Language Switcher

V2025

ආණ්ඩුවේ අතුරේ ගමන ජොමිනිගේ විග්‍රහය

මල් පැන් පොදක් රහ බලන්නට අතුරේ යන්නට අපි දනිමු. එහෙත්, අතුරේ ගමන අවදානම් සහිතය. හරියට ගියොත් මල් පැන්ය; වැටුණොත් සුනේ සුන්ය. වෙන දේ දකින විට පෙනෙන්නේ ආණ්ඩුවත් යන්නේ අතුරේ ගමනක්ම බවයි.

 ඊයේ සඳුදා (9) රාත්‍රී රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කළේ අද ඇමති මණ්ඩල රැස්වීම ශ්‍රීලනිප ඇමතිවරු සාමූහිකව වර්ජනය කරන්නටයි. ජනාධිපති අද ඇමති මණ්ඩලයේ දී දෙකෙන් එකක් බේරා ගන්නට යන බව පෙනේ. එක්කෝ ජාතික ආණ්ඩුවේ ඉන්නවාද? නැත්නම් විපක්ෂයේ වාඩි වෙනවාද? තීරණය රඳා පවතින්නේ යූඇන්පීය දක්වන ප්‍රතිචාරය මතය.

 

අළුත් අවුල:

 අළුත් අවුල පටන් ගත්තේ අගමැතිට එරෙහිව ගෙනා විශ්වාස භංග ඡන්දය පරාජය වීමත් සමගය. යෝජනාවට පක්ෂව ශ්‍රීලනිපයේ දහසයක් අගමැති එපා කියා භංගයට පක්ෂ විය. එයින් හය දෙනෙක් කැබිනට් ඇමැතිවරුය. යූඇන්පීය කියන්නේ අගමැති එපා කියූ කැබිනට් ඇමතිවරු හය දෙනා ඉවත් විය යුතු බවය.

  එහෙත්, ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ ගත් තීන්දුවෙන් පෙනෙන්නේ රනිල් එපා කියූ හය දෙනා පමණක් නොව, ශ්‍රීලනිප ඇමතිවරු සියළු දෙනාම කණ්ඩායමක් ලෙස ශ්‍රීලනිපය වෙනුවෙන් එක්කාසු වී ඇති බවය.

 යූඇන්පීයට ඕනෑ වුණේ රනිල් ඕනෑ කියූ ඇමතිවරු සමග මෛත්‍රී පෙරටුව ජාතික ආණ්ඩුව දිගටම ගෙන යාමයි. එහෙම බැරිනම්, තනි ගමනක් යන්නට රනිල් වටේ ඉන්න යූඇන්පී කණ්ඩායම හිත හදාගෙන ඉන්නා බව පෙනේ.

  “කකුළෙන් අදින සෙට් එකක් එක්ක මොන ගමන් ද? මාස තුනකින් ආපහු ගේමක් දෙන්න සෙට් එක බලන් ඉන්නේ” ඔවුන් තර්ක කරයි. 

 එසේ නම් අද කැබිනට්ටුවේ දී මේ මතය දෝංකාර දෙන්නට ඉඩකඩ බොහෝමය. තනි ගමනක් යන්නට යූඇන්පී ය මුරණ්ඩු නම්, මෛත්‍රී හෙට (11) යළි ශ්‍රීලනිප මාධ්‍යම කාරක සභාව කැඳවා තීරණයක් ගනු ඇත. 

 බොහෝ විට තීරණය විය හැක්කේ ජාතික ආණ්ඩුව අහෝසි වී තනි යූඇන්පී ආණ්ඩුවක් හැදීමයි.

 තනි ගමනක්:

 තනි ගමනක් යන්නට යූඇන්පීය සිදුවුවහොත් ඊළඟ මහ ඡන්දය ඉල්ලක කර ගෙන ඔවුන් වැඩකරන්නට සුදානම්ය. ඒ නිසා බඩු මිළ අඩු කෙරෙනු ඇත, ගමට පාරවල්, රස්සාවල්, යූඇන්පීකාරයාට නත්තල් උදාවනු ඇත. යූඅන්පීය හිතා ඉන්නේ තව අවුරුදු එක හමාරක් තියෙන බවය. ඒ නිසා ගොඩ එන්නට පුළුවන් යැයි ඔවුන් කල්පනා කරයි.

 එහෙත්, තත්ත්වය එතරම් සුන්දර නැත. දැනටමත් පක්ෂ ප්‍රතිසංස්කරණ හරහා රනිල්ගේ කණ්ඩායමෙන් පක්ෂයේ බලය උදුරා ගන්නට සිතා ගෙන විශ්වාස භංගයේ දී රනිල් රැකගත් යූඇන්පී පසුපෙළ කීපදෙනෙක් අවුල් කතා කියන්නට පටන් ගෙන තිබේ. 

 පක්ෂයේ එහෙම කියන විදියේ ප්‍රතිසංවිධානයක් වෙන්නේ නැති බව ඔවුන්ට පෙනේ.  “රනිල් ට එරෙහිව තවත් විශ්වාස භංගයක්” ගැන ඇතැමුන් කතා කර තිබේ. 

 එක්සත් ජාතික පෙරමුණේ චම්පික, මනෝ ඇතුළු අයද ඉන්නේ එතරම් සන්තෝෂයෙන් නොවන බව, ඔවුන් විටින් විට කියන ආඩා පාලි වලින් පෙනේ. ඒ අනුව යූඇන්පී ය යන්නේ අතුරේ ගමනක බවට ලකුණු තිබේ.  

 ඊළඟට කුමක් ද? යූඇන්පීයට ගොඩ යන්න අවුරුදු එක හමාරක් තව ඉතිරිව තිබේද?

 

ආණ්ඩුවට තව මාස හතයි:

 මේ ලියුම්කරු කල්පනා කරන ආකාරයට යූඇන්පීයට ඇත්තේ අවුරුදු එක හමාරක් නොව මාස හතකි. ඒ මීළඟ අයවැය එනතෙක් ය. රනිල් විරෝධී කණ්ඩායම බලා ඉන්නේ අයවැය එනතෙක් බවට සුවඳ දැනේ.

 

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) අනු ව්‍යවස්ථාව මෙසේ කියයි.

 “පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප්‍රතික්ෂේප කළහොත් එවිටද, ආණ්ඩුව කෙරෙහි විශ්වාස යෝජනාවක් සම්මත කළහොත් එවිටද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. එසේ වූ විට 70 ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත් මිස, ජනාධිපතිවරයා විසින් 42 වන,  43 වන,  44 වන සහ  45 වන ව්‍යවස්ථා අනුව අග්‍රාමාත්‍යවරක්ද, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් ද, නියෝජ්‍ය අමාත්‍යවරයන් ද පත් කළ යුත්තේය.”

 ඒ කියන්නේ 70 ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවන්නට බැරි නම්, අයවැය පරාද වුවහොත් අළුත් අගමැති කෙනෙක්, ඇමති මණ්ඩලයක් සහ නියෝජ්‍ය ඇමතිවරු ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු බවය.

 

70 වෙනි ව්‍යවස්ථාවේ කියන්නේ කුමක්ද?

 “(1) ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය:

 එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා දින නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.”

 ඒ කියන්නේ තුනෙන් දෙකක් නැත්නම්, 2020 පෙබරවාරි වන තෙක් ජනාධිපතිවරයාට හිතුමතයේ පාර්ලිමේන්තුව විසුරුවන්නට බැරි බවය.

 

රනිල් විරෝධීන්ගේ විකල්ප:

 ව්‍යවස්ථාවේ කරුණු එසේ නම් විය හැක්කේ කුමක්ද? රනිල් විරෝධී කණ්ඩායම එක්කෝ තුනෙන් දෙකක් සොයා ගෙන 2020 පෙබරවාරියට කලින් පාර්ලිමේන්තුව විසුරුවන්නට ජනාධිපතිවරයාට බලතල සොයා දිය යුතුය. එවිට මහින්දගේ අරමුණ සමග එක්ව මහා මැතිවරණයකට යා හැකිය.  නැතිනම්, රනිල් විරෝධීන්ට විකල්ප ප්‍රධාන විකල්ප දෙකක් ඇත.

 රනිල් විරෝධීන්ගේ පළමු විකල්පය, අයවැය පරාජය කර, පොහොට්ටුවේ ද සහාය ඇතුව ආණ්ඩු බලය අතට ගැනීමයි. එහෙත් එය, මහින්දගේ එකඟතාව නැතුව සිදු නොවනු ඇත. පළාත් පාලන ඡන්දයෙන් පසුව පී. බී. ජයසුන්දරගෙන් මහින්දට ලැබුණු උපදේශය නම් අඩුම ගානේ ආණ්ඩුව ට්‍රැක් එකට ගන්නට අවුරුදු දෙකක්වත් අවශ්‍ය බවය. ආර්ථිකට එතරමටම නට්ටන්ය. ඒ අනුව එම විකල්පයට යාමට රනිල් විරෝධීන් එකඟ වේයැයි සිතීම දුෂ්කරය.

 

මීළඟ ඉලක්කය අයවැය:

 දෙවැනි විකල්පය, අයවැය පරාජය කිරීමයි. එයට අවශ්‍ය පාර්ලිමේන්තුවේ ඡන්ද 113 කි. රනිල්ගේ කණ්ඩායම අවසාන මොහොතේ විශ්වාස භංග ගේම් එක තමන් අතට ගන්නා තුරු විශ්වාස භංගය දිනන්නට පොහොට්ටුවෙත්, එක්සත් ජාතික පෙරමුණේත්, ශ්‍රීලනිප (පොඑපෙ) නේත් මන්ත්‍රීවරුන්ට අඩුවී තිබුණේ යූඇන්පී මන්ත්‍රීවරු පස් දෙනෙකු පමණක් විශ්වාසදායක ආරංචි මාර්ග වලින් කියැවේ. 

 එය ඇත්ත නම්, අයවැය පරාද කරන්නට එතරම් දුෂ්කර අරමුණක් නොවනු ඇත. විශේෂයෙන් යූඇන්පීයේ ප්‍රතිසංස්කරණ බහුතර මන්ත්‍රීවරුන්ට තෘප්තිමත් නොවන ආකාරයට සිදුවන්නේ නම්, රනිල් විරෝධීන්ට එය ලඟා කරගත හැකි අරමුණක් වනු ඇත. 

 එසේ යම් හෙයකින් අයවැය පරාජය කළහොත්, නිශ්චිත ලෙසම අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය 48 (2) අනු ව්‍යවස්ථාව අනුව නැවත පත් කළ යුතුය. එක්කෝ ශ්‍රීලනිපය ඒ කැබිනට්ටුවට ගොඩ විය යුතුය. නැතිනම් යූඅන්පීයට අළුත් ඇමති මණ්ඩලයත් පත් කරගන්නට ඉඩ දී, දිගින් දිගටම අයවැය පරාජය කරවමින් හෝ ආණ්ඩුව අස්ථාවර කළ හැකිය. 

 සමහරවිටක මේ ආකාරයෙන් යූඅන්පීයට දිගටම යන්නට නොහැකි තැන තුනෙන් දෙක ලබා දී නියමිත කලට කලින් පාර්ලිමේන්තුව විසුරුවා ගන්නට රනිල් විරෝධීන්ට හැකිවනු ඇත. එහෙත් මෛත්‍රීට නම් ජනාධිපති ලෙසම සිටිය හැකිය.

 

 චම්පිකලා, මනෝලා ගේ ගේම:

 ඒ අනුව පෙනෙන්නේ ආණ්ඩුව අස්ථාවර කිරීම රනිල් විරෝධීන්ගේ අරමුණ බවය. මේ සැලැස්මට තවත් කෑලි එකතුවන්නට ඉඩ ඇත. එනම්, දේශපාලනය තුළ දැන් පවතින ආකාරයෙන්ම ආණ්ඩුව පළාත් සභා ඡන්දයට ආණ්ඩුව ගියහොත් එයින් ඔවුනට විශාල පරාජයක් අත්වන්නට ඇති ඉඩකඩ වැඩිය. 

 එවිට එක්සත් ජාතික පෙරෙමුණේ අසතුටින් සිටින චම්පික, මනෝ ඇතුළු ලොක්කන්ට ආණ්ඩුව බැන එළියට එන්නට පුළුවන. දැනටමත් චම්පික ආණ්ඩුවට හැදෙන්න කියා සැලැස්මක් ඉදිරිපත් කර ඇත.

 මහින්දගේ ආණ්ඩුවෙන් එළියට එන්නට කලින් ද චම්පික මහින්දට ඒ ආකාරයේම සැලැස්මක් දුන්නේය. එය ඉටු කළේ නැතැයි කියා චම්පික මහින්දට ‘බායි’ කියා එළියට ආවේය. 

 මෙවරත් චම්පිකට එසේ කරන්නට පුළුවන. නොකරයි කියා මේ ලියුම්කරුට හිතෙන්නේ නැත. එසේ එළියට ඇවිත් පාර්ලිමේන්තුව විසුරුවන තෙක් ආණ්ඩුවට බැට දෙන ගමනට චම්පිකලා, මනෝලා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයන් ද එකතු වනු ඇත.

 ඔවුන් එසේ කරන්නේ ඇයිද කියා යමෙකු අසනු ඇත. එසේ කරන්නේ ඒ හැම කෙනාටම ඊළඟට මහින්දලා සමග හදන ආණ්ඩුවේ කොටස්කරුවන් වෙන්නටයි. ඔවුන් ඒ සඳහා මහින්ද ළඟ දණින් නොවැටෙනු ඇත. 

 ඒ වෙනුවට පහුගිය ඡන්දයෙන් මෛත්‍රීට ලැබුණු කැපුවත් නිල්පාට ඡන්ද ලක්ෂ පහළොවත්, චම්පිකලාට එකතු කරගත හැකි සිංහල-බෞද්ධ ඡන්ද සහ මනෝ ඇතුළු සුළු ඡාතික නායකයන්ට එකතු කර ගත හැකි ඡන්දත්, එකී නායකයන්ගේ දේශපාලන පෞරුෂය හරහා ඡන්දදායකයා කෙරේ කළ හැකි බලපෑමත් යොදා ගෙන ඔවුන් මහින්ද සමග කේවල් කරනු ඇත. 

 තවත් දුර යන්නේ නම් ‘පොදු වේදිකාවක්’ නැවත මහින්දට ද සාදා දෙනු ඇත.

 මහින්දගේ පැත්තෙන් ගත් කළ, මෙය ආකර්ෂණීය යෝජනාවකි. උතුරු - නැගෙනහිරින් ලොකු ඡන්ද පදනමක් ගන්නට බැරි තැන අඩු අවදානමක් සහිතව මහා මැතිවරණයකට යාමට හොද පසුබිමකි.

 

දිගට හවුලත් අවුලක්:

 යූඇන්පීයට තව විකල්පයක් ඇත. ඒ විශ්වාස භංගයේ රනිල්ට විරුද්ධ වූ ශ්‍රීලනිප කණ්ඩායම සමග දිගටම යාමට එකඟ වීමයි. එහෙත් එයද අවදානම් සහිතය. 

 එවිට ආණ්ඩුවේ රැදී සිටිමින්ම ආණ්ඩුව වේලාසනින් මහා ඡන්දයකට තල්ලු කරන තැනට ආණ්ඩුව කඩාකප්පල් කිරීමට ඔවුනට පුළුවන. යූඇන්පී ය සිතන්නේ දිගටම දීග කෑවොත්, “මාස තුනක් ගිය තැන ශ්‍රීලනිප සෙට් එක මේ ගේම පටන් ගන්නා” බවය.

 

 රනිල් මල් පැණි පොදක් රහ බලයිද?

 එසේ නම්, රනිල්ගේ යූඇන්පී කණ්ඩායමට ඇත්තේ අතුරේ ගමනක් බව පැහැදිලිය. ඒ ගමනේ දී යූඇන්පී ය රනිල් විරෝධී යූඇන්පීකාරයන් සතුටු වන ප්‍රතිසංස්කරණ පක්ෂය තුළත්, රනිල් කල්ලියට විරුද්ධ එක්සත් ජාතික පෙරමුණු නායකයන් සතුටු කරන ප්‍රතිසංසකරණ ආණ්ඩුව තුළත් සිදුකළ යුතුය. 

 එසේම, මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රීලනිප කණ්ඩායමද සතුටු කළ යුතුය. මේ අනුව පෙනෙන්නේ රනිල්ගේ යූඇන්පීය මුහුණ දෙන්නේ ඉතාම අමාරු දේශපාලන අභියෝගයකට බවයි.

 මේ අභියෝගය ජයගෙන රනිල්ලා මල් පැණි පොදක් රහ බලයි ද? නැතිනම්, වැටී සුණු විසුනු වෙයිද? යන්න දෙස අපි බලා සිටිමු.

 (ජොමිනිගේ විග්‍රහය)