Language Switcher

V2025

යුරෝ 4 ඔබේ වාහනයට කොහොමද : ලාල් අලවත්ත කියයි !

යුරෝපාකොමිසම 1992 වසරේදී පරිසර හිතකාමී ඉන්ධන භාවිතය පිළිබඳව අවධානය යොමු කළේය. ඒ අනුව ඔවුන්ගේ මැදිහත්වීම මත යුරෝ 1 නමින් නව ඉන්ධන ප්‍රමිතියක් හඳුන්වා දුන්නේය.

 අද වන විට යුරෝපයේ බොහෝ රටවල් භාවිත කරන්නේ මේ පරිසර හිතකාමී ඉන්ධනයි. එහි වත්මන් නිෂ්පාදනය යුරෝ 6 දක්වා වර්ධනය වී ඇත.

 යුරෝ 6 ඉන්ධන භාවිතය තුළින් පරිසරයට සිදුවන වායු දූෂණය සාධනීය ලෙස අඩු වී ඇත.

 මේ නිසාම අද මුළුමහත් ලෝකයම මේ දියුණු පරිසර හිතකාමී ඉන්ධන භාවිතයට පෙලඹී සිටියි.

නොබෝදා ලංකාවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අපේ රටේ ඉන්ධන පාරිභෝගිකයන්ට හඳුන්වා දුන්නේ මේ අනුව නිෂ්පාදනය වුණ යුරෝ 4 කාණ්ඩයට අයත් පරිසර හිතකාමී ඉන්ධනයි.

මේ ඉන්ධන වර්ගය හඳුන්වා දීමත් සමඟම වාහන පදවන සියලු ඉන්ධන පාරිභෝගිකයන් තුළ ඇති වූයේ කුකුසකි. එනම් යුරෝ 4 ඉන්ධන භාවිතය නිසා ඔවුන්ගේ වාහනවල කාර්මික දෝෂ ඇති වේවිද? එසේ නම් ඒ සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග කවරේද යන්නය.
 
'මව්බිම' මේ වෙනුවෙන් විශේෂඥ මෝටර් රථ ඉන්ජිනේරු ලාල් අලවත්ත මහතා සම්බන්ධ කරගත්තේ ඒ සම්බන්ධව විමසා සිටින්නය.
 
"1992 යුරෝපා සංගමය මේ විදිහේ පරිසර හිතකාමී ඉන්ධන සඳහා පාරිභෝගික ජනතාව යොමු කරන්නට කටයුතු කළේ පරිසර හිතකාමී වැඩසටහන ඉදිරියට ගෙන යෑමේ අපේක්ෂා ඇතිවයි."

"දැන් අවුරුදු 26කට පසුව අපේ රටේ පාරිභෝගිකයන්ටත් මේ පරිසර හිතකාමී ඉන්ධන හඳුන්වා දෙන්න කටයුතු කරමින් තිබෙනවා."

"ඇත්තටම මේක පරිසරය පැත්තෙන් බලනකොට ඉතාම හොඳ දෙයක්. අනෙක් පැත්තෙන් බැලුවහම වාහන පදවන පාරිභෝගිකයන්ට මෙයින් ඇතිවන ගැටලු සම්බන්ධවත් ප්‍රශ්න කරනවා."

"මගේ දැනීමේ හැටියට නම් 'යුරෝ 4' ඉන්ධන භාවිත කිරීම තුළින් වාහනවලට කිසිදු කාර්මික දෝෂයක් ඇති වේ යැයි හිතන්න බැහැ."
 
"ඒ වගේම ටැංකියේ ඔක්ටේන් 95-92 වර්ගයට අයත් තෙල් තිබුණු මොහොතක 'යුරෝ 4' තෙල් පිරෙව්වා කියලා ප්‍රශ්නයක් ඇති වන්නෙත් නැහැ."
 
ප්‍රශ්නේ තිබෙන්නේ ඒ ඔක්ටේන් 95-92 තෙල් තිබියදී 'යුරෝ 4' තෙල් කලවම් වුණාට අර පරිසර දූෂණය වැළැක්වීමේ පිළිවෙතට ගැටලුවක් වෙන එක විතරයි. එහෙම නැතිව කිසිදු බියක් ඇතිවන දෙයක් මේ තුළ නැහැ.

එහෙත් ලාල් අලවත්ත මහතා සඳහන් කරන්නේ 'යුරෝ 4' කාණ්ඩයට අයත් තෙල් 1990ට පෙර වාහන සඳහා පාවිච්චි කිරීමේදී තරමක් සැලකිලිමත්වීම වැදගත් වන බවයි.
 
1990ට කලින් පැරණි වාහනවලට පුංචි පුංචි කාර්මික දෝෂ එන්න පුළුවන් වේවි කියලා මට හිතෙනවා. ඒ නිසා ඔවුන් තමන්ගේ වාහනයට 'යුරෝ 4' ලබා ගන්න කලින් දෙවරක් හිතා බලන්නේ නම් හොඳයි. අලුත් වාහනවලට නම් ගැටලුවක් ඇත්තෙම නැහැ.
 
ඒ වගේම සමහර අයට හිතෙන්න පුළුවන් මේ අලුත් ඉන්ධන පාවිච්චිය නිසා එන්ජිමේ යම් යම් කොටස්වලට හානි සිදුවෙන්න පුළුවන් කියලා. ඒක ගැන කිසිදු බියක් ඇති කරගන්න එපා. කිසිම හානියක් සිදුවන්නේ නැහැ.
 
මේ නව යුරෝ 4 ඉන්ධන පාවිච්චිය නිසා ලීටරයකට ගමන් කරන කිලෝමීටර ගණන අඩුවේවි කියන ප්‍රශ්නයත් ඔබට ඇති වෙන්න පුළුවන්. නමුත් ලාල් අලවත්ත මහතා පවසන්නේ එවැනි වැය වීමේ අඩු වැඩි වීමක් මේ නව ඉන්ධන නිසා සිදු නොවන බවය. යතුරුපැදි හා ත්‍රීවීලර් රථ සඳහාද මේ ඉන්ධන භාවිතය තුළින් කිසිදු ගැටලුවක් මතු නොවන බව ඔහු වැඩිදුරටත් පවසයි.
 
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 'යුරෝ 4' හඳුන්වා දෙමින් පවසන්නේ මෙමඟින් පරිසරයට ඇතිවන බලපෑම අවම වන බවය. ඒ නිසාම ඉදිරියේදී 'යුරෝ 4' ඩීසල් හා පෙට්රල් මෙරට වෙළෙඳපොළ තුළට හුරු කිරීමට කටයුතු කරන බවය. කාබනික දුම් නිසා ඇතිවන පරිසරය දූෂණය මෙමඟින් අඩුවන බවය.
 
"මේ ක්‍රියාවලිය ඉතා හොඳයි. ඒත් රජය පවසන විදියට වෙළෙඳපොළේ දැන් පවතින තෙල් මිලටම මේ 'යුරෝ 4' අලෙවි කරන්න පුළුවන්ද කියන ගැටලුව මතු වෙනවා."

"ලංකාවේ තෙල් පිරිපහදු කරන්නේ සපුගස්කන්දේ විතරයි. එතැන 'යුරෝ 4' තෙල් නිෂ්පාදනය කරන්න බැහැ. එහෙම කරනවා නම් ඒ ආයතනය වැඩිදියුණු කරන්න ඕනෑ."
 
ඒ වගේම එසේ කරන්න බැරි නම් එකදිගටම පිටරටින් 'යුරෝ 4' වර්ගයට අයත් තෙල් ගෙන්වන්න වෙනවා. එහිදී මතුවන ගැටලු පිළිබඳවත් බලධාරීන් තම අවධානය යොමු කළ යුතු වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ 'යුරෝ 4' විතරක් නෙවෙයි දැනට යුරෝපයේ රටවල් පාවිච්චි කරන 'යුරෝ 6' ඉන්ධන නිෂ්පාදනය කිරීම සඳහා අපේ රටේ තෙල් පිරිපහදු ක්‍රමය දියුණු කළ යුතු බවයි මගේ අදහස.
 
වායු දූෂණය නිසා අද මෙරට ඇති වී තිබෙන සෞඛ්‍ය ගැටලු පිළිබඳව අමුතුවෙන් කතා කළ යුතු නැත. මහපාරේ ගමන් කරන ඕනෑම පුරවැසියකු මේ සත්‍ය අවබෝධ කරගෙන ඇති බව නිසැකයි.

මේ හේතුව නිසා 'යුරෝ 4' පමණක් නොව අනාගතයේදී 'යුරෝ 6' ඉන්ධන භාවිතය අනිවාර්ය කළ යුතුයි. එහෙත් ඒ සඳහා සාක්කු පුරවා ගැනීමේ න්‍යායයෙන් අප බැහැර විය යුතුයි. හිටි හැටියේ ඉන්ධන නැති වී දිගු පෝලිම්වල රස්තියාදු වීම වගේම මිල සූත්‍රයකින් තොරව ඉන්ධන මිල ඉහළ දැමීම තුළ මේ පරිසර හිතකාමී වැඩපිළිවෙළ සාර්ථක වීම නොවීම ප්‍රශ්නාර්ථයකි.

මව්බිම