Language Switcher

V2025

ලංසුව : ගෑස් ප්‍රශ්නය විසඳීම පිටුපස රවී ?

ලංකාවෙ මිනිස්සු හරි පුදුම මිනිස්සු!

ඕන ම රටක අභ්‍යන්තරයට ගියහම ඒ  රටේ විවිධත්වය වගේ ම ඒ රටේ බහුතරයක් මිනිස්සුංගේ පොදු අනන්‍යතාවත් අහුවෙනව. ඒ කියන්නේ  ප්‍රංශකාරයෙක් නම්, මොන ආකාරයේ වෙනස්කම් තිබුණත් ඒ හැම ප්‍රංශකාරයෙකුටම පොදු ප්‍රංශ ගතිගුණයක් තියෙනව. උප භාෂාත් එක්ක භාෂා 5000 විතර තියෙන තියෙන චීනය ට ගියත්, භාෂා හාරසිය ගාණක් තියෙන ඉන්දියාවට ගියත්, ලොකේ රටවල් බහුතරයක මිනිස්සුන්ට මොකක් හරි පොදු ජාතික ගතිගුණයක් තියෙනව. ලංකාවෙ විතරක් මිනිස්සුන්ට එහෙම පොදු ජාතික ගතිගුණයක් නැහැ.

හැමෝම බලන්නේ තිනයම රජවෙන්න. තනියම පොරක් වෙන්න. ඒ හින්ද පොදු එකඟතා මත කෙරෙන වැඩ ඇතුළෙදි වුණත් අවස්ථාව ආපු ගමං අනිකට කෙලල පොදු එකඟතාවෙන් කැඩිල, තමන්ගෙ ඇජෙන්ඩාවට වැඩකරගෙන යන හාල්පාරුවෝ තමයි මේ රටේ ඉන්නේ.
එහෙම නැති උදවිය ඉන්නේ හරි ම විරල සුළුතරයක්.  90 දශකයේ එක දවසකදි ඒ වගේ දෙමල මනුස්සයෙක් මට වැල්ලවත්තෙදි හමුවුණා. ඒ මනුස්සය ගාවට මාව එක්කං ගියේ වමේ දෙමල සංවිධානයක ක්‍රියාකාරිකයෙක් වෙලා හිටපු මගේ මිතුරෙක්. එතකොට අන්තවාදී එල්ටීටිය සහ ආණ්ඩුව අතර යද්ධෙ ඉවර වෙලා නෙවෙයි තිබුණෙ.

මේ වැල්ලවත්තෙ දෙමල මනුස්සයා හරි පුදුම මිනිහෙක්. එයා හමුවෙලා ආපහු පිටවෙලා යනකොට, මගේ හිතට ආපු පළවෙනි අදහස තමයි, “මෙහෙම මිනිස්සුත් ලංකාවෙ ඉන්නවනේ, හරි පුදුමයි,” කියල. මේ මනුස්සය කලින් ලංකාවෙ හිටපු ඔරිජිනල් ව්‍යවසායකයෙක් වුණු උපාලි විජයවර්ධනට යටතේ සේවය කරපු සාමාන්‍ය මධයම පංතකි මනුස්සයෙක්. සිංහල දෙමල මිනිස්සු වර්ග දෙක යුද්දෙන් බෙදිල ඉන්න කාලෙත් මේ මනුස්සයා සිංහල මිනිහෙක් වෙච්ච උපාලි විජයවර්ධනගේ ලොකු පින්තූරයක් ගෙදර බිත්තියෙ ගහගෙන ඉන්නේ.
ඒ වගේ ම අපි කරපු කතා බහේ කිසි තැනක මොන හේතුවකට හෝ අපි උපාලිගේ සුළු වැරැද්දක් කිව්වත්, ඒ මනුස්සය ඒක එහෙම නෙවෙයි කියන තැනට කරුණු ඉදිරිපත් කරනව. එයා ඒ තරමට උපාලිට ආදරෙයි. ඒ කියන්නේ උපාලිත් එයාට ආදරෙන් ඉන්න ඇති කියල මට හිතෙනව.
හැබැයි ඒ මේ රටේ ප්‍රධාන ප්‍රවාහය නෙවෙයි. මේ රටේ ප්‍රධාව ප්‍රවාහය හරි වෙනස්. හරි ම අවස්ථාවාදීයි.

දැන් බලන්න!
 
ආර්ථිකය තුළ හැමදාම අඩමානව ඉන්න මධ්‍යම පංතියේ මිනිස්සු, ආර්ථිකය තුළ හැමදාම අවධානමක හිටපු පහළ-මධ්‍යම පංතියේ මිනිස්සු 1977න් පස්සේ බැලුවෙ කොහොම හරි පිටරට යන්න. ඉතිං නීතියානුකූලව බැරිනං වෙන හොර පාරකින් හරි රට යන්න චාන්ස් එකක් ලැබුණොත්, කවුරුවත් ඒක අතහැරියෙ නැහැ. ඉතිං එහෙම කරල රට ගියා කියමුකෝ. තමන් ඒ ගියේ නීතියට අනුව නෙවෙයි නම්, ඒ රටට ගිහිල්ලත්, හැංගි හැංගි වෙස් බඳින්න තමයි සිද්ධ වෙන්නේ. ඉතිං කාටහරි මේකෙන් ගැලවෙන විදිහක් හදාගන්න ඕන උනහම, එයාල බොරු දාහක් කියල, පොලිටිකල් රෙෆියුජි විදිහට ටික දවසක් කෑම්ප් එකක් ඉඳල, පසුව ස්ථාවර වෙන්න පුළුවන් ක්‍රමය ඔස්සේ යන්න තමයි ට්‍රයි එකක් දෙන්නේ.

ඒ රටවල සමහර ස්වදේශිකයො (සුද්දො) සමහර වෙලාවට අපේ රටේ මෙබඳු මිනිස්සුත් ඒක්ක යාළු වුණොත් එහෙම ඒ රෙෆියුජි වැඩේ උදව් පදව් දෙනව. ඒත් අපේ රටේ ම එකෙක් මේක දැනගත්තොත්, ඌ ගිහින් තමංගෙ රටේ එකා ගැන බලධාරීන්ට කියල, තමංගෙ රටේ එකාව ආපහු ඩිපෝට් කරවන තත්වෙට වැඩකටයුතු සලස්වනව. සමහරවිට ඒ යකාත් ඒ රටේ ස්ථාවර වෙලා තියෙන්නේ මේ විදිහට ම නීති විරෝධීව ඇවිදින්. නමුත් තමන්ගෙ එකෙක් තමන්ට වඩා හෝ සමාන තත්වෙකට එනවට අපේ රටේ මිනිස්සු බහුතරයක් කැමති නෑ.
මෙන්න මේ මිනිස්සුන්ට ම ගෑස් ටික නැතිවෙලා, තෙල් ටික නැතිවෙලා, ආහාර ටික නැතිවෙලා, බෙහෙත් ටික නැතිවෙලා, හරි හමං ආදායමක් නැතිවෙලා එක පොදියට කෙලෙවෙනකොටත්, මැරි මැරි වැටුනත්, එක අරගල භූමියෙ හිටියත් බොක්ක වෙනස්. වෙලාව ආපු ගමං අනිකට කෙලල, නැත්තං අනිකව පාවිච්චි කරල තමන්ගෙ න්‍යාය පත්‍රය ඉදිරියට ගේන්න විදිහක් හොයාගන්න තමයි මාන බලන්නේ.

එකම අරගල භූමියේ හිටපු එවුන් පවා, තෙල් පෝලිමට ආපුහම ලැබිච්ච එකා නොලැබිච්ච එකා එක්ක මරාගන්න හදන්නෙ මේ නිසයි. දැන් මං මේ කියන්න යන්නේ කලින්, තීරණයක් අරගෙන කටයුතු කරන්න බැරි තරමේ, අව්ව වැස්සටත් වඩා එවෙලෙට වෙනස් වෙන තරමේ, ප්‍රතිපත්තියක් හෝ පොදු ගතිගුණයක් නැති තරමේ මිනිස්සු ඉන්න ලංකා ජන සමාජය ඉදිරියට මොනව කරයිද කියන එක හිතන්න ගියොත්, පිස්සු හැදිල තමයි කෙලවර වෙන්නේ. සමහර වෙලාවට අර අවංකව ඉන්න විරල සුළුතර දෙනා මේ මිිනිස් සංහතිය දැකල පුදුම වුනාට, ඒක පුදුම වෙන්න දෙයක් නෙවයි.
ඒත් මේ රටේ ඈයන්ගෙ පොදු-ගතිගුණය නම් පොදු-ගතිගුණයක් නැතිකම.

දැන් බලන්න, මේ රටේ මිනිස්සු බහුතරය පාර්ලිමේන්තුවේ 225ම එපා කිව්වට, අරගලය නිර්පාක්ෂිකයි කිව්වට, අරගලය සාමකාමීයි කිව්වට, ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නයි කිව්වට, ආණ්ඩු-ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නයි කිව්වට, සිස්ටම් චේන්ජ් එකක් ඕනයි කිව්වට, කොටින් ම ඝෝටා ගෙදර පල! කිව්වට මිනිස්සු මේව කිව්වෙ සීරියස් කියල රටේ අවංක සුළුතරයට සහ වෙන රටවල මිනිස්සුංට හිතෙන්න පුළුවන්.

ඇත්තට ම ඒව එච්චර ගණන් ගන්න උවමනා නැහැ. නිකං හිතන්න, අපේ රටේ සිංහල බෞද්ධකම මාර විදිහට රකිනව කියල පාරම් බාන ජාතිවාදී මිනිහෙක් ගැන. ඒයාට මාසෙට ලක්ස දෙකක් විතර පඩි ලැබෙන එන්ජීඕ එකක ජාතික සමගිය ගැන ප්‍රොජෙක්ට් එකක් කරන්න දුන්නොත් දෙවරක් නොහිතාපට ගාල හෝ ගාල ඒක කරගෙන යනව.
පාර්ලිමේන්තුවේ 225ම එපා කියන අය නෙවෙයිද මේ 225 පත්කළේ. ඝෝටා ගෙදර පල කියන අය නෙවෙයිද එයාව ජනාධිපති කළේ. මට පේන්නෙ, බංගලි දේශයෙන් හරි, චීනෙන් හරි, අමෙරිකාවෙන් හරි ආපු වෙනිං රටක ජනතාවක් මේ අයට චන්දෙ දුන්න වෙන්න ඕන. එක්කො මේක මොකක්හරි පරගැති ජනතාවකගේ කුමන්ත්‍රණයක් වෙන්න ඕන.
පේනවද උගුල?

එහෙමත් නැත්තං මේ 225දෙනා සහ ජනාධිපති අපේ රටේ උදවිය වෙන්න බෑ. මෙයාල කවුරුහරි පරදේසක්කාරයො වෙන්න ඕන. මේ රටේ ඉන්න මාර හොඳ මිනිස්සුංට කෙලවන්න, ඉන්දියාවෙන්, චීනෙන්, ඇමරිකාවෙන් හෝ වෙනත් මොකක් හරි හතුරු රටකින් නම මාරුකරගෙන ආපු කල්ලතෝනි වෙන්න ඕන.

බලන්න, ඇත්ත කතාව ඒක නෙවෙයිනේ.
ඒ මේ අරගලයට සහභාගි වෙන ජාතියෙ ම කට්ටිය තමයි, 225හේ ඉන්නෙත්, ජනාධිපතිලා සහ අගමැතිලා වෙන්නෙත්. ජනතාව මාර හොඳ වෙලා අර 225යි ජනාධිපතියි අගමැතියි නරක් වෙන්නෙ කොහොමද?
ඔක්කොම යන්නේ එකම කුණු කාණුවෙ.
හරි ෂොක්!
ඇත්ත කතාව නම් යකාගෙ හැටියට තමයි විමානෙ.
ජනතාවගෙ හැටියට තමයි පාලකයො.
ඔය ජනතාවගෙන් මහා අරගලකරුවාව ගෙනත් ජනාධිපති කළොත්, ඝෝටාටත් වැඩිය පිස්සු නටන්න ඉඩ තියෙනව. 

ඒ හින්ද රටේ හොඳ මිනිස්සු කියන අයිඩෙන්ටිය කොහෙද තියෙන්නේ?
එහෙම බහුතරමය ගතිගුණයක් අපේ රටට නෑ!
තාවකාලිකව, හරි ම ටික කාලයක් හරිම අමාරුවෙන් හොඳ මිනිස්සු විදිහට වේශනිරූපනය වී පෙනී සිටින කයිවාරුකාරයො ටිකක් තමයි මේ රටේ ඉන්නේ. එයාලගෙන් බහුතරය හොඳයි කියල කියාගන්නේ තමන්ට ම යි. හරිනං තමන්ට හොඳයි කියල කියාන්න ඕන වෙන පිට කෙනෙක්නෙ. ඒත් අපේ අය විලි ලැජ්ජ නැතුව මම මාරයි කියල තමයි කියාගන්නේ.  
ඒ හින්දා අපේ රටේ බහුතරය තුළ හොඳ මිනිස්සු නැහැ. බහුතරය තුළ ඉන්න නරක මිනිස්සු අරන් හොඳ මිනිස්සු ටිකක් හදාගන්නයි තියෙන්නේ.

රටේ පාලකයෙක් දේශපාලන මීටිමකදි “බුද්ධිමත් ජනතාව” කියල කියනකොට ම එයා ඇතුළ් හි’තින් දන්නව,“මුන් බුද්ධිමත් නෑ අමූ මී හරක් ටිකක්, මාත් එහෙමයි” කියල. පහුගිය දවස්වල නිර්පාක්ෂික අරගලය නැගල යන දවස්වල, විජේවීර තරංවත් අමතර භාෂා දන්නෙ නැති, විජේවීර අවුරුදු 2ට 3ට කරපු දේවත් අවුරුදු විසිගාණක් ගිහින්වත් කරගන්න බැරිවෙච්ච අනුර කුමාර දිසා අරගලයෙන් ඩෝප් වෙලා රටේ ටෙලි නාලිකා බොහොමයකට ඇවිල්ල කිව්වෙ, “මේක වෙනිං පරම්පරාවක්, මේ පරම්පාවත් එක්ක සෙල්ලං කරන්න ලෑස්ති වුණොත් වැඩ වරදීවි” කියල. ඉතිං ඔය කියන මාර පරම්පරාවට මොකද උණේ? මහින්දගෙන් ගුටිකාල රනිල් අගමැතිකොම භාරගත්තට පස්සෙ කොයි ලෝකෙ ගියාද මන්ද?

දැන් මොකද අර ගෝල්ෆෙස් එකේ මැස්සො වහල වේලෙන්නේ.
අනුර කුමාරට හැමදාම වුණේ චන්දෙකින් පස්සෙ පුදුම වෙන්න! දිනනව කියල මාර ලොකු මීටිං තියල චන්දෙට එනව. චන්දෙදි අම්බානක පැරදිල දේශපාලනික ක්ෂුද්‍ර ජීවියෙක් බවට පත්වෙනව. ආයෙත් හුංගෙක් වගේ ඛැන අඬගහමින් දත්ත ඉදිරිපත් කරමින් මාර අවංක සීන් එකක් කරන්න හදනව. ඊට පස්සෙ ආයෙමත් චන්දෙකින් පස්සෙ අනුර කුමාර පැරදිලා ඇබිති වෙලා පුදුම වෙනව.
“අපිට කොහොමද චන්ද අඩු වුණේ, අපි මාර හොඳට හිටියනේ?” ඉතිං මේක අනුර කුමාරයාගේ විතරක් නෙවෙයි සමස්ත වාමාංශික ව්‍යාපාරයේ ම දර්ශනයේ දිළිඳු බවේ දුෂ්ට චක්‍රය. ඒත් පැරදි පැරදි දශක ගාණක් ගියත් මෙයාලට ගාණක් නැහැ. මදුරුවන්ට මැලතින් වගේ
අනුර කුමාර, ජෝසප් ස්ටාලින්, පුබුදු ජාගොඩ, නිර්මාල් දේවසිරි, කුමාර් ගුණරත්නම් සහ චමීර පෙරේරා වගේ මෙයාල කට ඇරියොත් පට්ට දේශපාලන විශ්ලේෂකයො. ඒත් මෙයාලට තමන්ගේ දේශපාලන උභතෝකෝටික උගුල අහුවෙන්නේ නැහැ.
මෙයාල මේ කියන ඒව අහල මිනිස්සු අම්බාන ඔළුව හොලවනකොට, මෙයාල හිතනව, “මිනිස්සු නං මාර විදිහට තේරුම් අරන් අප්පා, මෙදා පාර නම් ආණ්ඩුවට වමත් එක්ක ලේසි වෙන්නෙ නැහැ,” කියල. ඉතිං ඒයාල සමීක්ෂණයක් කරත් ජනතාවත් කියන්නේ, “මේ වමේ උදවිය කියන දේවල් තමයි ඇත්ත” කියල.

ඉතිං ජවිපෙ ඇතුළු වම්මු සහ එන්ජීඕවලට හේත්තු වෙච්ච විශ්‍රාම ගිය වම්මු ඉන්නෙ හැමදාම ඇන්ඳිල.
ඇයි?
ජනතාව එයාලට ඒ හොඳ ඔක්කොම කියල, අයෙමත් ගිහිං යූඇන්පියට හෝ ශ්‍රිලනියට හෝ ගැති නායකයෙක්ට ජන්දෙ ගහනව. ඇත්තට  මේ වම්මු ඉන්නෙ ඇන්දිල නෙවෙයි,
ජනතාව මේ වම්මුන්ව අන්දල!
පව් අප්පා!  
ලංකාවෙ මිනිස්සු හරි පුදුමු මිනිස්සු අප්පා!

මම නං මේ නාඩගං දැකල දැකල 225ට බනින එක නැවැත්තුව. 225 එකතු කිරීම හැටපන් ලක්ෂය කියන සරල සමීකරණයට බනින එකත් නැවැත්තුව. කොටින්ම මේ මුළුමහත් දූපත් වැසියො ඔක්කොට ම බනින එක මම නැවැත්තුව.
ඔක්කොම එකයි.

ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ, ඔක්කොම වැසියෝ රජවරු වාගේ! ඔක්කොම රජවරු වැසියෝ වාගේ!
ඒ හින්ද මම දේශපාලන සුජාතභාවයන් හෝ කන්‍යාභාවයන් හොයන්නේ නැතිව, ඒ වගේ නිර්පාක්ෂික, ජනාධිපති ක්‍රමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ගෝලීය ආර්ථිකය, සිස්ටම් චේන්ජ් වගේ පට්ට ටේස් කඩල වචනවලින් හැදිච්ච මහා ලොකු සංකල්පත් ගණනන් ගන්නේ නැතිව ඇත්ත කතා කරන්න තීරණය කළා.

එකෙකෙුට එකෙන් නැති, එකෙකු ලඟවත් වෙනස් නොවන පොදුගති ගුණයක් නැති බහුතර ජනතා සන්නියට යි මේ කතා කරන්නේ. ඔය කියපු ලොකු ටේස් කඩල සංකල්ප ටික අඩුම තරමින් 1994 චන්ද්‍රිකා ආපු කාලෙ ඉඳන් ම අවුරු30ක් තිස්සේ කියවන වචන සෙට් එකක් නේ. ඉතිං මෙදා පාර අම්බානක පාරට බැස්සේ ඔය වචන සෙට් එකේ තියෙන සංකල්ප තේරිලා ඒවා ලබාගන්නනම් නම්, ඇයි ඔයිට කලිනුත් පාරට බහින්න තිබ්බනේ. 1989 විජේවීර පනපිටිං මරපු වෙලාවෙ, නැට්ට පුකේ ගහගෙන හිටිය ජනතාවට වැඩිය වෙනස් මාර ජනතාවක්ද මේ?
හරි පුදුමයි අනුර කුමාරයෝ ....
නිකං බොරුව දාන්න එපා!
මේ ගොල්ලො පාරට බැස්සේ හෝ හෙට බහින්නෙත්, ඔය සංකල්ප ගැන හාංකවිසියක් දැනගෙන නෙවෙයි.
මේ ඔක්කොම පාරට බහින්නේ, තෙල්ටික, ගෑස් ටික, බෙහෙත් ටික, කන බොන ටික, ගමන් බිමන් ටික, හවසට ෂොට් එකක් දාන ටික, රූම් එකකට යන ටික, බයිස්කෝප් එකක් බලල පොඩි ආතල් එකක් ගන්න ටික නැති වුණ නිසයි.

ඇත්ත පිළිගන්නකො ජනතාවනි!
එතකොටවත් මම ඔයාල පොඩ්ඩක් හරි බුද්ධිමත් කියල පිළිගන්නං.
ලංකාවෙ වැඩ බැරි උනාට මේ දූපත් වැසියෝ හරිම මාන්නක්කාරයි! පැරදුනත් නෑ වගේ උජාරුවට ආඩම්බරෙන් ඉන්න තමයි කොහොමත් ට්‍රයි එක.

මේ වැසියො විතරක් නෙවෙයි, රටේ දූපත්මය සංවිධාන අතරින් එකක් වන දුප්පත් ජවිපෙත් ඒ වගේ.
අවුරුදු 30ක් තිස්සේ පැරදිලත්, තවමත් ජනතාව ජවිපෙව චන්දෙන් දිනවයි කියල තමයි හිතං ඉන්නේ.
දැනවත් ඇත්ත දේශපාලනය කතා කරමු!

ඉදිරි සති කිහිපය ඇතුළෙ ලංකාව ගෑස් අර්බුදය විසඳෙන්න නියමිතයි.
විසඳුන ගමං ඔක්කොම හිතාවි “රනිල් වික්‍රමසිංහ මාර පොරක්නේ, පොර කටින් කිව්ව වගේ ම වැඩෙත් කළානේ?” කියල.
ඔව් ප්‍රශ්නය විසඳනව නම් ඉතිං ආන්ඩුව අතින් ම තමයි ප්‍රශ්නෙ විසඳෙන්න ඕනෙ.
ඒත් පොඩි කොස්සක් තියෙනව.

ගෑස් ප්‍රශ්නෙ විසඳන්න මූලිකත්වය අරන් කටයුතු කරපු මුදලි කියන හාදයා රවි කරුණානායකගේ ගෝලයෙක්ලු.
මම හොයල බැලුවහම කතාව ඇත්ත.
මාර සීන් එකක් තමයි මේක. රවී කරුනානායක මොන එහෙකටද රනිල්ට උදව් කරන්නේ?
මහජනතාව කතාබහ කරපු ඇලෝසියස් සහ රනිල් සම්බන්ධ බැඳුම්කර මගඩිය රවීගේ බෙල්ල උඩින් තියල කපල, රවීගෙ පක්ෂෙ නියෝජ්‍ය නායකකමටත් ඇරල, එයාගෙ දේශපාලන වෘත්තීය ජීවිතේම මකුළු දැල් බඳින තත්වයට පත් කළේ රනිල්, සාගල ඇතුළු ගජමිතුරු කල්ලිය.
එක්කො රනිල්ට තනියම කරගන්න බැරි හින්ද, රවීට ආයෙමත් පක්සේට එන්න කියල අඬගැහුවද මන්ද?
එයහෙමත් නැත්තං ඇත්තට ම රවී  තම දේශපාලන වෘත්තීක ජීවිතය ගොඩගන්න වෙන මගක් නැහැ කියල හිතල ආපහු රනිල්ගෙම කරේ ම එල්ලිල ගොඩඑන්න ට්‍රයි එකක් දුන්නද මන්ද?.
මං කිව්වෙ, ලංකාවෙ මිනිස්සු හරි පුදුම මිනිස්සු කියල.

හැබැයි ලංකාවෙ මිනිස්සු අතරින් බොහොම සුළුතරයක් හොඳ මිනිස්සු කීප දෙනෙක් ඉන්න නිසා, බැරි වෙලාවක්වත් රවීත් ඒ ගොන්නට වැටුනද දන්නේ නැහැ.
ඒ කියන්නේ රවී කරුණානායක දේශපාලන වාසි ගන්න එක පැත්තකින් තියල, මේ වෙලාවෙ මේ මිනිස්සු වැටිල ඉන්න තත්වෙ ගැන හිතල, හිත උණු වෙලා මෙහෙම කළාවත්ද මන්ද?
මොකද රවී ඒ කරපු දේ රහසින් කලා මිසක, තවම ඒ ගැන කිසිම මාධ්‍ය සන්දර්ශනයක් දාන්න ගිහිං නැහැ තවම.
රවී කරුනානායක කියන හිටපු මුදල් ඇමතිවරයා එහෙම හොඳ වැඩක් කරල නම්, ඔයාට කොහේ හරි ඉඳං මේ ලියන ලියමන කියවන්න ලැබුණොත්, ඔයාට කියන්න තියෙන්නේ එක දෙයයි ...
“ලංකාවෙ හොඳ මිනිස්සු නැහැ! තියෙන්නේ හොඳ මිනිස්සුන්ව හදා ගන්නයි විතරයි.
ඔයා මේ දේ කළේ හිතහොඳින් නම්, ඔයාවත් අපිට හොඳ මිනිහෙක් විදිහට හදාගන්න පුළුවන්.”


පස්සෙ සෙට් වෙමු!
- රොබින් හුඩ්ගේ කෙනෙක්