර්තාකරණයට දිනගණන් රටපුරා යමින් මධු ගංගාවල පිහිනමින් සිටියෙමි. සුනිල් අයියාගේ නංගී රමණි අක්කා ලංකාදීපයේදී හමුවී, සහෝදරියක් තරමට අපට ළංවී සිටියාය.

සුනිල් අයියා නම් අපේ පත්තර වීරයා මගේ අතපොවන මානයට ම පැමිණ සිටියේ ය!

අපි කොළඹ පුරා විවිධ බාර්වල කල්ලි ගැසුණෙමු. කචල්කාරයන් වූ අප එක්වර ම ඇතුළට වැද්දගත්තේ නැතත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගොඩනැගෙන මොහොතේ පටන් අපි එහි විවිධ වැඩ අස්සේ කරක්ගැසීමු. සුනිල් අයියා එහි ද දිදුලන තාරකාවක් ව සිටියේ ය.

විවිධ වූ හේතුකාරණා නිසා ඔහු තුළ මා කෙරේ විශේෂ ආදරයක් තිබූ බව මම දැනසිටියෙමි.

එහෙත් කාලයාගේ ඇවෑමෙන් අපේ අදහස් දෙමගක යන්නට පටන්ගත්තේ ය. වැඩි කල් නොගොස් ම ඒවා අතර පරතරය බෙහෙවින් වැඩි වන්නට විය. අන්තිමට ඒවා එකිනෙකට ප්‍රතිපක්ෂව සිටගන්නා දේවල් බවට පත්විය.

එහෙත් අප කිසිදා රණ්ඩු සරුවල් කර නැත්තෙමු. එකිනෙකාට බැන අඬගසාගෙන නැත්තෙමු. අදහස් අතින් සමානයන් නොවුණත්, සපුරා වෙන වෙනත් දේවල් වෙනුවෙන් පෙනීසිටින්නන් වුවත් ඔහුත් මාත් කිසිදා පෞද්ගලික වෛරක්කාරයෝ නොවීමු.

කොටින්ම ඒ වෙනස්කම් තේරුම්ගත්තාට පසුව අප කිසිදා බාර්එකකවත් දේශපාලන වලි ඇදගෙන නැත.

එදා මා සමඟ සුනිල් අයියාට භාෂා දින උපහාර ප්‍රදානයට ආරාධනා කරන්නට ගිය විරංග ගමගේ අද සුනිල් අයියා ගැන මොනවා හිතවාදැයි මා හරියටම දන්නේ නැත. ඔහු මගේ මුහුණු පොත් මිතුරු ලයිස්තුවේ ද නැත.

එහෙත් ඔහු ගේ පක්ෂපාතීත්වය ඇත්තේ මගේ අදහස්වලට නොව, සුනිල් අයියා ගේ අදහස්වලට බව මගේ අනුමානය යි.

දකුණේ භීෂණ සමයේ දී අළුගෝසු හමුදා ලෙස පෙනුණු ආණ්ඩුවේ සන්නද්ධ හමුදා, උතුරේ භීෂණ සමයේ කූටප්‍රාප්තිය වූ 2009 වනවිට ඔහුට ද සුනිල් අයියාට මෙන් ම ‘සිතේ ආදරයක් සහ ගරුත්වයක්’ ඇතිකළ ‘මානුෂික මෙහෙයුමක යෙදුනු රණවිරුවන්’ මෙන් පෙනුණේද යන බලවත් සැකය ම’තුළ වෙයි.

එය එසේ නම්, මෙයින් දශක තුනකට පෙර සුනිල් මාධව නම් ලංකාවේ පත්තර අයිකනයට උපහාර පුදන්නට, සිය යෞවනෝදයේ දී ආදරය හිසදරාගෙන ගිය ප්‍රාණ සම මිතුරන් දෙ දෙනෙක් ද, දශක තුනකට පසු ලංකාවේ සමාජ - දේශපාලන පැල්මේ දිග පළලට, රුදුරු බවට හා භයංකරත්වයට සාක්ෂ්‍යකාරයන් වෙමින් ප්‍රතිවිරුද්ධ අදහස් කඳවුරු දෙකක සිටගන්නාහුය යි මම සිතමි.

සනත් බාලසූරිය ගේ ෆේස්බුක් ගිනුමෙනි