Language Switcher

V2025

නිල කාලය මාස 9 යි : සැලසිනේ සභාපති ශාන්ත බණ්ඩාරගේ ගැහිලි මෙන්න

"වැඩ කාරයන්ට බොරු බෑ - බොරු කාරයන්ට වැඩ බෑ" යන කියමන ජනවහරට ආවේ නිකමට නොවේය.  එහි තේරුමද අමුතුවෙන් කිවයුතු යැයි අප සිතන්නේ නැත. එහෙත්  සැලසිනේ ආයතනය ගැන තබන මේ සටහනට  එම වැකිය පුර්විකාවක් කරගත්තේ හේතු ඇතිවය.

සැලසිනේ රූපවාහිනි ආයතනය රාජපක්ෂ සමය පුරා ගියේම හොම්බෙන්ය. එවැනි ආයතනයක් රටේ තියනවාද කියා සාමාන්‍ය ජනතාව පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පවා දැනසිටියේදැයි හිතන තරමට තත්ත්වය ඔඩුදුවා තිබිණ. 2015  ආණ්ඩු පෙරළියෙන් පසුව සැලසිනේ ආයතනය ගැන රටේ මිනිසුන් දැන ගත්තා නම් ඒ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පිං සිද්ධවෙන්නය.

ඒ 2010 සිට 2015 දක්වා වූ කාලයේදී මෙම රූපවාහිනි ආයතනයේ සභාපතිත්වය දැරූ ප්‍රදීප් උදය කුමාර එදිරිසිංහ රුපියල් 23,976,000 මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විමර්ශන දියත් කල නිසාය. ප්‍රදීප් උදය කුමාර එදිරිසිංහ වැඩ බැරි බොරුකාරයකු බව තහවුරු වුයේ අදාළ විමර්ශනයට මුහුණදීමට නොහැකිව විදෙස් රටකට පළාගිය නිසා පමණක් නොව ඒ වසර 5ක කාලය තුළ ආයතනය අන්තිම පහත් අඩියකට වැටෙන විට අඟලකින් හෝ එය ඉහළට ඔසවන්න ඔහු අසමත්වූ නිසාය.

යහපාලන ආණ්ඩුව පැමිණියද එහි දැනෙන වෙනසක් සිදුකිරීමට ඊට පැමිණි පරිපාලනය සමත්වූයේ නැත. 2015 වසරේ පළමු කාර්තුවේ සිට 2017 දෙවන කාර්තුව දක්වා ආයතනයේ මුල්‍ය ප්‍රගතිවාර්තා ඊට සාක්ෂි සපයයි. එම කාලය තුළ ආයතනය යන්තමින් හෝ ලාභයක් අත්කරගෙන ඇත්තේ 2016 හතරවන කාර්තුවේ (රුපියල් මිලියන 2.20) සහ 2017 පළමු කාර්තුවේ(රුපියල් මිලියන 0.41)   පමණය. එම සොච්චම් ලාභයද 2017 වසරේ දෙවන කාර්තුවේ රුපියල් මිලියන 13.59 ක මහා අලාභයකින් අවසන්ව ඇත.

මේ ඊට සාක්ෂිය : 2015 - 2018 තුළ ආයතනයේ අලෙවි සහ ලාභ / අලාභ වාර්තාව 
001

003
ඒ අනුව ඉතා පැහැදිලිව 2017 වසරේ තෙවන කාර්තුවේ සිට 2018 පළමු කාර්තුව දක්වා මාස කිහිපය තුළ ආයතනයේ අලෙවි කටයුතු සහ ලාභ ඉපයීමේ සුවිශේෂී වෙනසක් සිදුව ඇති බව පෙනීයයි.

ඉතා පැහැදිළිව මේ වෙනස සිදුවුයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර පත්වීම ලැබීමෙන් පසුවය. සැලසිනේ ආයතනය හොම්බෙන් යන ස්වභාවය සලකා බැලු අමාත්‍යවරයා එය ගොඩගැනීමේ සුදුස්සා ලෙස වගකීම පවරන්නේ ප්‍රවීණ රුපවාහිනි වැඩසටහන් නිෂ්පාදකයකු, මාධ්‍යවේදියකු  සහ වෙළඳ දැන්වීම් නිර්මාණ ක්ෂේත්‍රයේ නමක් තැබූ ශාන්ත බණ්ඩාර ජයවර්ධන වෙතය. ඒ අනුව ඔහු 2017 වසරේ ජුනි 23 වනදා ආයතනයේ සභාපති ලෙස රාජකාරි ආරම්භ කරයි.

ශාන්ත මැච් එක ගහයිද නායිද : ඒ ප්‍රශ්නය අපිටත් තිබුණා 

සැබවින්ම ශාන්ත බණ්ඩාරගේ කලා සහ නිර්මාණශීලී හැකියාව ගැන පැහැදිළි විශ්වාසයක් අපට තිබුණත් ආයතන ප්‍රධානියෙකු ලෙස ඔහු කොතරම් නිපුනත්වයක් දක්වයිද යන හීනි  කුහුළක්  ඒ අවස්ථාවේ අපටද තිබිණ. ඇත්තටම එය හීනි කුහුලක්ම වුයේ සැලසිනේ ආයතනය ගැන අවබෝධයක් අපටද තිබූ නිසාය.

එහි දැක්ම වනුයේ,  රාජ්‍ය යාන්ත‍්‍රණයේ සංවර්ධන හා මෙහෙයුම් සහ සියලු ව්‍යාපාර ක්ෂේත්‍රයන් හී  ප‍්‍රවර්ධනයන් නිර්මාණාත්මකව සන්නිවේදනය කිරීම තුළින් ප‍්‍රචාරණ ක්ෂේත්‍රයේ  ප‍්‍රමුඛයා වීමය.

එහි මෙහෙවර වුයේ නිපුණත්වයෙන් හෙබි වඩාත් නිර්මාණශීලී හා දිරිමත් පුද්ගල සහය භාවිතා කරමින් උපක‍්‍රමශීලිත්ව මෙන්ම උසස් තලයේ තාක්‍ෂණය ද නිර්මාණාත්මකව උපයෝගී කරගනිමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා සන්නිවේදන සහ වෙනත් නිර්මාණශීලී ප‍්‍රචාරාත්මක අනගි සේවාවක් සැපයීම තුළින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සහ දේශපාලන සංවර්ධනය සඳහා සකී‍්‍රයව දායක වීමය. සැබවින්ම ශ්‍රී ලංකාවේ  ප්‍රථම  ටෙලිවිෂන් නිෂ්පාදන  ආයතනය වන්නේ සැලසිනෙ  රුපවාහිනී  ආයතනයයි .  

ඒ ගැන අප දැනුවත්ව සිටියත් ආයතනය වැටී තිබු අතිශය ඛේදනීය කඩාවැටීම සහ එය කාලයක් තිස්සේ සිදුවූවක් නිසාත් විශේෂයෙන් ආයතනය  මුල්‍යමය වශයෙන් බංකොලොත් තත්ත්වයක පැවතීම හමුවේ ශාන්ත බණ්ඩාර ඒ ඉම කෙසේ ජයගනීද යන සැකය අපේ වූ හීහි කුහුලේ පදනම විය. 

පූර්ණ විගණනයකින් වැඩ ඇල්ලීම 

වැඩ කාරයින්ට බොරු බෑ කියන  වහර ඔප්පු කරමින් ශාන්ත බණ්ඩාර සභාපතිවරයා ආයතනයේ වැඩ කටයුතු අරඹන්නේ අන්ත දුෂිත රාජපක්ෂ කල්ලියේ අවතාර ඒ වන විටත් හොල්මං කිරීම අවසන්ව නොතිබූ ආයතනය පුර්ණ විගණනයකට ලක්කරමින්ය.

ඒ අනුව හඳුනාගත් අඩුපාඩු සහ ආයතනය ප්‍රතිසංවිධානය වෙනුවෙන් සිදුකළ යුතු කාර්ය ගැන ක්ෂණික නමුත් නිවැරදි තීන්දු ගැනීමට නව පරිපාලනය කටයුතු කරයි.
ගාන නෙවෙයි වැදගත් : කීයක් හිටියත් වැඩ කිරීමයි වැදගත් 

ඊට ශාන්ත බණ්ඩාර සභාපතිට සහය දෙන්නේ ආයතනයේ නව සාමාන්‍යාධිකාරී ලෙස පත්ව එන ක්ෂේත්‍රයේ වසර 23ක පමණ අත්දැකීම් ඇති මංජුල හේරත් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ වැඩට සමත් සහ අභියෝග ජයගැනීමට සුදානම් සේවක සුළු පිරිසක් ය.

ඒ අනුව වසර 25 කට අධික අත්දැකීම් ආයතනයේ අභිවෘද්ධිය පිණිසම යෙදවෙන අතර ඒ හරහා එතෙක් පෞද්ගලික අංශයේ සමාගම් නතුකරගෙන තිබූ සේවා රැසක් නැවත අත්කරගන්නට ආයතනය සමත්ව ඇත. රුපවාහිනී, ගුවන් විදුලි හා පුවත්පත් සදහා දැන්වීම් පල කිරීමේදී අනෙක් සියළු ප්‍රචාරණ ආයතන අභිබවා යමින් වට්ටම් ප්‍රමාණයක් ලබා දීමට සැලසිනෙ  ආයතනය කටයුතු කිරීම, නවීන තාක්‍ෂණය සහ නව ප්‍රචාරක විදික්‍රමයන් සමගින් සමාජ මාධ්‍ය තුළද ප්‍රචාරණ ව්‍යපෘති සංවිධානය කිරීම, ඉසව් කළමනාකරණය නව අංශයක් ලෙස ස්තාපිත කිරීම,  රාජ්‍ය ආයතනයන් හි උත්සව , ප්‍රදර්ශන කුටි, පුර්ව ප්‍රචාරක සේවාවන්,  ඩිජිටල් වෝල් සේවාවන්, සිනමා ශාලා තුළ ප්‍රචාරණ දැන්වීම්,  වේදිකා පසු තල, සංගීත ප්‍රසංග, බාහිර ප්‍රචාරක සේවාවන් යනාදී සියල්ල ක්‍රමයෙන් වෙළඳපොළ තරගය තුළ ජයගන්නට ආයතනය සමත්ව ඇත. 

මාස 9 ක් තුළ ගහපු ගැහිල්ල 

ඒ අනුව මාස 10ක කාලයක් වූ ශාන්ත බණ්ඩාර සභාපතිගේ  නිල කාලය තුළ ඇත්තටම දැනෙන වැඩ රැසක් ආයතනය හරහා සිදුව ඇත. මේ ඊට සාක්ෂිය.

01. සියලූම මාධ්‍ය ආයතන සමඟ  සාකච්ඡා කර මෙතෙක් පැවති 15% ක් ව තිබූ ලාභ ප‍්‍රතිශතයට අමතරව 60% ක පමණ අමතර වට්ටමක් ලබාගැනීම.

02. ලේක් හවුස් ආයතනයට ගෙවීමට තිබූ හිඟමුදල් වන රුපියල් මිලියන 89 ක මුදලක් මාර්තු 31 වෙනි දින වන විට සම්පූර්ණයෙන් ම ගෙවා අවසන් කිරීම.

03. දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවට 2010 වර්ෂයේ සිට ගෙවීමට තිබූ රුපියල් මිලියන 24 ක වැට් බදු මුදල් වසර 02 ක කාලයක් තුළ ගෙවීමට එකඟවීම සහ  එයින් රුපියල් මිලියන 06 ක් මේ වනවිටත් ගෙවා අවසන් කිරීම.

04. මෙතෙක් පැවති ලංකා බැංකු ගිණුමට අමතරව මහජන බැංකුවේද ගිණුමක් ආරම්භ කිරීම.

05. විවිධ ආයතන සමඟ ගනුදෙනු කිරීමේ දී අවශ්‍ය බැංකු ඇපකර සඳහා රුපියල් මිලියන 05 ක ස්ථාවර තැන්පතු මුදලක් තැන්පත් කිරීම.

06. ප‍්‍රචාරණ ආයතනයකට අත්‍යාවශ්‍ය එහෙත්  ආයතනයට නොතිබූ selacine.lk වෙබ් අඩවිය ආරම්භ කිරීම.

07. සේවකයින් වෙත ප‍්‍රසාද දීමනා ලබාදීම. ඒ යටතේ මෑත ඉතිහාසයේ පළමු වරට සිංහල - හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට රුපියල් 20000.00 ක බෝනස් මුදලක් ලබාදීම.

08. අනවශ්‍ය මුදල් නාස්තියක් වූ  රාජගිරියේ සහ ලේක්හවුස් හි කුලියට ගෙන තිබූ ගොඩනැගිලිවල පිහිටුවා තිබූ සැලසිනේ ශාඛාවන් වසාදමා සියලූ සේවකයින් ආයතනය තුළට ගෙන ඒම.

09. ආයතනයෙහි රාජකාරී නොකර වැටුප් ලබාගත් සේවකයින් සියලූ දීමනා අත්හිටුවීම. එතුළින් මාසික වියදම රු.257,000.00 කින් පමණ අඩුකර ගැනීමට හැකි වීම.

10. සභාපතිතුමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයෙහි වූ සේවක අතිරික්තය ඉවත්කොට  කාර්යාල කාර්ය සහයක පමණක් ඉතිරිකර ගැනීම.

11. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රධාන විගණන නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර 2017 වසර සඳහා සම්පූර්ණ විගණනයක් සිදුකොට එම  විගණන වාර්තාවේ සඳහන් උපදෙස් මත, 1. නුසුදුසු සේවකයින් ඉවත් කිරීම. 2. උසස් වැටුප් තලවල පිහිටුවා සිටි සේවකයින් නිවැරදි වැටුප් තලවල පිහිටුවාලීම.

12. කාර්යක් නොමැතිව සිටි සේවකයින් කාර්යයන් හි පිහිටුවීම. (උදා : පරිපාලන නිලධාරී, කලා අධ්‍යක්‍ෂක)

13. කිසිදු නීතිමය තත්ත්වයක් තැකීමකින් තොරව ඉවත් කළ සේවකයින් විසින් කම්කරු උසාවියේ ගොනුකර තිබූ නඩු සමථයකට පත් කර අවසන් කිරීම.

14. දැනට විධිමත් විනය පරීක්‍ෂණයක් පවතින, සේවයෙන් පහකර ඇති සේවකයෙකුට  මසකට රු.40,000.00 කට අධික අඩ වැටුප් ගෙවීම් සිදුකිරීම නතර කිරීම.

15. 2010 වර්ෂයේ සිට කොන්ත‍්‍රාත් සේවය දීර්ඝ කිරීමකින් තොරව කිසිදු නීත්‍යානුකූල පදනමකින් තොරව සභාපතිතුමන්ගේ අත්සනින් වේතන ගෙවනු ලැබූ සේවකයින් 30 ක පමණ පිරිසක් නීත්‍යානුකූලව කොන්ත‍්‍රාත් පදනමේ පිහිටුවාලීම.

16. නොගෙවා තිබූ සේවක අර්ථ සාධක අරමුදලේ දඩය රු.810,000.00 ක මුදල ගෙවා අවසන් කිරීම.

17. සියලූ සේවකයින් නිසි ඇගයීමකට ලක්කර  ස්ථීර කළ යුතු සේවකයින් හඳුනා ගැනීම. 

18. වසර කිහිපයකින් සිදුකර නොමැති වූ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2018 වර්ෂය සඳහා සිදුකිරීම.

19. රියදුරන් සඳහා වර්ෂ ගණනාවක සිට අඩුපාඩුවක්ව පැවති නවාතැන්පලක්  ආයතනය තුළ  ස්ථාපිත කිරීම.

20. 2015 වර්ෂයේ සිට මේ දක්වා එකතු කිරීමට තිබූ සමස්ථ අලෙවිය වන රුපියල් මිලියන 1,120 න් රුපියල් මිලියන 130 ක පමණ මුදලක් ඉතිරි වන සේ අනෙකුත් සියලූම මුදල් එකතු කර අවසන් කර තිබීම.
002
මේ මාස 9 කට ආසන්න නිල කාලය තුළ සැලසිනේ ආයතනයේ සභාපති ශාන්ත බණ්ඩාර සිදුකළ කටයුතු කිහිපයක් පමණය. ඒ සියල්ල සිදුකර ඇත්තේ ආයතනයේ අලෙවි අංශය මෙන්ම හොම්බෙන් ගිය ආයතනයක් ලාභ ලබන තැනට පත්කරන පසුබිමේය. ඇත්තටම ආයතනයක සභාපතිවරයෙකුවීමට ආශාව පමණක් ප්‍රමාණවත් නැත. බලය ඇත්තන්ට තිබෙන  හිතවත්කම මෙන්ම ලෙන්ගතු බවද ආයතන ප්‍රධානියෙකුවීමට මාරම සුදුසුකමක් නොවේය. ඒවා සුදුසුකම් වුයේ රාජපක්ෂ ජඩ ප්‍රතිපත්තියටය. යහපාලන මුලධර්ම අනුව නම් ආයතනයක් වෙනුවෙන් ප්‍රධානියකු පත්කළ යුත්තේ විශ්වාසවන්ත මෙන්ම ඊට අදාළ ක්ෂේත්‍රයේ නිපුණතාවෙන් හෙබි පුද්ගලයන්ය. 

සැලසිනේ ආයතනයේ මේ සේවා වාර්තාව අප ගොනුකළේ යහපාලන ආණ්ඩුවට හැදෙනවා නම් ඊට නිදර්ශනයක් ලෙස මේ කෙටි කාලයේ සිදුව ඇති දැනෙන වැඩ කොටසින් පාඩමක් අරගෙන ඉදිරි වසර එකහාමාර හෝ සාර්ථක කරගන්නටය.

ඒ හැර කොහෙවත් යන උකුණන් මැක්කන් යොදවා තවදුරටත් ආයතන ගොඩනගන්න හිතනවා නම් ඒ අවසන් වන්නේ ඛේදාන්තයකින් මිස අනෙකකින් නොවේය. ඒ අන් කිසිවක් නිසා නොව උකුණන් කොච්චර ආශා කළත් කොට අදින වැඩේට උන් අසමත් නිසාය. වැඩ කාරයන්ට බොරු බෑ - බොරු කාරයන්ට වැඩ බෑ" පුර්විකාවෙන් මේ සටහන ඇරඹුවේද ඒ බව පසක් කරවන්නය. 

සංස්කාරක - newstube.lk