Language Switcher

V2025

“ඔබ ජනාධිපති වෙන්නට පුළුවන. නමුත් මගේ කාරිය ගැන තීරණ ගැනීමේ අයිතියක් ඔබට නැත”

“ඔබ ජනාධිපති වෙන්නට පුළුවන. නමුත් මගේ කාරිය ගැන තීරණ ගැනීමේ අයිතියක් ඔබට නැත” -ප්‍රංශය පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීම ගැන කතාවක්..!-මංජුල සේනාරත්න පැරිසියේ සිට-

ප්‍රංශය පාපන්දු ලෝක කුසලානය දිනා ගත් දවසේ පටන් මුහුණු පොතේ ලියවුනු දේ නම් බොහෝය. වැඩි ප්‍රමාණයක් මේ සටහන් අපේ රටේ දේශපාලනය සමග සම්බන්ධ කර ගනිමින් ලියවුණු ඒවාය. එහෙත් මෙහිදී විශේෂයෙන් කිව යුතු දෙයක තිබේ. ප්‍රංශයේ පාපන්දු ක්‍රීඩාව ට දේශපාලනය කිසිදු විටක සම්බන්ධ නොවන බවයි. තවත් ආකාරයකින් කියන්නේ නම් පාපන්දු ක්‍රීඩාවට දේශපලඥයෝ අත නොගසන බවයි. ගෙවුණු විසි වසර ඇතුලත ප්‍රංස පාපන්දු ක්ෂේත්‍රය ඉහලින වැජඹෙන්නේ , මේ දේශපාලන දුරස්ථ භාවය නිසා යැයි මම සිතමි.

ප්‍රංස පාපන්දු පරිපාලනයේ ස්වාධින බව ගැන ලියන්නට පෙර මගේ මතකයට එන වෙනත් සිද්ධියක් ලියනු කැමැත්තෙමි.

ඇමරිකානු ලේඛක Dan Brown ගේ Da Vinci Code පොත් සිනමාවට නැගෙද්දී රුපගත කිරීම් බොහොමයක් ප්‍රංශයේදී සිදුවිය. කතාව ගලා යන්නේ පැරිසියේ ප්‍රකට ලුවර් කෞතුකාගාරයේ නිසා එහි ඇතුලත රුපගත කිරීමේ අවසරය නිෂ්පාදකයින් ඉල්ලා සිටි විට කෞතුකාගාර බලධාරීහු තරමක් පසු බසිනා බවක් පෙනෙන්නට තිබුණි. මේ කාර්යය වෙනුවෙන් අති විශාල මුදලක් වැය කරන්නට සුදානමින් සිටි නිෂ්පාදකවරුන් ගේ ඉල්ලීම වුයේ කෞතුකාගාරයේ එක් වැදගත් කොටසක් දින දෙකක කාලයක් පුරා වසා දමා එය තමන්ගේ ප්‍රයෝජනය සදහා ලබා දිය යුතු බවයි. මේ කාලයේ ලුවර් කෞතුකාගාරයේ පරිපාලන අධ්‍යක්ෂ වරයා වුයේ ලේඛකයෙකු මෙන්ම ඉතිහාසඥයෙකු වූ Henry Loyrette ය. ඔහු කියා සිටියේ රූපගත කිරීම් අවසරය ලබා දිය හැකි බවයි. එහෙත් ලුවර් කෞතුකාගාරය යනු ලෝක අයිතියකි.

peris 1

ඇමරිකානුවන්ගේ උවමනාව මත මහා මුදලක් ලැබුනත් එය දින දෙකක් වසා දමන්නට ඔහු අකැමති විය. කෞතුකාගාරය රාත්‍රී කාලයට වසා දැමු විට රූපගත කිරීම් කර ගන්නැයි ඔහු කිවේය. මේ චිත්‍රපටයේ නිෂ්පාදක Brian Grazer ය. අධ්‍යක්ෂ Ron Howard ය. ප්‍රධාන නළුවා Tom Hanks ය. මේ තිදෙනාම හොලිවුඩ් පුරයේ දැවන්තයෝය. ඔවුහු පැරිස් නගරයට පැමිණියහ. මේ පැමිණීම දැන ගත් එවක ජනාධිපති ජැක් ශිරාක් (ඔහු Tom Hanks රසිකයෙකි) මේ තුන් දෙනාට ජනාධිපති මන්දිරයේ භෝජන සංග්‍රහයකට ආරාධනා කළේය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ නිෂ්පාදකවරයා ගේ උත්සාහය වුයේ ජනාධිපති තුමාගේ මැදිහත් වීමෙන් අවසරය ලබා ගැනීමයි. මෙවැනි අවස්ථාවක තමන්ගේ බලය පෙන්වන්නට කැමති ශිරාක් කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයාට කතා කළේය. දින දෙකක් වසා දමා රූපගත කිරීම් වලට ඉඩ දෙන මෙන් ඉල්ලා සිටියේය. නැත. ඔබ රටේ ජනාධිපති වන්නට පුළුවන. නමුත් ලුවර් කෞතුකාගාරයේ පාලකයා මමය. මගේ කාර්යය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතියක් ඔබට නැත..... අධ්‍යක්ෂ වරයාගේ පිළිතුර විය. සත්‍ය වශයෙන්ම ජනාධිපති වරයාට කල හැකි වෙනත් දෙයක් නොවිණ. මෙවැනි කාර්යයකදී දේශපාලන බලය අනිසි ලෙස භාවිතා කල නොහැකි බව ඔහු දනියි. අන්තිමේදී රුපගත කිරීම් සිදු වූයේ ලුවර් බලධාරීනට උවමනා ආකාරයටයි. දේශපාලඥයිනට තමන්ට අයිති නැති රාජකාරි වලට මැදිහත් වන්නට හැකියාවක් නොමැති බව කියන්නට මෙය හොද උදාහරණයක් යැයි සිතමි. මේ කතාව උපුටා ගත්තේ Chirac :Une Vie (Chirac : A Life ) නම් පොතෙනි.

peris3

දැන් ප්‍රංශ පාපන්දුව පැත්තට හැරෙමු. ක්‍රිකට් අතහැර මා පාපන්දු ලෝලයෙක් බවට පත් වූයේ ප්‍රංසයේ ක්‍රිකට් නැති නිසාම නොවේ. මගේ පුතුන් දෙදෙනාගේ ලෝකයට සමීප වීමේ මාර්ගයක් වශයෙනි. ප්‍රංශයේ හැදී වැඩෙන බොහෝ පිරිමි දරුවන් මෙන් ඔවුන්ගේ විවේක කාලය වැඩියෙන් වැය වන්නේ පාපන්දු සඳහාය. අයියා මලෝ දෙන්නා එකතු වුණු තැන කතා කෙරෙන්නේ මේ අපුරු ක්‍රීඩාව ගැනයි. පියා ලෙසින් ඔවුන්ගේ සංවාදයට එක වීමට නම් පාපන්දු ලෝකය ගැන දැන ගත යුතු යැයි මට සිතුණි. දැන් අපි තුන්දෙනා එකතු වන හැම තත්පරයක්ම ගත වන්නේ පාපන්දු වෙනුවෙනි. ගිය ඉරිදා ලෝක කුසලානය දිනා ගත් විට අපි පැරිස් වීදි බැස ගතිමු . වචනයෙන් විස්තර කල නොහැකි උද්දාමයකින් ඇලලී ප්‍රීති ගෝෂා පවත්වන දස දහසක් පැරිස් දනා අතරින් ඇවිද යන එක් මොහොතක සිතට දැනෙනා ආහ්ලාදය ඉවසා ගත නොහැකිව මගේ වැඩිමහලු පුතු කියූ කතාවක් අමතක නොවන ලෙසින් මනසේ ලැගුම් ගත්තේය. මව් බිමෙන් පිට වෙද්දී වෙන රටකට නොයා ප්‍රංශයට පැමිණීම ගැන ඔහු මට ස්තුතියි කළ විට එය ජිවිතයේ සොඳුරුතම මොහොත යැයි මට සිතුණි

යම් ක්‍රීඩාවකින් ජාත්‍යන්තරය ජය ගැනීමට නම් එය එම රටේ ජනතාවගේ සංස්කෘතියේ අංගයක් බවට පත් විය යුතු යැයි මම සිතමි. ක්‍රිකට් අපේ රටේ ජනතාවගේ දෛනික දිවියේ අංගයකි. එය සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇති නිසා අන්තර්ජාතික තලයේදී ක්‍රිකට් ජය ලබන්නට අපට හැකියාව ලැබී තිබේ. පාපන්දු යනු ප්‍රංස කාරයාගේ සංස්කෘතියේ වැදගත් කොටසකි. අනෙක් අතට ප්‍රංසයේ පාපන්දු යනු "Soft Power " නැමති සංකල්පය මත පදනම් වුවකි. මේ කියනා SOFT POWER යනු කුමක්ද...?

peris3

වර්ෂ 2004 දී Soft Power නම් පොත ලියමින් හාවඩ් සරසවියේ මහාචාර්ය Joseph S .Nye දිගු කාලයක් අප සමාජයේ පැවති , එහෙත් එතෙක් හඳුනා ගෙන නොසිටි සංකල්පයක් හඳුන්වා දුන්නේය. යම් රටක් තමන්ගේ ආර්ථික ,දේශපාලන හෝ යුධ බලය (Hard Power ) ඍජුව භාවිතා නොකර ලෝකය ජය ගැනීමේ කලාව Soft Power නමින් හඳුන්වයි. උදාහරණයක් ලෙසින් ඇමරිකානුවන්ගේ Mcdonald ගමු. මැක්ඩොනල්ඩ් ආපන ශාලා සඳහා ඇමරිකානු රජය ඍජුව මැදිහත් නොවෙයි. එහෙත් මැක්ඩොනල්ඩ් ලෝකය ජය ගෙන ඇති නිසාම ඇමරිකානු රජය එයින් ලබනා ලාභ කිර්ති බොහෝය. මා දන්නා අයුරින් Soft Power ඉතා බුද්ධිමත් ලෙස දේශයේ පැවැත්ම සඳහා යොදා ගන්නා රට ඉන්දියාවයි. ඉන්දියාවේ දේශීය වෛද්‍ය ක්‍රමය එනම් ආයුර්වේද වෙදකම් ලෝකය ජයගෙන තිබේ. ඔවුන්ගේ යෝග ව්‍යායාම් ලොව වටා යයි. ඉන්දියානු සූප ශාස්ත්‍රය ගැන ලොවම කතා කරනා අතර ඉන්දියානු අවන් හලක් නැති නගරයක් ලොව නැත. අනෙක් අතින් බොලිවුඩ් චිත්‍රපට ලෝකය පුරාම තිරගත වෙයි. මේ කිසිදු කරුණකදී ඉන්දිය රජය ඍජුව මැදිහත්වී කටයුතු කරන්නේ නැත. එහෙත් ඒවායින් ලබනා කිර්තිනාමය භුක්ති විදින්නේ රජයයි. ප්‍රංසයේ පාපන්දු ක්‍රීඩාවද මේ කියනා Soft Power හි වැදගත් ප්‍රතිථලයකි. ගිය ඉරිදා ප්‍රංස පිල ලෝක කුසලානය දිනා ගත් විට මුළු ලෝකයේම අවධානය ප්‍රන්සය දෙසට යොමු වුණා පමණක් නොවේ. මේ ජයග්‍රහණය නිසා අනාගතයේදී ප්‍රංස ආර්ථිකය සියයට තුනකින් ඉහල යන බවද පැවසේ. මේ ඉහල යාමට හෝ ජයග්‍රහණයට ප්‍රංශ රජය මැදිහත් වුයේ නැත. වැදගත්ම කරුණ වන්නේ ප්‍රංශ පාපන්දුව ට දේශපාලනය ඇතුල් නොවී තිබීමයි.

peris5

ප්‍රන්සයේ පාපන්දු පාලනය වන්නේ "ප්‍රංශ පාපන්දු පදනම" (Federation Francaise De Football :FFF ) මගිනි. ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පාලනය වුවත් සියයට සියයක්ම ස්වාධින ආයතනයක් වන මෙහි බලධාරීහු පත් වන්නේ සිව් වසරකට වරක් පැවැත්වෙන චන්ද විමසීමකිනි. ගෙවුණු වසරේ FFF භාණ්ඩාගාරයේ තැන්පත් වුණු මුදල යුරෝ මිලියන 225 ක වූ අතර අනුග්‍රාහකයන් (මිලියන 87) රුපවාහිනි ප්‍රචාරක අයිතියන් (මිලියන 52) සහ ප්‍රවේශ පත් වලින් (මිලියන 15.8) මේ මුදල ඔවුන් උපයා ගත්හ. ඔවුන්ගේ කාර්යයන් අතර පාපන්දු ක්‍රීඩාව නගා සිටුවීම මුල් තැන ගනියි. ක්‍රීඩා සමාජ වල යහ පැවැත්ම සොයා බැලීම සහ ජාතික කණ්ඩායමේ තරඟ සංවිධානය ද වෙයි. එමෙන්ම ජාතික කණ්ඩායමේ පුහුණුකරු තෝරා ගනු ලබන්නේද FFF විසිනි. වර්ෂ 1994 දී ප්‍රංස කණ්ඩායම ලෝක කුසලානය සඳහා සුදුසුකම් නොලැබූ මොහොතේ එවකට සිටි පුහුණුකරු ඉවත් කල පදනම එමේ ජැකේ නම් නව පුහුණුකරු පත් කළේය. තවත් සිව් වසරකින් ලෝක කුසලානය ප්‍රන්සයට රැගෙන එන බව කි එමේ ජැකේ තමන්ගේ කාර්යන්ට ඇඟිලි නොගසන මෙන් FFF වෙතින් ඉල්ලා සිටියේය. මේ අනුව ඔහු මුලින්ම කලේ එවකට කණ්ඩායමේ සිටි දක්ෂතම ක්‍රීඩකයන් දෙදෙනා වන Eric Cantona සහ Jean Pierre Papin ඉවත් කිරීමයි. සිව් වසරකින් ප්‍රන්සය මුල් වරට (1998) ලෝක කුසලානය දිනා ගත්තේය. එයින් දින කීපයකට පසු තමන්ගේ වගකීම නිම වූ බව කියමින් එමේ ජැකේ තනතුරින් ඉල්ලා අස් විය.

ගිය ඉරිදා කුසලානය දිනා ගත් ප්‍රන්සයේ පුහුණුකරු දිදියේ දෙචෝම් (Didier Deschamps) යනු එමේ ජැකේ යටතේ ක්‍රීඩා කල මැද පෙළ (Midfielder ) ක්‍රීඩකයෙකි. දශක දෙකකට පෙර 1998 වසරේ ලෝක කුසලාන ජයග්‍රහණ පිලේ නායකයා වූ ඔහු 2000 වසරේ යුරෝපා කුසලානය දිනා ගැනීමෙන් පසු ක්‍රීඩාවෙන් ඉවත් විය. දිදියේ ගැන ලෝකය දැන ගත්තේ අඩුවෙනි. ඔහු පුහුණුකරු බවට පත් වන්නේ සර්කෝසි ජනාධිපති තුමා කාලයේය. අනතුරුව වමේ හොලොන්ද් ජනපති අවධියේදී යුරෝ කුසලානයේ අවසන් තරඟයට කණ්ඩායම රැගෙන ආවේය. දැන් මක්රෝන් ජනපති සමයේදී ඔහු ලෝක කුසලානය දිනා සිටියි. දිදියේ දෙචෝම් කිසිවෙකුටත් යටත් නොවන මිනිසෙකි. නොනැමෙන කොන්දක් ඇති මිනිසෙකි . හොඳ නායකයෙකි. පැහැදිලි උදාහරණයක් දක්වන්නට කැමැත්තෙමි.

වත්මන් ප්‍රංශ පාපන්දු පිලේ සිටිනා අදක්ෂම ක්‍රීඩකයා ඔලිවියේ ජිරූ බව මගේ අදහසයි. මා එසේ කියන්නේ ඔහු කිසිදු ගෝලයක් වාර්තා නොකළ නිසාම පමණක් නොවේ. ඔහු අනෙකුන් මෙන් වේගවත් නැත. ඔහු අතින් ගිලිහී ගිය පන්දු වාර ගණන විශාලය. ක්‍රීඩා විචාරකයෝ පවා ජිරූ ප්‍රතික්ෂේප කරද්දී දිදියේ දෙචෝම් ඔහුව ඉවත් නොකළේ එකම හෙතුවක් නිසාවෙනි. ඉදිරිපෙළ (Avant -Centre /Forward Stiker ) ක්‍රීඩා කරන ජිරූ ගේ තැන ගැනීමට සුදුසු කම් ඇති ක්‍රීඩකයෙක් ප්‍රංශයේ නැත. සිටින එකම ක්‍රීඩකයා කරීම් බෙන්සේමා (Karim Benzema ) පමණි. ස්පාඤ්ඤයේ Real Madrid කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩා කරන කරීම් ලෝකයේ හොඳම ඉදිරිපෙළ ක්‍රීඩකයන් අතරේ මුල් තැන සිටිනා බව කිව යුතුය. එසේ නම් දිදියේ දෙචෝම් මේ ක්‍රීඩකයාව කණ්ඩායමට එක් කර නොගත්තේ ඇයි ..? මිට වසර කීපයකට පෙර තවත් ක්‍රීඩකයෙකු අතර ඇතිවුණු මතභේදාත්මක තත්වයක් නිසා බෙන්සේමා ඉවත් කිරීමට දිදියේ දෙචෝම් ගත්තේ තනි තීරණයකි. බෙන්සෙමා නොමැතිව ලෝක කුසලානය ජය ගත හැකිදැයි සියල්ලෝ ඇසුහ. මේ තීරණය දැඩි ලෙස විවේචනයට ලක් විය. එහෙත් දිදියේ දෙචෝම් තම තීරණය වෙනස් කළේ නැත. තමන් ගත් කිසිදු තීරණයක් සම්බන්ධයෙන් පාපන්දු පදනම හෝ අමාත්‍යාංශය හෝ වෙනත් කිසිදු රජයේ බලවතෙක් ප්‍රශ්න කළේ නැතැයි දිදියේ දෙචෝම් කියා සිටියේය.

peris6

තරඟාවලියට පෙර ජනාධිපති මක්රෝන් කණ්ඩායමේ ක්‍රීඩකයන් හමුවී දවසක් ගත කළේය. අවසාන තරඟයට පමණක් නොව කීප වතාවක්ම තරඟ නරඹන්නට රුසියාවට ගියේය. ජයග්‍රහණයෙන් පසුව උදම් ඇනුවේය. ක්‍රීඩකයන්ව ජනාධිපති මන්දිරයට ගෙන්වා සත්කාර කළේය. එහෙත් කිසිදු වතාවක ඔහු ගේ දේශපාලනය ක්‍රීඩාවට ඈඳුනේ නැත. සුදුසු පුද්ගලයෝ නිසි තැන් වලට පත් වුනු විට ඔවුන්ගේ කාර්යයන් සම්බන්ධයෙන් ඇඟිලි ගැසිය යුතු නොවේ. එසේ ඇඟිලි ගැසීම හෝ පීඩන එල්ල කිරීම ප්‍රංශ නීතියට අනුව දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. දිදියේ දෙචෝම් සහ කාර්ය මණ්ඩලය තමන් කරනා කාර්යය හොඳින් දන්නා පුද්ගලයන්ය. සියල්ල හොඳින් සිදුවන නිසා දේශපාලන ඇඟිලි ගැසීමක් උවමනා නොවේ.

ප්‍රංශ රජය ක්‍රීඩාවට උදව් කරයි. එහෙත් ඇඟිලි නොගසයි. සාහිත්‍යයට උදව් කරයි. ඇඟිලි නොගසයි. සිනමාවට උදව් කරයි. ඇඟිලි නොගසයි. මේ නිසා සියල්ල හොඳින් සිදු වෙයි.

මංජුල සේනාරත්න පැරිසියේ සිට(උපුටා ගැනීම ලංකා ඊ නිව්ස්)