V2025

යශෝධරාවගේ පතිව්‍රතාව සෙවීම ලෙස්ටර්ගේ ගෙලෙහි කුරුසිය එල්ලීම හා අනුර කුමාරගේ අත කොහිදැයි විමසීම

සුනිල් ආරියරත්නගේ නවතම චිත්‍රපටය, තිරගත වූයේ වෙසක් පොහොයට පෙර සතියේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් , අපගේ මහා සිනමාකරුවා දිවි සිනමාවෙන් සමුගත්තේ වෙසක් පොහොය උදාවත් සමඟය. එතුමන් මෙරට සුවහසක් සිනමාලෝලීන් හා රසික ජන සෝ සුසුම් මැද ජාතියෙන් සමුගත්තේ වෙසක් පොහොය අගය. ලෝක කම්කරු දිනය යෙදෙන මැයි පළමුවන දා වෙසක් පොහොයද යෙදීම නිසා කල් දැමුණු මැයි දින පෙළපාලි හා රැලි හත්වන සඳුදා පැවැත්වුණ ද, අගනුවර පවැත්වුණු එකම රැලිය ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූවක් වීය. මගේ තීරුවෙහි ශීර්ෂයට අදාළ ඉහත සඳහන් සිදුවීම් ත්‍රිත්වයම, මෙරට බොහෝ සමාජ මාධ්‍ය ජාලා තුළ ද, තමන්ගේ හිසට නැගෙන ඕනෑම අදහසක්, මතවාදයක්, බැණ අඬ ගසා ගැනීමක්, චරිත ඝාතනයක්, අසත්‍ය චෝදනාවක්, ඒ පුවතට අදාළ නිරවද්‍යතාව විමසීමකින් තොරව වාරණයකින්, සංස්කරණයකින් තොරව ලිවීමට කීමට වල්බූරු නිදහසක් ඇති මුහුණු පොතෙහි ද ප්‍රධාන පුවත් වූ බව අපි දුටුවෙමු. බොහෝ සමාජ මාධ්‍ය ජාලා තුළින් පුවත් නිර්මාණයකරන්නෝ ද, මුහුණු පොත ගිණුම් හිමි බහුතර චරිත ද ඕනෑම විෂයයක් පිළිබඳ කෙළ පැමිණි දැනුමැත්තෝය. සිනමාව, කලාව, සාහිත්‍යය, ජනමාධ්‍යය, දේශපාලනය, ආගම, සංස්කෘතිය, ක්‍රීඩාව, ලෝක දේශපාලනය, සමාජ විද්‍යාව, විද්‍යාව, තාක්ෂණය, මතු නොව, සෞර ග්‍රහ මණඩල, අභ්‍යාවකාශ ජීවීන් පිළිබඳව ද මෙම පිරිස් නොදන්නා දෙයක් නැත.

ඔවුන් ඕනෑම විෂයක හෝ ඊට අදාළ ක්ෂේත්‍රයක බහුශ්‍රැතයෝය; විදග්ධයෝය; ඇසූ පිරූ තැන් ඇති මහා ප්‍රාඥයෝ වන්නාහුය. ඔවුන්ගේ දැනුමට මතවාදයකට අභියෝග කළ හැක්කෙක් මේ මිහිපිට නොමැත. ඔවුන්ගේ වචන දේවභාෂිත වේ. ඔවුන්ගේ දැනුම් සම්භාරය ඉදිරියේ අප වැන්නෝ හිරු දුටු කදෝපැණියන් බවට පත් වේ.

ඔවුන් ඔස්තාද්ලාය. කැප්ටන්ලාය. එහෙත් ඔවුන් නොදන්නා එකම දෙය නම්, ඔවුහු තමන් ලියන කියන කිසිවක් පිළිබඳ නොදන්නා බව පමණි. පසුගියදින කිහිපය තුළ මේ පිරිස්, සමාජ මාධ්‍ය ජාලයට හා මුහුණුපොතට එක් කොට තිබූ බොහෝ පෝස්ටු කියවීමෙන් අප වටහා ගත්තේ, ඔවුන් බොහෝ දෙනා ඉහත සිදුවීම් අරබයා, බෙදා හදා ගත් හා පළ කොට තිබූ අදහස්, පුද්ගලබද්ධ ද්වේශසහගත වාග් ප්‍රහාර බවය. සැලසුම්සහගත ඒකපාක්ෂික විචාර බවය. ඒවා මධ්‍යස්ථ විචාරයක, නිරීක්ෂණයක හෝ රසවින්දනාත්මක ස්වරූපයෙන් ඔබ්බට ගිය අතාර්කික අදහස් පමණක් බවය. එමගින් ඔවුන් බොහෝ දෙනා ස්වයං වින්දනයක් ලබන්නට ඇති මුත් මුහුණුපොත ගිණුම් හිමිකරුවන්ට හෝ හිමිකාරියන්ට ලබා දුන් ඥානයක් නොවුණු බවයි අපගේ අදහස. එවන් අවස්ථාවක අපට කල්පනාවන්නේ තාක්ෂණ දියුණුවේ මහරු ඵල සේ සැලකෙන අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ජාලා හා මුහුණු පොත ඉන් අපේක්ෂිත ප්‍රතිඵල වෙතින් ඈතට යන බව පමණි.

සුනිල් ආරියරත්නගේ යශෝධරා චිත්‍රපටය පිළිබඳ මහාචාර්ය සමන්ත හේරත්, කලාකීර්තී එඩ්වින් ආරියදාස හා ආචාර්ය ගුණදාස අමරසේකර තිදෙනා ගේ විචාර සමාජ මාධ්‍ය ජාලාහි මෙන්ම මුහුණුපොත සිනමා විචාරක ඔස්තාද්වරුන්ගේ ද කටගැස්ම වී ඇති බව නොකිවමනාය. සමන්ත හේරත් විසින් ඉරිදා පුවත්පතකට ලියූ විචාරයෙහි, ඔහු විසින් භාවිත භාෂාව උපහාසයට ලක් කරමින් නොනැවතී ඔහුගේ පෞද්ගලික ජීවිතයට ද එබී බලමින් මුහුණුපොත නිදහස ගණිකා වෘත්තියේ යොදා ගන්නා ආකාරයේ පෝස්ටු ගලා ගොස් ඇති බව පෙනේ. විචාරකයාගේ භාෂාව නොවැටහීම, එක්තරා පිරිසකගේ ප්‍රශ්නයක් ද, නැත්නම් පොදු රසිකයන්ගේ ප්‍රශ්නයක් ද යන්න තෝරාබේරා ගැනීමට පුවත්පත් විචාරය මුහුණුපොතේ පළ වියයුතුය. එසේ නොකොට, දීර්ඝ විචාරයක තමන්ට අවශ්‍ය කොටස් පමණක් උධෘත කොට පහර ගැසීම තුළ පෙනෙන්නේ සුනිල් ආරියරත්න විරෝධයක මුහුණුවර විනා, යශෝධරා චිත්‍රපටය පිළිබඳ කෙරෙන විචාරයක් නොවේ.

ආචාර්ය ගුණදාස අමරසේකර හා කලාකීර්ති එඩ්වින් ආරියදාසගේ විචාර ඔවුන්ගේ පෞද්ගලික මතවාදය; රසවිඳීම්ය. ඒවායේ පෙනෙන සාධනීය ලක්ෂණ යශෝධරා චිත්‍රපටයේ නොවේ නම්, මුහුණුපොත හෝ සමාජ මාධ්‍ය ජාලා සිනමා විචාරක විශේෂඥයන් විසින් කළ යුතු ව තිබුණේ චිත්‍රපටය පිළිබඳ විචාරයක්, තම මුහුණු පොත හෝ සමාජ මාධ්‍ය වෙබ් අඩවියකට පෝස්ට් කිරීමයි. එහෙත් අවාසනාවකට මෙන්, ඉහත විචාර පිළිබඳ උපහාසාත්මක, අපහාසාත්මක අවිචාර විනා යශෝධරා පිළිබඳ ලියැවුණු ශාස්ත්‍රීය චිත්‍රපට විචාරයක් මෙතෙක් කියවන්නට නොවූ බව කනගාටුවෙන් කීමට සිදුව ඇත. මුහුණුපොතෙහි හෝ සමාජ මාධ්‍ය ජාලයක වටිනාකම ඇත්තේ ඉන් බෙදා දෙන දැනුම තුළ මිස පුද්ගලික මඩ ප්‍රහාර, හෝ චරිත ඝාතන ස්වරූපයේ සම්ප්‍රප්පලාප තුළ නොවේය යන්න අපගේ විශ්වාසයයි. පෞද්ගලික තොරතුරු හෝ හාස්‍යජනක කතා පුවත් ගෙනෙන පෝස්ටුවකට ප්‍රතිචාර දැක්වීමේදී භාවිත කරන වචන, හාස්‍ය පිරි යෙදුම්, නිර්මාණයක විචාරයකට කෙතරම් ගැළපේද යන්න පිළිබඳව සිතා බැලිය යුතු නොවේද? සුනිල් ආරියරත්න, සමන්ත හේරත්, එඩ්වින් ආරියදාස හා ගුණදාස අමරසේකර යන පුද්ගලයන් අමතක කොට, යශෝධරා නරඹා ප්‍රෙක්ෂකයකු ලෙස දැනෙන හැඟීම මුහුණුපොතට බෙදාදෙන්න. අපට වැදගත් වන්නේ සමන්ත හේරත්ගේ සංස්කෘත, පාලි වචන බහුල විචාරය ද, යශෝධරා නම් චිත්‍රපටය සිනමා කෘතියක් ලෙස අගය කළ හැකිද යන්න පිළිබඳ ලියැවුණු චිත්‍රපට විචාරයක්ද?
බිම්බා හෙවත් යශෝධරාව පිළිබඳ මුහුණුපොත හා සමාජ මාධ්‍ය ජාලා ඇසුරු කරන්නන්ගේ අනෙක් ප්‍රශ්නය වී ඇත්තේ යශෝධරාව ලෙස රඟපාන නිළිය පිළිබඳවයි. මෙහිදී අධ්‍යක්ෂවරයා ඔහු විසින් පුවත්පත් සඳහා දී ඇති සම්මුඛ සාකච්ජා රැසකින්ම පල්ලවී සුභාෂ් නම් හින්දි නිළිය තෝරා ගැනීමේ පසුබිම පහදා දී තිබෙණු අප දැක ඇත. ඈ තෝරාගැනීම පිළිබඳ උරණ වන්නේ නම්, ඊට ඉදිරිපත් විය යුත්තේ යශෝධරාවගේ චරිතය රඟපෑමට තමන් සුදුසු යැයි විශ්වාසය ඇති මෙරට නිළියක් හෝ නිළියන්ය. එහෙත් වාසනාවකට එවැනි මැසිවිල්ලක් නැගෙනු නොපෙනේ. ඉන් යළිත් තහවුරු වන්නේ, සුනිල් ආරියරත්නගේ තීරණය නිවැරදි බවය. එසේ නම් මේ නිළිය හෝ ඇගේ චරිතය පිළිබඳ නගන ගෝරනාඩුව කුමක්ද? ඇගේ පතිව්‍රතාව සොයන්නේ කුමකටද? බුද්ධ පතිව්‍රතාව ලෙස යශෝධරා හැඳින්වීමෙහි වරද ද සොයන මුහුණු පොත් සාමාජික සාමාජිකාවෝ වෙත්. යශෝධරා බුද්ධ පතිව්‍රතාව සේ හැඳින්වීම පැරණි පොතපතෙහි දකින්නට ලැබේ. එය සුනිල් ආරියරත්න විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ යැයි සිතමි. චිත්‍රපටයේදී ඈ බුද්ධ පතිව්‍රතාවගේ චරිතය නිරූපණය කරනවාද යන්න නොවේද ප්‍රශ්නය විය යුත්තේ?කෙසේ වෙතත්, මුහුණු පොතෙහිම ගිණුමක් හිමි මේනුකා දම්සරණි නම්, TNL මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියකගේ මේ පෝස්ටුව කියවා බලන්න. ඈ සැබැවින්ම යශෝධරා හඳුනාගත්තිය නොවන්නීද? මුහුණු පොත තුළින් බෙදා හදා ගත යුත්තේ මෙවැනි අර්ථවත් පොස්ටු යැයි අදහමි.

“යශෝධරා... ඒ තමයි ප්‍රේමය.
001

ප්‍රේමයට සම පදයක් තරමයි යශෝධරා. ප්‍රේමය අන් කිසිත් නොව පරිත්‍යාගයක් ම බව පසක් කළ ස්ත්‍රියයි.

තවකෙකුට ආත්ම පරිත්‍යාගයෙන් ප්‍රේම කළ හැකිනම් ඒ මවක්. දරුවකුට දක්වන ස්නේහය. නමුත් දාරක ස්නේහයත් අතහැර පුරුෂයකුට පෙම් කළ හැකි ළඳක් වී නම්, ඒ යශෝධරා.

සිදුහත් කුමරු අනන්ත සංසාරේ බුදු බව පතා පාරමී දම් පිරුවා. දීපංකර බුදුන් පාමුල ඔහු මතු බුදු බව පතා බුදු සිරිපා සිඹිද්දී ඈ නේක දුක් කම්කටොලු විඳිමින් ඔහුට පාදපරිචාරිකාවන් වන්නට විවරණ පැතූ ළඳක්.

වරක් දෙවරක් නොව අනන්ත සසරේ හමුවන හැමවරකම වෙන්වන බව අහිමිවන බව දැන දැන අසීමිතව ඔහුට ප්‍රේම කරන්නට ම උපන් ළඳක්.

ඔහු වෙනුවෙන් ඔහුගේ සිහිනය වෙනුවෙන් දෙවරක් හෝ නොසිතා තමන්ව ම පූජා කරන්නට තරම් ඇය උත්තරීතර ප්‍රේමයට අරුත් දුන් පතිනියක්...

ප්‍රේමය අයිතිය ම ලෙස දකින ලෝකය ම ඇගේ ප්‍රේමය පාමුල කුහුඹුවන්ටත් නොතරම්. අතහැරීම තුළ ඈ අත්විඳි කඳුළත් ඔහුට ප්‍රේමයේ සෙත් කවියක්. ප්‍රේමාශීර්වාදයක්.

අනන්ත සසරේ බැඳුණු අත්වැල් ලිහෙද්දී ඈ නොසැළී ඉන්න ඇති. ඒත් අවසන් ම භවයේ යළි හමුවීමක් නොමැති බව දැන දැන ඔහු අත මුදාලන්නට ඈ කෙලෙස නම් සිත දැඩිකර ගන්නට ඇත් ද? එය කවියකුට පබඳින්න බැරි ගයන්නට වටන්නට බැරි අනන්ත හැඟීමක් වන්නට ඇති.

සිදුහත් නැවතීම සොයා යන්නටත් පළමු යශෝධරාවන් නැවතීම පසක් කළ සේ ඔහුගේ අවසන් සිපගැනීමත් නොහැඟුණා නොදැනුණා සේ කෙසේ නම් වාවාගෙන හිඳින්නට ඇත් ද? මිහිමත පහළවූ ආදරණීය ම හා උත්තරීතරම පිරිමියාගේ හිමිකම තමා සන්තක වෙද්දී ඒ සසර අවසන් පහසින් අවදි නොවී හැඟුම් නිදිගන්වා ඈ කෙලෙස බවුන් වඩන්නට ඇතිද?
සසරට බැඳෙතැයි පුතු දෝතට හෝ නොගත් සිදුහත්... සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක සංසාර ගමනේ එක්ව ආ ඔහුගේ අවසන්ම චුම්බනයත් නොහැඟුණා සේ හිඳින්නට තරම් ඈ සිත කෙතරම් නිවීමක් තිබෙන්නට ඇත්ද?

එය ම නිවනක් නොවුණේ ද... සිදුහත්ට...

බුදු බව ලැබ ඈ කුටියට වැඩම කළ බුදු හිමි සිරි පා ඈ ප්‍රේමයේ පිවිතුරු කඳුළින් දොවාලූයේ සසරක ම ඔහු සමඟ පාරමී දම් පිරූ මග සරතැස නිවන්නට නොවේද? අනන්ත කැපකිරීම් අවසන උදා වූ සැබෑ වූ ඇගේම ස්වප්නයේ තුටු කඳුළ නොවේ ද?

පිරිණිවනට පළමු අනන්ත සසරේ ආ ගිය මග ලකුණු සිහිකර පෙලහර පා සක්වළ ම කළඹා දෙව් බඹුන් මල් වරුසා මැද අහස් වියනේම පිරිණිවි ඈ නිසල ගත මලක් සේ පාව විත් බුදු හිමි දෝතේ මලක් සේ රැඳෙද්දී බුදු සිතත් සැලෙන්නට ඇත...

ඉදින් ඒ උත්තරීතර ප්‍රේමයේ නිමාවක් නොව නිමාවක් නැති ප්‍රේමයක්මැයි ඈ... යශෝධරා...

"දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ

මා සිටියා නම්...

එන්නට තිබුණා නියත විවරණ පතන්නට...

මතු බුදුවන්නට නොව, මතු බුදුවන හදකට යශෝධරාවක් වන්නට...

විඳින්නට ඈ විඳි අනන්ත ප්‍රේමයේ නිවීම..."

යශෝධරා ගේ පතිව්‍රතාව නම් වූ විසඳා ගත නොහෙන මහා ප්‍රශ්නය මතම කටගැස්මට ගැනුණු වැදගත්ම ප්‍රශ්නය වී තිබුණේ උපතින් කතෝලිකයකු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියා, භූමදාන කරනු වෙනුවට ආදාහනය කළේ කෙසේද යන්නයි. අප දන්නා කතෝලික මිතුරකු විසින්ම සරල ප්‍රශ්නයක් ලෙස මුහුණුපොත ඔස්සේ අසා තිබූ පැනයට, ප්‍රතිචාර ලෙස එක් කොට තිබූ පිළිතුරු හා කොමෙන්ටු, මා දකින්නේ අප මුලින් සඳහන් කළ තමන් නොදන්නා දෙයක් නැතැයි සිතා සිටින විශේෂඥයන්ගේ හෝ දේශපාලන විරෝධතා හිස මත තබා ගෙන සියල්ල අශුභවාදීව දකින්නන්ගේ මානසික තත්වයන්ය. ලෙස්ටර් භූමදානය සිදුවූයේ රජයේ ඕනෑකමකට යන අසත්‍ය, අභූත චෝදනාව සමාජගත කරන්නට මුහුණුපොත පිරිස් ගත් උත්සාහය නින්දිතය; ලැජ්ජාසහගතය.

අවමඟුල් දිනය රජයේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන්නටත් පෙර, එනම්, මැයි පළමුවනදා රාත්‍රියෙම ලෙස්ටර් පවුලේ හා ඥාතීන්ගේ තීරණය වී තිබුණේ පල්ලියේ වතාවත්වලින් පසු නිදහස් චතුරශ්‍රයේ දී ආදාහනය සිදුකෙරෙන බවයි. මා එය නිසැක වශයෙන්ම දැනගන්නේ, ලෙස්ටර් පවුලේ සමීපතමයකු වන, මා මිත්‍ර රංජිත් රූබසිංහ, අප බොහෝ දෙනා හඳුනන චිත්‍රපට නළුවාගෙනි. "අය්යෙ, මැඩම්ල තීරණය කරල තියෙන්නෙ පල්ලියෙ වැඩවලින් පස්සෙ බුද්ධාගමේ විදියට පාංශුකූලෙ දීල ආදාහනය කරන්න. සර්ගෙ කැමැත්තත් ඒකලු" මේ රංජිත්ගේ වචනයි.

මේ පුවත සමාජ මාධ්‍ය ජාලාහි හා මුහුණුපොතෙහි සංසරණය වූයේ කෙතරම් හානිකර හා අසත්‍ය ප්‍රවෘත්තියක් ලෙසද? සුමිත්‍රාට හෝ දිනේෂ් ගුණවර්ධනලාට නොතිබුණු අමාරුවකින් මුහුණුපොත් සාමාජිකයෝ පෙළෙමින් සිටියාද? කලාකරුවකු ලෙස ලෙස්ටර් කිසිදින කුරුසිය, කරේ තබාගෙන හෝ ධර්මචක්‍රය ගෙලෙහි එල්ලාගෙන ජීවත්වූවෙක් නොවන බව දන්නෝ දනිති. රේඛාවෙහි ගීත, රන්සළු චිත්‍රපටයේ තේමාව හා සිරිපා පියුමේ වැනි ගීයක අරුත වටහාගෙන ජීවත් වූ කලාකරුවකුට එලෙස අවමන් කිරීමට අයිතිය ඇත්තේ කාටද? සෑම කතෝලිකයෙක්ම මළ පසු භූමදාන කළයුතු යැයි නියමයක් බයිබලයේ හෝ නැතැයි ඇතැම් මුහුණුපොත් සාමාජිකයෝ ලියා තිබෙනු මම දුටුවෙමි.
මෙහිදී ද මා මුලින් සඳහන් කළ පවුලෙ සමීපතම ඥාතීන්ට හා හිතමිත්‍රාදීන්ටත් වඩා ලෙස්ටර් පිළිබඳ තතු දත් ඔස්තාද් ලා විකෘත චිත්‍ර මවමින් තම තමන්ගේ ඕනෑ එපාකම් සපුරා ගත්තා වියයුතුය.

002

සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා මුහුණුපොතට තුන්වන කටගැස්ම වූ ප්‍රවෘත්තියේ කතානායකයා වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකයි. කල් දැමුණු මැයි දින රැලිය පවැත්වුණු හැව්ලොක් පිටියේ පීඨිකාව මත සිට පක්ෂයේ ප්‍රධානීන් අත ඔසවා රැස් වූ පිරිසට අත ඔසවා ආචාර කරද්දී අත නො එසවුණු අනුර කුමාර සහෝදරයාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලයට එක් කරමින් නිර්මාණය කොට තිබූ ඇතැම් පෝස්ටුවක අපූරු දේශපාලන උපහාසාත්මක යෙදුම් භාවිත කොට තිබුණ ද බහුතරයකගේ ඕනෑකම වී තිබුණේ එතුළින් අනුර කුමාර සහෝදරයාට පහරගැසීම බව පැහැදිලිය. තොටුපළ අයිනේ යන ශීර්ෂය නිර්මාණශීලීත්වය මෙන්ම සියුම් උපහාසයක් ද මුසු වූවක් ලෙස හැඟිණ. එහෙත් බොහෝ දෙනාගේ ඕනෑකම වී තිබුණේ අනුරකුමාරගේ නො එසවුණු අත ඔවුනට විශාල ප්‍රශ්නයක් වූ බව පෙන්වන්නටය. අත එසවීමට පෙර ගත් ඡායාරූපයක් හෝ ඇත්තටම අත නො එසවූ ඡායාරූපයක් වුව, එය ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රශ්නයක් විනා මුහුණු පොත ප්‍රශ්නයක් කොට අවලාද නගන්නට, දේශපාලනිකව මඩ ගසන්නට තැත් කළ බාල උත්සාහයක් නොවීද?

සමාජ මාධ්‍ය වෙබ් අඩවි හෝ මුහුණුපොත අර්ථවත් සංවාද මණ්ඩපයක් හෝ කතිකාවකට සුදුසු වේදිකාවක් තනනු වෙනුවට, අවර ගණයේ ඕපාදූප පිරුණු පුවත් මවමින් චරිත ඝාතන, අසත්‍ය ප්‍රවෘත්ති, බෙදා හරිනු ලබන ඇතැම් සමාජ මාධ්‍ය වෙබ් අඩවි මෙන්ම කිසියම් චරිතයකට, නිර්මාණයකට මඩ ගසා, රිදවා සිඟිති ආතල් ගැනීමට පුරුදුව සිටින මුහුණුපොත ඇතැම් ඔස්තාද්ලා ද හඳුනාගැනීමට කාලය එළඹ ඇතැයි අපට සිතේ.
 

buddadasa 200බුද්ධ­දාස ගල­ප්පත්ති

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found