Language Switcher

V2025

ප්‍රේමදාස උඩුගම්පොළ අපදානය !

මීගමුවේදී සුරතල් බල්ලකු බූමිතෙල් වත්කොට පුලුස්සා මැරූ දිනයට කලින් දා හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ අවුරුදු 83ක් ආයු වළඳා, ගම්පහ පහළගමදී මියගියේය.

තරුණයන් මරා පුළුස්සා බල්ලන්ගේ හා කබරයන්ගේ අනුභවය පිණිස මාවත් අද්දර කඳු ගැසූ සමයක සාහසික රාජ්‍ය මර්දන පිළිවෙත් පුද්ගලයකු වශයෙන් මූර්තිමත් කළ උඩුගම්පොළ, එයින් තිස් අවුරුද්දකට පසු අගනුවර ප්‍රත්‍යන්තයේ සිංහල ගම්මානයක නිස්කලංකව ගෙවූ දිගු දිවිය, සන්සුන්ව හැරගිය බැව් කොළඹ පත්තර වාර්තා කර තිබිණ. ‘මිනීමරු උඩුගම්පොළ’ පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා පුරා දැන් ඇද වැටෙන විරෝධාකල්ප වැස්ස ඒ නිමිත්තෙනි.

1977 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත්වන විට පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් රැකියාව කළ උඩුගම්පොළ දශකයක් ඇතුළත නියෝජ්‍ය පොලිස්පතිවරයකු දක්වා ගමන් කිරීමේ වීර චාරිකාවට, දරමිටිපොළ රතනසාර භික්ෂුවගේ මූලිකත්වයෙන් කැඳවුණු 'පැවිදි හඬ' සංවිධානයේ විරෝධතා ප්‍රචණ්ඩ පොලිස් බලයෙන් මැඩලීමේ වික්‍රමයන් ද ඇතුළත් ය. දෙවැනි සිංහල තරුණ කැරළි සමයේ කලින් කල දකුණ, උතුරු මැද හා මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ක්‍රියාකළ හෙතෙම, කොළඹ විශේෂ මෙහෙයුම් බියුරෝවේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කළේය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට ආධාර කළ බවට සැක කළ ඕනෑම අයකු සමා විරහිතව හඹා ගොස් විනාශ කිරීමේ පිළිවෙත යට කී පළාත්වල නව පණක් ලැබුවේ උඩුගම්පොළගේ දායකත්වයෙනි.

1988 වසරේදී, දකුණු පළාත භාර හමුදා සම්බන්ධීකරණ නිලධාරියාව සිටි කර්නල් ලකී අල්ගම හා එක්ව ගෙනගිය නිර්දය කැරළි මර්දන සැලසුම් පිළිබඳ රාජ්‍ය ප්‍රධානීන්ගේ ප්‍රසාදය දිනූ හේ, පොලිස් අත් අඩංගුවේදී මරා දැමුණු ජවිපෙ නායකයකු වූ නීතීඥ විජේදාස ලියනාරච්චි ඝාතනයට දායකවීමේ චෝදනා එල්ලව තිබියදීම උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර යැවුණි. අනුරාධපුර දිස්ත්‍රික්කය රාජ්‍ය භීෂණයෙන් සසල කරමින්, එප්පාවල මීගස්වැව සුසාන භූමියේ තරුණ මිනී කඳු හමුවූ 1989 මාර්තු මාසය වනවිට උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කරමින් සිටි උඩුගම්පොළ, එප්පාවල සමූහ ඝාතන ‘කළු බළලුන්’ නමැති කණ්ඩායමක් විසින් කළ බවට රොයිටර් ප්‍රවෘත්ති සේවයට කියා සිටියේය. හමුදා - පොලිස් ඒකාබද්ධ මෙහෙයුමක් මගින් මැණික්හින්න, අරංගල, මහවත්ත හා කුණ්ඩසාලේ ගම්මාන වටලා දෙදිනක් තුළ අවම වශයෙන් ගම්වැසියන් 153දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කළ 1989 සැප්තැම්බරය වනවිට මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයේ ක්‍රියාකරමින් සිටියේ ද උඩුගම්පොළ ය. එයින් දෙසතියක් ඇවෑමෙන් පේරාදෙණිය සරසවිය හරහා දිවෙන ගළහ පාරේ අරුණාචලම් හා ජයතිලක නේවාසිකාගාර නුදුරේ අල්විස් පොකුණු බැම්ම වටා තරුණ හිස් 17ක් ප්‍රදර්ශනය කළ ඔක්තෝබරය වනවිටත් උඩුගම්පොළ මධ්‍යම පළාත භාරව සිටියේය. ඒ සියළු ඝාතන ‘මධ්‍යම කඳුකරයේ රාජාලියෝ’ නම් කණ්ඩායමක් විසින් කළ බව, කොළඹ යූපීඅයි වාර්තාකරු ඉක්බාල් අතාස් හා කියා තිබුණේ ද ඔහු විසිනි.

1992 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හා අමනාප වූ උඩුගම්පොළ, දකුණේ තරුණ ඝාතන කළේ කවුරුන්දැයි හෙළිකරන දිවුරුම් පෙත්සම් ආණ්ඩු විරෝධී විකල්ප පත්තරවලට යොමුකරමින් ලලිත් - ගාමිණී පෙරටු කොටගත් ප්‍රේමදාස විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ වේදිකාවට හයිඩ් පිටියේදී නැග්ගේය. ඒ දිවුරුම් ප්‍රකාශවල අඩංගු ඝාතන ලැයිස්තු කොටස් වශයෙන් පළකළ, හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමති ඇතුළත්මුදලිගේ නව පක්ෂයේ නිල ප්‍රකාශනය වූ ‘රාජාලියා’ පත්‍තරය පැය කිහිපයක් ඇතුළත විකිණී හමාර විය. ඝාතනයට ලක් වූ වැසියන් 1079කගේ නාම ලේඛණයක් අඩංගු ඒ දිවුරුම් ප්‍රකාශයන් මගින් රාජ්‍ය හමුදා හා පොලිස් බලඇණි අපරාධ චෝදනාවන්ගෙන් නිදොස් කොට, එහි වගකීම ‘කළු බළල්ලු’ නම් වූ ඝාතක කල්ලියකට පවරා අත සෝදාගත් ප්‍රේමදාස උඩුගම්පොළ, අවුරුද්දක් ඇවෑමෙන් සිය චෝදනා දෙවැනි දිවුරුම් පෙත්සමක් මගින් ඉල්ලා අස්කර ගත්තේය. ඩී බී විජේතුංගගේ ආණ්ඩුව විසින් ඔහු වරාය අධිකාරයේ උප සභාපතිවරයකු වශයෙන් පත්කරන ලද්දේ ඊට හිලව් වශයෙනි.

1994 ආණ්ඩු පෙරළිය ආසන්නයේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මැතිවරණ ව්‍යාපාරයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදෙස් සැපයීමට තමන් ක්‍රියාකළ බැව් 1999 වයඹ පළාත් සභා මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ වේදිකාවල කියා සිටි උඩුගම්පොළ, 2010දී සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයට විවෘත සහාය පළ කොට අවුරුද්දක් ඇවෑමෙන්, 2011 සැප්තැම්බරයේදී ආධාරකරුවන් 100 දෙනකු සමග ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයා හමු වී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහාය පළ කර සිටියේය.

1995 එක්සත් ජනපදයේ දේශපාලන රැකවරණ ලැබූ සිය බිරිඳ හා එහි පුරවැසියන් වන සිය දරුවන් හා එක්ව වසන්නට විසි වසරකට වැඩි කාලයක් තිස්සේ ප්‍රේමදාස උඩුගම්පොළ දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේ බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් ඔහුට එල්ලව ඇති චෝදනා මත අවම වශයෙන් වීසා අයැදුම්පත් තුනක් ප්‍රතික්ෂේප වීම හේතුවෙනි. ඒ සඳහා වූ අවසාන නීතිමය ප්‍රයත්නය ද 2014 සැප්තැම්බරයේදී ඇමරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් නිෂ්ප්‍රභා කරනු ලැබුණි.

දකුණේ දෙවැනි තරුණ සංහාරයට තිස් අවුරුද්දක් සම්පුර්ණ වන 2019 වසර දක්වා දකුණේ ප්‍රසිද්ධ දිවියක් ගෙවා, දේශපාලනිකව ද ක්‍රියාකාරීව සිටි ප්‍රේමදාස උඩුගම්පොළ හිටි හැටියේ දුෂ්ඨත්වයේ හා මෘගත්වයේ පුද්ගල ප්‍රතිමූර්තියක් සේ දැන් ගර්හාවට හා හෙළා දැකීම්වලට පාත්‍ර වෙමින් සිටියි. අනෙක් අතින්, 1988 ජූලි මාසයේ ගාල්ලේ උළුවිටියේ පිහිටි මුල් නිවසේ දී ඝාතනය වූ ඔහුගේ මව හා සමීප ඥාතීන් සිව් දෙනකුගේ මරණයන් ඔහුගේ කුප්‍රකට සාහසිකත්වයට තුඩු දුන්නේදැයි විමසා බැලෙන ෆේස්බුක් මනෝ විශ්ලේෂණයන් ද දැන් සම්පාදනය වෙමින් තිබේ. නමුත් උඩුගම්පොළ වැන්නෙකු විසින් යළි යළිත් මූර්තිමත් කළ අඩ සියවසක් පැරණි රාජ්‍ය අපරාධකාරීත්වය පිළිබඳ කේන්ද්‍රීය ගැටළුව කතා නොකිරීමට ඒ බොහෝදෙනා ප්‍රවේශම් වෙති. මධ්‍යම පළාත භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති උඩුගම්පොළ විසින් මහනුවර දිස්ත්‍රික්කය තුළ මුදාහළ සාහසික රාජ්‍ය ප්‍රචණ්ඩත්වයෙන් කම්පා වී ඔහුගේ මරණය පිළිබඳ කෝපය හා සතුට පළ කරන පිරිස්, 1989 මැයි 1 වැනිදා සිට මාතලේ දිස්ත්‍රික්කයේ හමුදා සම්බන්ධීකරණ කටයුතු භාරව සිටි ගජබා රෙජිමේන්තුවේ පළමු බල ඇණියේ අණදෙන නිලධාරී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කොට ඔහු ලවා කොළඹ ලස්සන කිරීමට කල්පනා කරන්නේ ඒ නිසා ය.

රාජ්‍ය භීෂණයෙන් සැසළුණු පළාත් තුනක් භාරව ක්‍රියාකොට විශ්‍රාමික සුව විඳ මිය ගිය ප්‍රේමදාස උඩුගම්පොළගේ අතීත සාහසිකත්වය ගැන හදිසියේ අවදිව දෙස් දෙවොල් තියනවුන්, උඩුගම්පොළ වනාහී අප හඹා ආ ‘නපුරු දෛවයක්’ සේ භාරගත්තෝ වෙති. ඒ සමයේදී අනුරාධපුර දිස්‍ත්‍රික්කය භාර හමුදා සම්බන්ධීකරණ නිලධාරියාව කටයුතු කළ මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකරට, බුද්ධංගල ආනන්ද නමින් ආරණ්‍යවාසී ශ්‍රමණ දිවියකට මගහසර සැලසී ඇත්තේ ද, මෑතක් වන තුරුම ත්‍රස්ත විමර්ශන ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ උප සභාපති ධුරයෙන් සම්මානිත වී ඇත්තේ ඒ දෛව තර්කයේම ආනුභාවයෙනි.

ඒ කවුරුත්  මගහැර යන අවලස්සන ඇත්තක් තිබේ. ඒ ඇත්ත මෙයයි: උඩුගම්පොළගේ මරණය විසින් යළිත් අනාවරණය කර ඇත්තේ පරපීඩක සාපරාධී ම්ලේච්ඡත්වය ව්‍යුහාත්මක අංග ලක්ෂණයක් කොටගත් රාජ්‍යයක ප්‍රචණ්ඩත්වය සමග සිංහල ජනයාට ඇති සම්මුති රහිත කෝපය නොවේ; තෝරා බේරාගත් රාජ්‍ය අපරාධකාරීත්වය සමග ඇති පරම රහස් සම්මුතියයි.

bashana abeywardane 2018රෝහිත භාෂණ අබේවර්ධන  

(මෙම ලිපිය 2019 ජනවාරි 06 වැනිදා 'අනිද්දා' පත්‍රයේ මුල්වරට පළවිය.)