Language Switcher

V2025

බේබිනෝනා පීරිස්ගේ කථාව

“මම මගේ ජිවිතේ මනුස්සයෙක්ට දරන්න බැරි තරන් වේදනා වින්දා. මගේ පුත්තු නැති වෙනවත් එක්කම මගේ ජිවිතේ සතුට නැති වුණා. උන් මගේ පුත්තු බලෙන් අරන් ගියා. මගේ පුත්තු වෙනුවෙන් අවසන් කටයුතු කරන්න බැරි තරමට මම අවාසනාවන්ත වුණා. මළ කඳක්වත් මන් දැක්කේ නෑ මගේ ඇස් දෙකට.

හැමදාම මන් බලන් ඉන්නේ මගේ රත්තරන් පුත්තු මාව බලන්න එයි කියල, මහත්තයෝ” - පෑලියගොඩගම බේබිනෝනා හැඬූ කඳුලින් පැවසීය.   

වයස අවුරුදු 84ක් වූ පෑලියගොඩගම බේබිනෝනා ‍ජ.වි.පෙ. කැරලි කෝලාහලවල වින්දිතයෙකි. ඇය ජීවත් වන්නේ මාතර අකුරැස්සේය. ඇයට පුතුන් තිදෙනෙක් හා දියණියන් සතර දෙනෙක් වූහ. සිද්ධිය වන අවස්ථාව වන විට පී.සී. සෝමසිරි (අවුරුදු 26) හා පී.සී. ආරියදාස (අවුරුදු 32) වූ වැඩිමහල් පුතුන් දෙදෙනා විවාහ වී සිටි අතර පී.සී. සිරිපාල (අවුරුදු 19) වූ බාල පුතණුවන් විවාහ වී නොසිටියේය.1988 දෙසැම්බර් 2 දින පිරිසක් විසින් ඔවුන් පැහැර ගන්නා ලද අතර ඔවුන් කිසි දින ආපසුු පැමිණයේ නැත. තමන්ගේ පුතුන් තිදෙනාම අතුරුදහන් වීමත් සමග බේබිනෝනා හට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු විය. එක් දිනක් තුළ ඇයට ඇයගේ පුතුන් සියළු දෙනාම (උපයන්නන්) අහිමි විය. ඉතිරි ගැහැණු දරුවන් සතර දෙනා හදා වඩා ගැනීමේ දී ඇයට ජීවිතයේ සැබෑ කටුක බව අත් විඳින්නට සිදු විය. 

“මගේ දූවරුන් පාසල් යවන්න මට කිසිම විධියක් තිබුණේ නෑ. මගේ පුත්තු තමයි නංගිලාගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කළේ. මගේ පුත්තු මට නැති වුණාට පස්සේ ඉගෙන ගන්න කැමැත්තක් තිබුණත් මගේ දූවරුන්ට සිද්ධ වුණා ඉගෙනීම නතර කරන්න” - බේබිනෝනා වැළපෙන්නීය.

පාසල් යවන්න කිසිඳු ක්‍රමයක් නොතිබූ බැවින් ගැහැණු දරුවන් සතර දෙනාහට පාසල් ගමනට නැවැතීමේ තිත තබන්නට සිදු විය. බේබිනෝනා කම්කරු රැකියාවක නිරත වූ අතර එයින් ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් ඉපයීමට ඇයට හැකියාවක් නොතිබුණි. ඇයගේ වයෝවෘද්ධ, ගිලුණු දෑස් වල පිරී තිබණු කඳුළු අතින් පිසදැමූ ඇය දීර්ඝ සුසුමක් හෙලන ලදී. 

යොවුන් වියේදීම තමන්ගේ ස්වාමි පුරුෂයන්ව බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම හේතුවෙන් වැඩිමහල් පුතුන් ‍දෙදෙනාගේ භාර්යාවන් දෙදෙනා දැඩි කම්පනයට පත් වී සිටි අතර ඔවුන්හට මුදල් ඉපයීමට කිසිඳු මාර්ගයක් නොවීය. මෙය බේබිනෝනාහට අමතර බරක් වු නමුත් සියළු කම්කටොළු මධ්‍යයේ වුව ඇය තම පුතුන්ගේ භාර්යාවන් ද රැක බලා ගත්තාය.  

තමන්ගේ වැඩිමහල් පුතුන් දෙදෙනාගේ භාර්යාවන්ට එක් අයෙකුහට රු. 50,000 බැගින් වන්දි මුදල් ලැබුණු බව බේබිනෝනා පැවසුවාය. ඇය කියා සිටියේ විවාහ නොවී සිටි තම බාල පුතණුවන් වෙනුවෙන් ඇයට ලැබුණේ රු. 25,000ක වන්දි මුදලක් පමණක් බවත් එය ඇයගේ විශාල පවුල සඳහා ප්‍රමාණවත් නොවූ බවත්ය. 

“මට ලැබුණේ රු. 25,000ක් විතරයි. මට මතක නෑ මට ඒ මුදල ලැබුණේ කවදාද කියලා. නමුත් මට එය ලැබුණේ සිද්ධිය වෙලා අවුරුදු ගාණකට පස්සෙයි. සිද්ධිය වූ වහාම මම ගොඩක් අසරණ වුණා. මගේ පුත්තු නැති වුණු වහාම යම් උපකාරයක්/වන්දියක් මට ලැබුණා නම් ‍ලොකු දෙයක්.මට වෙච්ච දේවල් දන්නේ මන් විතරයි”

තවද තමන්ට අහිමි වූ දරුවන් වෙනුවෙන් හානිපූර්ණයන් සිදු නොවුණු මව්වරුන් දහස් ගණනක් දකුණේ සිටින බවත් ඔවුන් තවමත් දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන බවත් ඇය පැහැදිලි කළාය. හානිපූර්ණය සඳහා වන කාර්යාලය ස්ථාපිත කිරීමට මුල පිරීම ඇය අගය කළාය. තමන්ට සිදු වූ පාඩුව සඳහා ප්‍රමාණවත් හානිපූර්ණයන් සිදු නොවුණු බව තමන් විශ්වාස කරන බැවින් හානිපූර්ණය සඳහා වන කාර්යාලය ඉක්මනින්, ඇයගේ කාලය නික්ම යාමට මත්තෙන් ස්ථාපිත කරන ලෙස ඇය ඉල්ලා සිටියාය. තමන්ට සිදු වූ පාඩුව සඳහා සැබවින්ම ඇයට හානිපූර්ණයක් අවශ්‍ය වන්නේ ඇයට මුදල් අවශ්‍ය නිසාම පමණක් නොව එය ඇයගේ අයිතිය වන බැවිණි. 

“හානිපූර්ණය යනු පවුල් දහස් ගණනකගේ දැඩි අවශ්‍යතාවයකි”

 Babynona 2

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found