Language Switcher

V2025

මෛත්‍රීපාලගේ බූරු සෙල්ලමේ මහින්ද ජෝකර්  වුණා  !

ගම්වල මළගෙයක් වුනා ම රෑ වෙනකොට, තරුණයෝ කැරම් ගහන්න පටන් ගන්නවා. සමහරු ඕමි ගහනවා. සමහරු 304 බලනවා. සමහර මළගෙවල්වල කාඩ් පැක් තුන හතර තියෙනවා. තවත් ටිකක් දෙගොඩහරිය වෙනකොට ගමේ ඉන්න කල්ලකඩත්තයෝ එකතු වෙලා, මළගෙදර පිහිටි ඉඩමේම ටිකක් ඈතට වෙන්න බූරු ගහන්න පටන් ගන්නවා.

බූරුවා ගහනකොට ගහන කට්ටියත් සමහර වෙලාවට පොඩ්ඩක් ගහල ඉන්නේ. සීල් නෙවේ සුදුවා තමා ගහන්නේ. මළගෙවල්වල බූරුවා ගහන එක, අවුරුදු දෙදහස් පන්සීයෙන් පන්සීයක් විතර ගහල තියෙන නිසා දැන් ඒක ලංකාවේ සංස්කෘතියේ ම කොටසක්. 

පහුගිය ඔක්තෝබර් 26 වෙනිදා සිකුරාදා රෑ දෙගොඩහරිය වෙන්නත් කළින්, හතට අටට විතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බූරුවා, ගහන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් ගම්වල බූරුවා ගහන්නේ මළගෙයක් වුනා ම වුනාට, මේ බූරුවා, ගැහුවේ මළගෙයක් නැතුව. ඇත්ත ම කියනවානම් මේ බූරුවා ගැහිල්ල නිසා - ජනාධිපතිගෙ බූරුවා ගැහිල්ල නිසා රට ම මළගෙයක් බවට පත් වුනා. නොන්ඩි ගගහ හරි තිබ්බ ජනතා පරමාධිපත්‍යය මිය ගියා. ඇයි ජනාධිපතිවරණෙදි ලක්ෂ 62 ක් ඡන්දේ ගත්ත එකා, ලක්ෂ 58 ක් ඡන්දේ ගත්ත තමන්ගේ ප්‍රතිවාදියව දේශපාලන රෙද්ද අස්සට දාගත්තා.  ලක්ෂ 62 කට පිදුරංගල පෙන්නුවා. 58 හිතුවට ෂෝක් කියල, උන්ටත් පිදුරංගල තමා. 58 අපේක්ෂකයා 62 ගාව දන ගැහුවා. දැන් බඩ ගානවා.  ජනතා පරමාධිපත්‍යයේ මළගම සිද්ද වුනා. මළගෙදර බූරු ගහනව වෙනුවට බූරුවා ගහල මළගේ හැදුව.

මේ බූරුවා ගැහිල්ල නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ - එහෙම එකක් ජෝක් වෙවී හරි තිබ්බනං ඒකෙත් මළගම සිද්ද වුනා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, තොග අවසන් කිරීමේ මහා සේල් බවට පත්වුනා.  මේ බලන්න සල්ලි ඔට්ටුවට බූරු ගහනවෝ කියල. කාඩ් කුට්ටමේ භාෂාවෙන් කියනවා නං කුජීතයි. මේ ජනාධිපති බූරු ගහන්නවත් හරියට දන්නේ නැහැ. අපි කියල දෙන්නන් ඕන නං කොහොමද බූරු ගහන්නේ කියල. අපිත් මළගෙවල්වල නයිට් ගහල තියෙනව. 

බූරු ගහනකොට ජෝකර් කොළ දෙක පැත්තකින් තියනවා. ඒවා ගන්නේ නැහැ.  ජෝකර් තමා මහින්ද. මහලොකු රජ්ජුරුවෝ කියල අතින් සල්ලි දීල සින්දු හදාගෙන ලොකුවට ඇඳගෙන හිටපු මහින්ද, මේ බූරුවා හින්ද නිකම්ම නිකම් ජෝකර් කෙනෙක් බව මුළු ලෝකයටම හෙළිදරව් වුනා. දෙපාරක් ජනාධිපති වෙලා බල ලෝභය ඉවසගන්න බැරුව කුරුනෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා, ඊට පස්සේ මල්ලි ජනාධිපති වෙයි කියල බයේ පුතාට චාන්ස් එක අරන් දෙන්න බූරුවා ගාව ජෝකර් වුනා. 

මේ සෙල්ලම නවත්තන්න ඕන. මේ බූරුවා ගැහිල්ල නවත්තන්න ඕන. දේශපාලන පක්ෂ වලට විවිධ න්‍යාය පත්‍ර තියෙනවා. ඒක අපට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි එක එක බූරුවෝ ගාව රැවටෙන කාලේ ඉවරයි. එක එක බූරුවන්ට කඩේ ගිය කාලේ ඉවරයි. ඒ ඒ දේශපාලන අනන්‍යතා තියාගමු. ඒක වෙන ම කතාවක්. ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්ටිය යට බූරු ගැහිල්ල නවත්තන්න ඕන. තවමත් හුස්ම ගන්න - පණ පිටින් ඉන්න කෝටි දෙකක් මිනිස්සුන්ව ඔට්ටු තියල බූරු ගහන එක - සූදු කෙළින එක නවත්තන්න ඕන. අවුරුදු පහෙන් පහට මුන් විශ්වාසය කඩනවා. කළු කුහරයක් වගේ අපි මේක ඇතුළට ම යනවා. මේ සෙල්ලම නවත්තන්න ඕන. ආලෝකයක් තියෙන දිහාට එන්න ඕන. අන්න ඒකට තමයි දිදුලන හදවත හැදුවේ. 

අපි කාගෙවත් වළිගයක් වෙන්නේ නැහැ. මෙතන ඉන්න හැමෝටම විවිධ දේශපාලන අදහස් තියෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් ඒ ඒ මට්ටමෙන් වැඩ කරනවා. ඒක වෙන ම කතාවක්. හැබැයි තම තමන්ගේ දේශපාලන අනන්‍යතාව තියාගෙන, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් සාධාරණය වෙනුවෙන් සමුහිකයක් විදිහට වැඩකරන්නේ කොහොමද කියල ප්‍රැක්ටිස් කරන්න අපි ලෑස්තියි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින - ජාතිවාදය ගෝත්‍රවාදය තුළින් මජර දේශපාලන සංස්කෘතියක් බදාගත්තේ නැති ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට අපි පක්ෂපාතියි. අපි ඉල්ලන්නේ මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනා එක්වෙන්න. එක් අරමුණකට එක් පෙරමුණකට එන්න. 
මතක තබාගන්න. කුමන්ත්‍රණය අවසන් නැහැ. මන්ත්‍රී වෙන්දේසිය අවසන් නැහැ. බූරු ගැහිල්ල අවසන් නැහැ. බූරු ගහනකොටත් රූල්ස් කියල ජාතියක් තියෙනවා. නීතියක් තියෙනවා. කොලයක් එහෙ මෙහෙ වුනොත් ගුටිකන්න වෙනවා, සමහරවිට පිහි ඇනුන් කන්න වෙනවා. අසංස්කෘතික ම සෙල්ලමක වුනත් නීතියක් තියෙනවා. හැබැයි මේ ව්‍යවස්ථා බූරු ගැහිල්ලට නීතියක් නැහැ. මේක ගහන්නේ අන්තිම කැත නින්දිත තුච්ඡ විදිහට. මේ සෙල්ලම අවසන් වෙනකම් දේශපාලන අර්බුදය අවසන් නැහැ. මේ දේශපාලන අර්බුදය අවසන් කරන්න නම්, නිශ්චිත එකඟතාවකට එන්න ඕනේ. අපි යෝජනා කරන මූලික එකඟතාව තමයි හදන්න පාර්ලිමේන්තුවේ භාරකාර ආණ්ඩුවක්. උවමනාව තියෙනවනම් ඒක අමාරු දෙයක් නෙවෙයි.

ඒ භාරකාර ආණ්ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. ඒ භාරකාර ආණ්ඩුවෙන් පැලැස්තර විසඳුම් වලට නොයා විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න. ඒ භාරකාර ආණ්ඩුවෙන් උතුරු දකුණු බටහිර කඳුරට භේදයකින් තොරව - ස්ත්‍රී පුරුෂ සංක්‍රාන්ති ලිංගික භේදයකින් තොරව පුරවැසි සමානාත්මතාව සහතික කරන්න. ඒ භාරකාර ආණ්ඩුවෙන් මේ දෙකයි පනහේ පක්ෂ මාරු ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි නීත්‍යනුකූලව අහෝසි කරන්න. ඒ භාරකාර ආණ්ඩුවෙන්, ජාතිවාදයට ආගම්වාදයට මුවා වෙලා අන්තවාදය පතුරවන එක තහනම් කරන්න. ඒ භාරකාර ආණ්ඩුවෙන් කොමිෂන් සභා ඇත්තට ම ස්වාධීන කරන්න. පොලිස් කෝලම් නවත්තන්න. ඒ විතරක් නෙවෙයි, ඒ භාරකාර ආණ්ඩුවෙන් ආර්ථිකයේ ගජමිතුරු සංග්‍රහ නවත්තන්න. අන්න ඒ වගේ ඓතිහාසික භාරකාර ආණ්ඩුවකට පුළුවන් ස්වභාවික හා සංස්කෘතික පරිසරය ආරක්ෂා කරන්න.

මේවා කරන්න බැරි දේවල් නෙවෙයි. කරන්න පුළුවන් දේවල්. උම්මත්තක ඔලුවකින් පුලුවන්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔට්ටුවට තියල බූරුවා ගහන්න, ඇයි බැරි දැනුවත් මිනිස් සමූහයකට සමාජය වෙනුවෙන් මේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ටික කරන්න. කරන්න බැරි නැහැ. කරන්න පුළුවන්. අවුරුද්දක ඕනනම් දෙකක භාරකාර ආණ්ඩුවක් හදලා.. ඒ ආණ්ඩුවේ නම භාරකාර වේවා පරිවාස වේවා.. වෙනත් අලුත් නමක් වේවා, එයින් මේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කරලා, අන්න ඊට පස්සේ නිදහස් හා සාධාරණ මැතිවරණයකට යන්න. තමතමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ඉස්සරහට දාල ඊට පස්සේ ඡන්දේ ඉල්ලගන්න. මුළින්ම මේ පොළොව හදල ඉන්න. ඊට පස්සේ ඕන පැළයක් - වල් පැල නෙවේ හොඳ පැල හිටවගන්න ජනතාවට අවස්ථාව දෙන්න. මිනිස්සුන්ගේ දේශපාලන විශ්වාසය බින්දුවට වැටුනම වමේ දකුණේ කාටවත් දේශපාලනය කරන්න වෙන්නේ නැහැ, නිකන් වඳ පීදෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා සාරවත් මහපොල්වක් හදමු. ඊට පස්සේ සරු බීජ වපුරමු. 

දිදුලන හදවත, සංවිධානයක් හැටියට පක්ෂ වලට කඩේ යන්න එන්නේ නැහැ. කරන හොඳ නරක ඔක්කොටම ඔලුව නමන කොන්ද නමන ස්ථාවරයකට අපි එන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු පක්ෂවලින් අපි ඉල්ලනවා ඔබේ පක්ෂයේ න්‍යාය පත්‍රය වසරකට පසෙක තබා පොදු න්‍යාය පත්‍රයකට ඇවිත් මේ පදනම හදන්න.අපි මුළු මහත් ලාංකේය ජනතාවට ආයාචනය කරනවා, එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපි මේ පුරවැසි අධිෂ්ඨානය තව තවත් පුළුල් කරමු. ශීලාචාර සමාජයක් හදන්න - යුක්තිගරුක සමාජයක් හදන්න - අපේ අයිතීන් එක්ක බූරු නොගහන සමාජයක් හදන්න - රාජ්‍ය ආයතන මාධ්‍ය ආයතන මැරයන් තක්කඩින් යකඩ හොරුන් විසින් පාලනය නොකරන සමාජයක් හදන්න - ඔබේ මන්ත්‍රීවරයා මහපාරේ පේමන්ට් එකේ විකිණෙන්නේ නැති සමාජයක් හදන්න - අන්ධකාරයට එරෙහිව ඔබේ දිදුලන හදවත රැගෙන එන්න ! අපට පුළුවන් මේ සමාජය වෙනස් කරන්න !!

විමල් කැටිපෙ ආරච්චි දිදුලන හදවත  - සංවිධානය