Language Switcher

V2025

රාජකීය විවාහය සලිත කළ කළු ජාතික ඇමෙරිකානු බිෂොප්වරයා

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ දෙවෙනි පුත් හැරී කුමරු සහ අප්‍රිකානු සම්භවයකින් යුත් ඇමෙරිකානු කාන්තාවකගේ දියණිය වන මෙගන් මාකල් අතර විවාහ මංගල්‍යය ගැන බොහෝ දෙනා විවිධ කෝණවලින් අදහස් පළ කරනු පෙනේ. 

ඇයගේ පියාට මංගල උත්සවයට සහභාගි වීමට නොහැකිවීම සතියකට අධික කාලයක් මුළුල්ලේ බ්‍රිතාන්‍ය මාධ්‍යවල මුල් පුවත බවට පත්ව තිබිණ. 

ඒ අතරම මෙගන්ගේ ඥාති සොහොයුරිය සහ ඥාති සොහොයුරා ඇය සම්බන්ධයෙන් දැක්වූ අනුකම්පා විරහිත ආකල්පය ද ඔවුන්ට තවත් ප්‍රධාන මාතෘකාවක් විය. 

විවාහයෙන් අනතුරුව දැන් බ්‍රිතාන්‍ය මාධ්‍යවල ප්‍රධාන පුවත මෙගන්ගේ මංගල සාරිය, උත්සවයෙන් අනතුරුව පැවති සාදය සහ ඔවුන් දෙදෙනා කොතැනක මධු සමය ගත කරනු ඇත්ද යන්න වැනි ඕපා දූප ගැනය. 

මෙගන්ගේ ආරාධනයෙන් උත්සවයට පැමිණ, ලබා දුන් විනාඩි 5 වෙනුවට විනාඩි 14ක්ම ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාව පින වූ ඇමෙරිකානු පූජක මයිකල් කරි (Michael Curry) රදගුරුවරයා ගැන සමාජ මාධ්‍ය ජාල ප්‍රබල  අවධානයක් යොමු කළත්, එය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල එතරම් අවධානයට ලක් වූ හැඩක් නොපෙනේ. 

ooo2 1
එතෙක් අතිශය ගරු ගාම්භීර බවක් - solemn - ඉසිලු රාජකීය විවාහ උත්සවයේ සියලු සම්ප්‍රදායයන් බිඳ දමමින් ඔහු එයට විනෝදාස්වාදයක් එක් කළා පමණක් නොව සිය සුමියුරු වාග් චාතුර්යය යොදා ගනිමින් ඔහු සමස්ත ලෝකවාසීන් වෙත තිලින කළේ සුවිශේෂී පණිවුඩයකි. 

ආචාර්ය මාටින් ලූතර් කිං උපුටා දක්වමින් “ප්‍රමයේ ශක්තිය” ගැන ඉතා බලගතු දේශනයක් පැවැත්වූ රදගුරු මයිකල් කරි, ප්‍රේමය රජයන්නේ නම් ලෝකය ක්ෂේම භූමියක් වනු ඇතැයි පැවසීය. 
("When love is the way, poverty will become history. When love is the way, the Earth will be a sanctuary.")
003  
“ආගම අබිං” බව කියමින් පිළිකෙව් කළ මාක්ස් සහ එංගල්ස් වැනි වාමාංශිකයන් පවා එවැනි දේශනයකින් වශී වනු ඇතැයි මට සිතේ. 

රදගුරු මයිකල් කරි එලිසබෙත් රැජින සහ රාජකීයයන් ඇතුළු සමස්ත ආරාධිත පිරිස ආමන්ත්‍රණය කළේ ද “සහෝදර, සහෝදරියනි,” යනුවෙනි. 
ඔහුගේ දේශනයේ අන්තර්ගතය පමණක් නොව ඔහු එය ඉදිරිපත් කළ ආකාරය ද සුවිශේෂී වූවකි. 

එය සැබවින්ම රාජකීය මංගල උත්සවය කණපිට හැරවූ, සම්මතයට අතුල් පහරක් එල්ල කළ, සමාජ අසාධාරණය දැඩිව හෙලා දුටු, සැබෑ ආගමික නායකයකු නම් මේ යයි කියා පෑ අපූරු දේශනයක් විය. 

විශේෂයෙන්ම සාම්ප්‍රදායිකව යුද සෙනෙවියන් වන බ්‍රිතාන්‍යයේ රජ පවුලේ නායකයන් ඉදිරියේ යුද්ධය පිළිකෙව් කරන මෙන් ඔහු කළ ආයාචනය දශක ගණනාවක යුද්ධයකින් බැට කෑ ශ්‍රී ලංකාව වැනි රටකට ද කෙතරම් ගැලපෙන්නේ දැයි යන්න මට ක්ෂණිකව පහල වූ හැඟීමය.

ආදරය රජ කරන විට සහ කඩුව පලිහ ගඟ අද්දරට විසි කර දමනු ඇතැයි ඔහු පැවසුවේ හමුදා නිල ඇඳුමෙන් සැරසී සිටි මනමාලයා සහ අනාගත කිරුල හිමි විලියම් කුමරු ද ඉදිරියේය. 
("When love is the way, we will lay down our swords and shields down by the riverside to study war no more.”)

004
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ජාතිවාදයට එරෙහිව හඬ නගන, සමරිසි ප්‍රජාවගේ විවාහය ඇතුළු අයිතීන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින, මයිකල් කරි බිෂොප්වරයා මංගල උත්සවය කණපිට හරවද්දී ඔහුට ආරාධනා කළ මනාල යුවල එය සිනහසෙමින් එයට සවන් දුන්හ. 

ආදරය රජයන විට බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි, හින්දු, ජාති භේද, කුල භේද, ප්‍රාදේශීය භේද, වර්ණ භේද යනාදී මෙකී, නොකී අනේකවිධ බෙදීම් වෙනුවට ලොව සෑම දෙනාම එක පවුලක් ලෙසින් එකාවන්ව කටයුතු කරනු ඇති බවත් බිෂොප්වරයා සිනහ මුසු මුහුණින් යුතුව, රඟපාමින්, පැහැදිලි කළේය. 
("Because when love is the way, we actually treat each other, well, like we're actually family.)

රටේ අහිංසක පුරවැසියන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනා ලද්දවුන් නීතියේ රැහැනින් බේරාගැනීමට කෑ මොර ගසන “ආගමික නායකයන්” වෙනුවට, අතුරුදහන් වූ සැමියන් සොයා හඬන මවුවරුන්ට පරුෂ වචනයෙන් බැන වදින “ආගමික නායකයන්” වෙනුවට, ලේ වැගිරෙන යුද්ධයට සෙත් පිරිත් දෙසමින් ආවඩන “ආගමික නායකයන්” වෙනුවට, අතුරුදහන් කිරීම අපරාධයක් ලෙස නීති පැනවීමට විරෝධය පාන “ආගමික නායකයන්” වෙනුවට ශ්‍රී ලංකාවටත් මයිකල් කරි රදගුරුවරයා වැනි, ගල්කන්දේ ධම්මානන්ද හිමියන් ( Dhammananda Galkande) වැනි, සැබෑ ආගමික නායකයන් කිහිප දෙනෙක්වත් සිටියේ නම් කෙතරම් කදිම දැයි මට සිතේ. 

- සරෝජ් පතිරණ. (ඉහත දැක්වෙන්නේ මගේ (රචකයාගේ) පුද්ගලික අදහස බව සලකන්න)