Language Switcher

V2025

අරගල භුමියෙන් භික්ෂුව ඉවතට ගැනීම ශාසන සේවයක් !

අරගලය ඇරඹී ඇත. මුග්ධ පාලකයෙකු ගෙදර යැවිමේ මහජන අරගලය ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව ඇරඹී ඇත. රාජපක්ෂලා ගලේ පැහැරූ බළලුන් සේ හතර අතේ කෙඳිරිගාමින් සිටී.

ජාතිවාදයට මුවා වී ඇතිතරම් ලේ හලා පුරුදු වුණු මේ අරගලයට ජාතිවාදී මුහුණුවරක් දෙන්නට තැස කවයි. තවත් විටෙක දේශපාලන මුහුණුවරක් දෙන්නට කැස කවයි. සහෝදර ජනතාවනි, මේ කෛරාටික හිවල් සෙනඟ බලයේ රැඳී සිටීමට ගසන අවසන් තුරුම්පුවට නොරැවටෙන්න. ඔවුන් සිය ප්‍රතික්ෂේප විම දියාරැ කරන්නට උත්සාහ කරයි. 1948 සිටම රට පාලනය කළ උන් වැරදි යැයි කියන්නේ ද 225 ම එපා යැයි කියන්නේ ද මේ ප්‍රතික්ෂේප වීමේ සාන්ද්‍රණය තනුක කරන්නට ය. අරගලයේ උණුසුම සීතල කරන්නට ය.

මේ ප්‍රතික්ෂේප වන්නේ භානුක රාජපක්ෂ හැර සියලු රාජපක්ෂලා ය. රාජපක්ෂලා වටා සිටිනා හොර නඩය ය. අප පත් කළ අය අපට හොඳය. ඔබ පත් කළ අය හොඳ නැත්තම් ගෙදර යැවිය යුත්තේ උන්ව මිස් දෙසිය විසි පහම නොවේ. රාජපක්ෂලා යවා ඊළගට ගෙනෙන්නේ කවුදැයි අසන්නේ තක්කඩිකමට ය. එහි ඊළග දිගුව නම් යළි ගෙනෙන්න තරම් කෙනෙක් නැති නිසා රාජපක්ෂලා තියා ගැනීම සාපේක්ෂව හොඳය යන්න ය. කුමන හේතුකටවත් රාජපක්ෂලාව රකින උන් පසමිතුරන් සේ සැළකිය යුතු මොහොතකි මෙය. එයට හේතුව නම් කුමන දේශපාලන මතයක් දැරූව ද මනුෂ්‍යයෙකු සතු විය යුතු අවම සංවේදී භාවයවත් නැති අයෙකු තවදුරටත් මිතුරෙක් ලෙස සැළකිය හැකි නොවීම යි. නොඑසේ නම් එසේ සැළකීමේ භයානක බවයි.

කොරෝනා රටම මළ ගෙයක් කරද්දී, මහ මග මිනිස්සු මැරී වැටෙද්දී, ගෑස් ටැංකි පුපුරද්දී, කන්න බොන්න නැතිව මිනිස්සු ගඟේ මුදේ පනිද්දී ඇටිකෙසෙල් කෑ උගුඩුවන් මෙන් සිටි පුජක ගණින් වහන්සේලා රාජපක්ෂලාට පහර වදින විට එළියට එන්න පටන් ගෙන ඇත. නැවත වොයිස් කට් දෙන්න පටන් ගෙන ඇත. එය එසේ වීම පුදුමයක් නොවේ. තමන්ගේ බඩ වියත සරිකර දෙන, බඩ රස්සාව අහිමි වෙනවාට කවුරුත් කැමති නැත. ඔය බොහෝ පූජක ගණිස්නාන්සේලා ජීවත් වුණේ සිව්පසියෙන් නොව රාජපක්ෂලාගේ හොර සල්ලි වලිනි. ඉතිං ඒ ජීවනෝපාය අහිමිවනවාට උන් බය ය. කොහොමත් ලෝක ඉතිහාසය පුරාම පීඩිත පාලකයින් ගේ අස්සේ පූජකයෝ ද සිට ඇත. දුකට කරුණ නම් පැවති සමාජ අසාධාරණයට එරෙහිව දාර්ශනික විප්ලවයක් ඇති කළ, කුල භේදය සපුරා ප්‍රතික්ෂේප කරමින් කුල පදනමින් තොර සංඝ සමාජයක් බිහි කළ, කාන්තාවන්ගේ අයිතිය තහවුරු කළ, වෙනස් මනුෂ්‍ය ස්වභාවය වීම අතිශය සාධාරණ ලෙස සැළකූ, බ්‍රාහ්මණ පූජක පන්තියේ සමාජ අධිපතිභාවය ප්‍රශ්න කළ, සරල අල්පේච්ජ පැවැත්ම සිය අනන්‍යතාවය කොට ගත්, ශ්‍රේෂ්ඨ ශාස්කෘන් වහන්සේ නමකගේ ශාසනයේ නාමයෙන් ම මේ පූජකයන් ස්වයං වින්දනයේ යෙදීම ය. ඔවුන් ට ඔවුන්ගේ ශාස්තෘවරයාණන්ට වඩා රාජපක්ෂලා වටියි.

පුදුම වෙන්නට දෙන්නට දෙයක් ද නැත. ස්වකිය ලාභ ලෝභ පතා ඔටුන්න හිමි මහා විජයබාහුගේ පුත් වික්‍රමබාහුට එරෙහි වූ ද, වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහයන්ට සක්කිලිකම් කොට සරණංකර සාමනේරයන් ප්‍රධාන සිල්වත් භික්ෂූන් එළවා දැමුවා වූ ද, අශුද්ධ ඉතිහාසයක් මේ ගණිස්නාන්සේලා සතුව ඇත. දුර්දාන්ත භික්ෂූන් කවදාත් කළ සෙල්ලම නම් තමන්ට හිතවත් අභිමත අයෙකු පාලකයා කොට යෙහෙන් වැජඹීම ය. සංඝ මිත්‍ර භික්ෂූව මහසෙන් රජු රජ කරවූයේ ද, මහානාම හිමියෝ ධාතුසේන කුමරු රජ කරවූයේ ද, නන්ද තෙරුන් සංඝතිස්ස, සංඝ බෝධි , ගෝඨභය කුමාරවරුන්ට රාජය බලය ලබා දුන්නේ ද, විදභව හිමියන් පැරකුම්බාව රජ කරවීමට ද ක්‍රියා කළේ ද, ඒ දුගඳ හමන ඉතිහාසයේ ය.

2005 සිට රාජපක්ෂලා රජ කරවා ඔවුන් ට ප්‍රශස්ති ගයා, වර දාන ලැබු භික්ෂූන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.
එයින් පළමු කාණ්ඩය නම් නායක මට්ටමේ භික්ෂූන් ය. මල්වතු අස්ගිරි යැයි කියන උභය විහාරය ද ඇතුළුව තුන් නිකායේ ම මහානායක , අනුනායක , සංඝ නායකවරු හීන් සීරුවේ මේ මුග්ධ පාලකයින්ට උඩ ගෙඩි දුන්හ. නායක මට්ටමේ නිසා පාරට බැස උද්ඝෝෂණය සතයග්‍රහ නොකළ අතර මුලාසන, ධර්මාසන වලට වී පට සිවුරු ලස්සනට හැඳ පැළද බරපතළ වචන හරඹ කරමින් අනුශාසනා කළහ.

ගෝඨභයට බලයට ඒමට ධර්ම තන්ත්‍රයක් කියා මැතිරූහ. හිට්ලර් වැනි පාලනයක් අවැසි යැයි කියුවේ ද මේ ගණයේ නායක භික්ෂූවකි. ඒ වෙනුවෙන් ඔවුන් තීරුබදු රහිත වාහන බලපත්‍ර ද, හමුදාව මැදිහත්ව කරන ඉදිකිරීම් ද ඇතුළු වරදාන වරප්‍රසාද ලැබුහ.
මෙම භික්ෂූන් රාජපක්ෂලා වෙනුවෙන් ගණිකා වෘත්තියේ යෙදවුවේ සිය පට්ටම්ය.

අනෙක් කාණ්ඩය නම් පුද පුජා, ආශිර්වාද පුජා, බණ, පිරිත්, ධතු වන්දනා, සත්‍ය ක්‍රියාවලින් කඩේ ගිය භික්‍ෂු කාණ්ඩයයි. මහමෙවුනාව ද, උමංදාව ද, නෙල්ලි ගලද ජීවිතයේ පළමු වරට වේදිකාවට නගිනවා යැයි කියු ආරණ්‍ය වාසීන් ද පළමු වරට ඡන්දය දමනවා යැයි කියු භික්‍ෂුන් ද, චිචිත්‍ර ධර්ම කථිකයින් ද අයිති වන්නේ මෙම දෙවන කාණ්ඩයට ය. මේ භික්‍ෂුන් ගණිකා වෘත්තියේ යෙදවුයේ අහිංසක බෞද්ධ සංස්කෘතික සංකල්ප ටිකය. කැළණියේ නාග මතුවීම්, පොහොට්ටු පුජා, හමුදා ශ්‍රමය ද අහස උසට බුදු පිළිම, සිංහයින් නිර්මාණය කළෝ ඔවුහු ය.

තෙවන කාණ්ඩය නම් සටන් මුදලාලිලා ටික සහ සංඝ පාතාලය යැයි ද වොයිස් කට් නිකාය යැයි ද සාමාන්‍ය ව්‍යවහාරයේ හදුන්වන තක්කඩි භික්‍ෂුන් ටික ය. බොදු බල සේනා, රාවණ බලකාය, සිංහලේ ආදී සංවිධාන නාමයන්ගෙන් පෙනී සිටින, ඕනෑම තැනකට චාරයක් නැතුව කඩා පනින, වී 8 වල ගමනේ යනෙන කම්පැනිකාරයාට සියයට සියයක් සමාන මැරකම ජාතිය සහ ආගම කරගත් මේ ගණින් වහන්සේලා ගණයටම පාර්ලිමේන්තු අසුනක මජර උපාය උපක්‍රම යොදමින් රැදී සිටින අතුරරීයේ රතන ද අයත් වෙයි. පැහැදිලිවම ගිහියාටත් වඩා අන්ත දුෂිත ජීවිත ගෙවමින් සිටින මේ ගණයට අයත් දෙවන පෙළ භික්‍ෂුන් විශේෂ චාර්යාවක් නම් එක දිගට සිවුරේ රැඳී නොසිටීම ය. ජාතික ව්‍යාපාරයක නාමයෙන් මුදල් ටිකක් හොයාගෙන තාවකාලිකව හෝ ස්ථිරව සිවුරු හැර රට පනියි. විවාහ ජීවිත ගත කරයි. අඹු දරුවන් පෝෂණය කරයි. හිතුණොත් නැවත වරක් සිවුර පොරවා ගනියි. රාජපක්‍ෂලා බලයට ගෙන ඒමට දර දිය ඇද්ද දුෂිතම කාණ්ඩය මොවු හු ය.

මේ හැගුණු විට රාජපක්‍ෂලාට හීන් නුලෙන් සහයෝගය දෙන භික්‍ෂුන් ද ඇත. වෙනම කාණ්ඩ ගත කිරීමට තරම් සමාන ලක්‍ෂණ ඒකීයව නොපෙන්වතත් ඔවුන් හීන් නුලෙන් කඩේ යයි. “අපි ඕවාට නැහැ. බණක් භාවනාවක් කරගෙන ඉන්නවා.” යැයි ජන අරගල සීතල කොට දියාරු කරන, රාජපක්‍ෂලා එළවල ගෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා රාජපක්‍ෂලා අකමැත්තෙන් වුවත් තියා ගන්න වෙනවා ආදී වශයෙන් සාපේක්‍ෂ සංසන්දනය පිළිබඳව පණ්ඩිත වාක්‍ය කියමින් ද මේ සියල්ල පසුපස විදෙස් කුමණ්ත්‍රණ විදෙස් ඔත්තු සේවා ක්‍රියාත්මක වන්නේ යැයි කියමින් කොරහේ කිඹුල්ලු දකින්නේ ද මේ සංඝ භික්‍ෂුව ය.

ඔවුන් බොහෝ දෙනෙක් ප්‍රකාශන මාධ්‍ය ලෙස f්ජැ ඉදදනල ශදමඑමඉැ වැනි සමාජ මාධ්‍ය භාවිතා කරයි. බහුතරය හොඳ සිල්වත් භික්‍ෂුන් ය. දුස්සීල මහණුන් එක්කෙනෙක් දෙනෙක් ඇත. බුදුන් දවසක් එබදු දුස්සීලයන් සිටියහ. එය ලෝක ස්වභාවය ය. ” යන්න සමහරුන්ගේ තර්ක යයි. එය යල් පැන ගිය තර්කයකි. සැදැහැවතුනි, දැන් තත්ත්වය වෙනස් ය.

ධැන් සිල්වතුන් වහන්සේලා, සැබෑ ප්‍රගතිශීලී අවංක භික්‍ෂුන් හිමියන් සිටින්නේ කිහිප නමක් පමණය. බහුතරය ඉහත කී කාණ්ඩයට අයත් කුණු වී අභ්‍යන්තරයන්ම දුගඳ හමන ව්‍යාජ චරිතය. ඒ අනුව රාජපක්‍ෂලා විනාශ කළේ රට ජාතිය ආගම පමණක් නොවේ. ශාසනය ද අමු අමුවේ දුෂණය කොට විනාශ කළේය.

අතීතයේ සිටම සැබෑ භික්‍ෂු චරිතය ලංකා ඉතිහාසය තුළ සැළකිය යුතු කාර්ය භාරයක් ඉටු කොට ඇත. දිඹුලාගල මහා කාශ්‍යප මාහිමියන් වහන්සේ, වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ, කුඩාපොළ හිමියන්, වාරියපොළ සුමංගල හිමියන් වැනි භික්‍ෂුන් වහන්සේලා අයත් වන්නේ එම සංඝ පීතෘ වහන්සේලාගේ පරපුරටය. මැත කාලීනව වැඩ විසු බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්, මඩියේ පඤ්ඥාසීහ හිමිපානන්, වල්පොළ රාහුල හිමිපාණන් ද එම පරපුරේ දිගුවක් ලෙස හැදින්වීම යුක්ති යුක්තය. එහෙත් අද එවැනි අවංක භික්‍ෂුවක වුවද සාධාරණ ජාතික මැදිහත් වීමක් කළ හැකිද යන්න ප්‍රශ්න සහගතය. එවැනි අවංක ප්‍රයන්තයක් වත් මහජනතාව විශ්වාස කරයි ද යන්න ගැටලුවකි. ඒ තරමටම භික්‍ෂුව කෙරහි මහජනතාවගේ විශ්වාසය අහොසි වී ඇත.

එබැවින් භික්‍ෂුවට කළ හැකි හොඳම කාර්යය නම් මෙම සමාජ දේශපාලන කාර්ය ගෙන් ඉවත් වී ස්වකීය අධ්‍යාත්මික වපසරිය වඩා පුළුල් කර ගැනීමයි. එහි ඇති ධාරිතාව නිවරදිව සක්සේරු කර ගැනීමයි. එය වනාහී සිංහල භික්‍ෂුව සතුව සියවස් ගණනාවක් තිබු ඓතිහාසික භූමිකාවකට සමුදීමක් බව සත්‍යයය.
එහෙත් භික්‍ෂුව විසින්ම කරගත් අමනෝඥ විනාශය නිසා වෙන කළ හැකි යමක් පෙනෙන මානයක නැත.
මධ්‍යස්ථ මතවාදීන්, සැබැ ශාසන හිතෛශින් දුරදක්නා දේශපාලන නයකයින්, භික්‍ෂුව දේශපාලන සහ රාජ්‍ය මැදිහත්වීම් වලින් ඉවත් විය යුතු යැයි යෝජනා කළේ ඉහත අරමුණිනි. එහෙත් එයට සවන් දීමට තරම් භික්‍ෂුව නිහතමානී නොවිමේ විනාශය අද විදී. කල් ගිය පසුව හෝ එය සිදු විය යුතුය. භික්‍ෂුව ස්වකීය කැමැත්තෙන් එම තිරණ භුමිකාවන් ඉවත් නොවන්නේ නම් මහජන ප්‍රතික්ෂේපකිරීම්වලින් හෝ ඉවත් කළ යුතුය.

මේ මොහොතේ භික්‍ෂුව ගේ රාජ්‍ය දේශපාලන මැදිහත්වීම් ප්‍රතික්ෂේප කිරීම මහජන අයිතියක් නොව, මහජන අයිතියක් මතු නොව ශාසන සේවයකි.

@ තලල්ලේ ගුණරතන හිමි