Language Switcher

V2025

එම්.බි.බි.එස්. (කච්චතිව්)

කාලය:- අනාගතය 2067
ස්ථානය:- කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට.

සීයා කෙනෙක් සිය මුණුබුරා සමග දුම්රිය ‍පොළෙන් පිටවී මොරටුව බසයකට නගින්නට එයි. හදිසියේම යමක් මතක් වූ සීයා නවතී.

පුතේ, අර පේන මඩුවෙ මගේ පරණ යාළුවො වගයක් ඉන්නවා. අපි ඒගොල්ලන්වත් බලල යමුද? ඔහු මුණුබුරාගෙන් අසයි. ඒ කට්ටිය හරිම දක්ෂයො. ඉහළින්ම විභාගෙ පාස්වෙලා මෙඩිකල් කො‍ලේජ් ගියා. ඒත් ඒ කාලෙ සයිටම් කියල දාපු ප්‍රයිවෙට් වෛද්‍ය විද්‍යාලෙකට විරුද්ධව උපවාස කරන්න අරගෙන දැන් අවුරුදු 50 ක් තිස්සෙම ඒක කරනවා.

සයිටම් අහෝසි කරනු, නිදහස් අධ්‍යාපනය රැකගමු, ව්‍යාජ විසඳුම් එපා ආදී බෝඩ් ගැසූ මඩුවේ වෛද්‍ය සිසු සීයලා හා ආච්චිලා පිරිසක් සිය හැරමිටිද තබාගෙන ඉඳගෙන සිටියහ. මුණුබුරා සමග ආ සීයා දුටු වෛද්‍ය සිසු සීයලා, ආච්චිලා ප්‍රීතියෙන් කුල්මත්ව හුන් තැන්වලින් අමාරුවෙන් නැගිට ඔහු බදාගත්හ.

එක් වෛද්‍ය සිසු ආච්චි කෙනෙක් මුණුබුරාගේ ඔළුව අතගාමින් හඬන්නට පටන් ගත්තාය.

අනේ අපිටත් මේ වගේ සීදේවි මුණුබුරු මිණිබිරියො ඉන්නවනෙ, ඒ කාලෙම බැන්ද නම් ඕ වේදිකාවේ බිම වැටී සිටින සීයා කෙනෙකුට අත දිගු කරමින් කීවාය. කොහෙද මං අර හාදයට කොච්චර කිව්වද මේ සයිටම් මඟුල අත ඇරල ෆාමසියකවත් වැඩට ගිහින් කසාද බඳිමු කියලා.

වෛද්‍ය සිසු සීයලා හා ආච්චිලාගේ දුකෙන් මුණුබුරාද කම්පනය වුණේය.

ඉතින් සීයෙ අවුරුදු පණහකට කලින් මෙඩ්ඩොත් තාම පාරෙ නම් කවුද දැන් ඔය ඉස්පිරිතාලවල වෙදකම් කරන්නෙ? ඔහු සීයාගෙන් ඇසුවේය. පිටරට දොස්තරලද?

සීයා මුණුබුරාට ඉතිහාස කතාව කියන්නට විය.

සයිටම් වැඩේ වැරදුණාම ඒක දාපු දොස්තර නෙවිල් ප්‍රනාන්දු ගිහින් කච්චතිව් දූපතේ මෙඩිකල් කො‍ලේජ් එකක් දැම්මා ඔහු කියා සිටියේය. ඒක පිටරට නිසා ඒකෙ කට්ටියව මෙහේ පිළිගත්තා, දැන් ඉන්නෙ ඔය එම්.බි.බි.එස්. (කච්චතිව්) ගත්ත අපේම කට්ටිය තමයි.

ඒ ඇසූ මුණුබුරාගේ මුහුණේ ප්‍රශ්නයක් නැගුණි.

සීයෙ, කච්චතිව් කියන්නෙ සිරිමා බණ්ඩාරනායක ඉන්දියාවත් එක්ක කතා කරල අරගත්ත අපේ දූපතක්නෙ ඔහු කියා සිටියේය. ඒක කොහොමද පිටරට වෙන්නෙ?

මුණුබුරාගේ ප්‍රශ්නයෙන් සීයාට හිනා ගියේය.

ඒ කාලෙ පුතේ, අපේ රටේ හිටිය සූරම සූර වෙළෙන්දෙක් රනිල් කියලා. හොඳ ගානකට ආව නම් මිනිහ දන්ත ධාතුව වුණත් විකුණනවා සීයා කියා සිටියේය. විකුණන්න මුකුත් නැතිවුණාම මිනිහා ‍පොල් ගහකුයි, පල්ලියකුයි විතරක් තියෙන කච්චතිව් දූපතත් ‍පොඩි ගානකට ඉන්දියාවටම දීල දැම්මා. ඒකෙන් තමයි කච්චතිව් එම්.බි.බි.එස්. පිටරට උපාධියක් වුණේ.

ඉතින් ඒ කාලෙ මේ ආච්චිල සීයලට තමන් දවසක අමාරුවෙ වැටෙනව කියල කියන්න කවුරුත් හිටියෙ නැද්ද සීයෙ?

ටික දෙනෙක් හිටිය පුතේ සීයා කීවේය. ඒ වුණාට උන් ඔක්කොම දුෂ්ට, නූගත්, ප්‍රතිගාමියො. රටේ හිටපු යහපත්, උගත්, ප්‍රගතිශීලියො ඔක්කොම කිව්වෙ සයිටම් නැත්නම් මරණය කියල සටන් කරමු කියලයි.

මේ වන විට මුණුබුරාගෙ ඇස්වල කඳුළුද පිරී තිබුණේය.

අනේ සීයෙ, මේ ආච්චිල, සීයල වැටිච්ච වළෙන් ගොඩගන්න කවුරුවත් කවදාවත් කිසිම උත්සාහයක් කරේම නැද්ද?

කරා, කරා පුතේ. හරියටම අවුරුදු පනහකට කලින් 2017 ඔක්තෝබර් හරියෙ ආණ්ඩුව ඔන්න වළෙන් ගොඩවෙයල්ල කියල හීන් කඹයක් දැම්මා සීයා කියා සිටියේය. එතකොට ඔක්කොම කට්ටිය වටවෙලා ඒ ළමයින්ට කිව්ව ඕක දිරච්ච කඹයක්, ඕකෙ එල්ලෙන්න නරකයි, අපි වළෙන් ගොඩ එන්න ක්‍රේන් එකක්ම ඉල්ලමු කියල.

කුසල් පෙරේරා