Language Switcher

V2025

1981 සිට මාධ්‍යවේදීන් ඝාතනය කළ කිසිවෙකුට දඬුවම්දී නැහැ !

"අපි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කරලා දැනට අවුරදු 26ක් වෙනවා, එදා ඉඳලා අපේ සටන් පාඨයක් තමයි අපරාධවලට ගොදුරු වෙච්ච මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරන්න කියන එක, අවාසනාවට තාමත් එකදු අපරාධයකටවත් යුක්තිය හම්බ වෙලා නැහැ, කිසි ම කෙනෙකුට දඬුවම් කරලා නැහැ,"

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කාරිනිය සීතා රංජනී බීබීසි සිංහල සේවයට මේ බව පැවසුවේ, මාධ්‍යවේදීන්ට, ජනමාධ්‍ය ආයතන සහ මාධ්‍ය සේවකයන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවීම ගැන ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය සංවිධාන පැවැත්වූ තවත් විරෝධතාවකට සම්බන්ධ වීමෙන් අනතුරුවය.

මාධ්‍යවේදිනියක් සහ මාධ්‍ය හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක් වන සීතා රංජනී දැනට වසර 26කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කරන්නේ, එහි ආරම්භක සාමාජිකාවක ලෙසය.

අපරාධවලට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා වාර්ෂිකව "කළු ජනවාරිය" ලෙස විරෝධතා සංවිධනය කරනුයේ, ඝාතනයට ලක්වූ, පැහැර ගැනුණු සහ අතුරුදහන් කෙරුණු මාධ්‍යවේදීන් සිහිපත් කිරීමේ අරමුණෙනි.

ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යවලට සහ ජන මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ ප්‍රධාන අපරාධ රැසක් ම ජනවාරි මාසයේදී සිදුව තිබීම, එසේ නම් කිරීමට හේතු වී තිබේ.

111111111111111111111111

"තවත් අවුරුද්දක්, තවත් විරෝධතාවක්, හැබැයි මේ ජනමාධ්‍යවේදීන්ට වෙලා තියෙන කිසි ම අපරාධයකට වගකිව යුත්තන්ට කිසි ම දඬුවමක් හිමි වෙලා නැහැ"

"ජන මාධ්‍යවේදීන්ට මේ අපරාධ ප්‍රබල ලෙස සිදු වෙන්න පටන් ගත්තේ 1981 ඉඳලා, එහෙම බැලුව ම ඉතිහාසය ගොඩක් දිගයි, ඒ ඉතිහාසයේ අද දක්වා ම කිසිදු සිදුවීමකට නීතිය ක්‍රියාත්මක වෙලා දඬුවමක් දීලා නැහැ"

"මේ සිදුවීම්වලට ගොඩක් දායක වෙලා තියෙන්නේ ආරක්ෂක අංශ, ඒ නිසා දේශපාලන කැපවීමක් මේ සඳහා කිසිසේත් ම සිදු වෙන්නේ නැහැ, මොකද පවතින රජයන්වල යම් යම් සබඳතා මේවා අස්සේ තියෙනවා, ඒ නිසා තමයි මේ සිදුවීම්වලට විසඳුම් නැත්තේ" සීතා රන්ජනී කියා සිටියාය.

පසුගිය රජයේ මර්වින් සිල්වා ඇමතිවරයා ප්‍රසිද්ධියේ ජන මාධ්‍යවේදීන්ට පහරදීම්වලට සම්බන්ධ වීමත් ඔහුට එරෙහිව, එම රජය හෝ ඉන් පසු පැමිණි වත්මන් රජය ද නීතිය ක්‍රියාත්මක නොකිරීම මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන්ගේ ඇති උනන්දුවට නිදසුන් සපයන බව ඇය සඳහන් කළේය.

2000 වසරේ සිට 2015 වසර දක්වා මාධ්‍ය වෘත්තියේ යෙදීම නිසා, අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන්, සහ මාධ්‍ය ආයතන පිළිබඳ සිදුවීම් 30ක් තෝරාගෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පුළුල් අධ්‍යයනයක් සිදු කර තිබේ.

2222222222222222

2000 වසරේ සිට 2015 දක්වා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යවේදීන්ට හා ජන මාධ්‍ය ආයතනවලට සිදුවූ ප්‍රධාන සිදුවීම් ලෙස හඳුනාගෙන ඇත්තේ පහත සිදුවීම් 30යි.

මයිල්වාගනම් නිමලරාජන් - ඝාතනය 2000.10.19 - අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් අවසන්ව නැත.

රුෂාන්ගන් කෝඩිස්වරන් - පහරදීම 2002.08.08 - පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ප්‍රගතියක් නොමැත.

අයියාතුරෙයි ජී නඬේෂන් - ඝාතන 2004.05.01 - පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ප්‍රගතියක් නොමැත.

නන්දසාමි අයියර් - ඝාතන 2004.08.16 - පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ප්‍රගතියක් නොමැත.

ධර්මරත්නම් සිවරාම් - ඝාතන 2005.04.28 - අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් අවසන්ව නැත.

රේලන්ගී සෙල්වරාජා - ඝාතන 2005.08.12 - විමර්ශන නැවතී ඇත.

සුඩර් ඔලි පුවත් ආයතනය - බෝම්බ ප්‍රහාරය 2005.08.29 - පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ප්‍රගතියක් නොමැත.

සුබ්‍රමනියම් සුගීර්දරාජන් - ඝාතන 2006.01.24 - අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් අවසන්ව නැත.

සම්පත් ලක්මාල් ද සිල්වා - ඝාතන 2006.07.01 - විමර්ශන නැවතී ඇත.

සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් - අතුරුදහන් කිරීම 2007.02.15 - අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් අවසන්ව නැත.

සුභාෂ් චන්ද්‍රබෝස් - ඝාතන 2007.04.16 - විමර්ශන නැවතී ඇත.

සෙල්වරාසා රජිව්වර්මන් - ඝාතන 2007.04.29 - පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ප්‍රගතියක් නොමැත.

සහදේවන් නිලක්‍ෂන් - ඝාතන 2007.08.01 - පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ප්‍රගතියක් නොමැත.

ටී.එම්.ජී. චන්ද්‍රසේකර - පහරදීම 2007.12.27 - අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් අවසන්ව නැත.

ලාල් හේමන්ත මාවලගේ - පහරදීම 2008.01.25 - විමර්ශන සම්පූර්ණ වී තිබුණත් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන නැත.

කීත් නොයාර් - පැහැරගෙන යාම හා පහරදීම 2008.05.22 - අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් අවසන්ව නැත.

පරණිරූපසිංහම් දේවකුමාර් - ඝාතන 2008.05.28 - අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් අවසන්ව නැත.

නාමල් පෙරේරා - පහරදීම 2008.06.30 - අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් අවසන්ව නැත.

රදිකා දේවකුමාර් - පහරදීම 2008.09.08 - විමර්ශන නැවතී ඇත.

සිරස ආයතනය මැදිරි සංකීර්ණය විනාශ කිරීම 2009.01.06 - පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ප්‍රගතියක් නොමැත.

ලසන්ත වික්‍රමතුංග - ඝාතන 2009.01.08 - අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් අවසන්ව නැත.

උපාලි තෙන්නකෝන් - පහරදීම 2009.01.23 - අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් අවසන්ව නැත.

එන්. විද්‍යාදරන් - පැහැරගෙනයාම හා පහරදීම 2009.02.26 - අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් අවසන්ව නැත.

පෝද්දල ජයන්ත - පැහැරගෙනයාම හා පහරදීම 2009.06.01 - අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් අවසන්ව නැත.

ප්‍රගීත් එක්නැලිගොඩ - අතුරුදන් කිරීම 2010.01.24 - අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් අවසන්ව නැත.

සියත ආයතනය - පහරදීම 2010.07.30 - පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ප්‍රගතියක් නොමැත.

ලංකා ඊ නිවුස් ආයතනය - ගිනි තැබීම 2011.02.01 - පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ප්‍රගතියක් නොමැත.

ඥානසුන්දරම් කුගනාදන් - පහරදීම 2011.07.29 - පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ප්‍රගතියක් නොමැත.

උදයන් පුවත්පත් ආයතනය - ගිනි තැබීම/ප්‍රහාර 2006.05.02/ 2013.04.13 - පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ප්‍රගතියක් නොමැත.

මන්දනා ඉස්මයිල් - තර්ජනය කිරීම 2013.08.23 - විමර්ශන නැවතී ඇත

මෙම ප්‍රධාන සිදුවීම් ගැන සිදුවන පොලිස් පරීක්ෂණ පිළිබඳ අප්‍රසාදය පළ කරමින් මාධ්‍ය සංවිධාන එකමුතුව පසුගිය දා පොලිස් කොමිසම වෙත ලිපියක් භාර දී තිබිණි.

"2015 ජනාධිපතිවරණයේත් මහ මැතිවරණයේත් ප්‍රධාන සටන් පාඨය වුණේ, ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් කඩිනමින් සාධාරණයක් ඉටු කරන බව, නමුත් ගත වූ වසර හතර තුළ ඒ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා අපි තව ම දුටුවේ නැහැ. මේ සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ආණ්ඩුවට විටින්ව විට අපි කියා සිටියා. ඒ කිසිවකටත් ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූයේ නැහැ. එම නිසා මෙම අපරාධ පිළිබඳ පරීක්ෂණ කඩිනම් කිරීමට මැදිහත් වන ලෙස පොලිස් කොමිසමෙන් අපි ඉල්ලා සිටියා" ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

පොලිස් කොමිසම එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලබා දුන් බවත් පොලිස්පතිවරයාගෙන් මෙම සිදුවීම් ගැන සිදුවන පරීක්ෂණවල ප්‍රගතිය ගැන වාර්තාවක් කැඳවන බවත් කොමිසම මාධ්‍ය සංවිධාන දැනුවත් කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

3333333333

මේ අතර මානව හිමිකම් කොමිසම ද මාධ්‍යවේදීන්ගේ ඝාතන, අතුරුදන් වීම් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීමට සූදානම් බවට ප්‍රකාශ කළ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී. දොඩවත්ත පවසයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් භාර ‌‌දෙන ලද සංදේශයක් භාර ගනිමින් එහි සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම ඒ බව දැනුම් දුන් බව ඔහු පැවසුවේය.

පරීක්ෂණවල තත්ත්වය දිගින් දිගට ම විසඳුම් විරහිතව පැවැතීම, මානව හිමිකම් දිගින් දිගට ම උල්ලංඝණය වීමක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකන බව පැවසූ ඔහු ඒ අනුව මානව හිමිකම් කොමිසමට සන්දේශයක් භාර දුන් බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් ව්‍යාපාරය මානව හිමිකම් කොමිසමට භාර දුන් සිදුවීම් 30 සම්බන්ධයෙන් මේ වන තුරු කිසිවෙකුට එරෙහිව අධිකරණය මගින් දඩුවම් පැමිණ වීමක් සිදු කර නොමැති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මානව හිමිකම් කොමිසමට භාර දුන් සංදේශයේ සඳහන් වේ.

"යහපාලනයට වසර 4යි. ජනවාරිය තවමත් කළුයි"

444444444444444
නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යෑමට ඇති බාධා, අධිකරණ පද්ධතියේ ගැටලු හා ප්‍රමාදයන්, දේශපාලන කැපවීමක් නොමැති වීම, ආරක්‍ෂක හමුදා සහ අතුරු හමුදා සම්බන්ධකම්, මාධ්‍ය පාරිභොගිකයන්/සිවිල් සමාජය දණ්ඩ මුක්තිය වළක්වා යුක්තිය ඉටු කරවා ගැනීමට දක්වන දායකත්වය ප්‍රබල නොවීම, මාධ්‍ය ආයතන හිමිකාරිත්වය යුක්තිය වෙනුවෙන් ප්‍රමාණවත් මැදිහත් වීමක් නොකිරීම මෙම පරීක්ෂණ අඩපණ වීමට හේතු වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මතය වී තිබේ.

"යහපාලනයට වසර 4යි. ජනවාරිය තවමත් කළුයි" යන්න මෙවර මාධ්‍යවේදීන් සැමරීම සඳහා යොදාගෙන තිබූ සටන් පාඨයයි. මෙහි විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට පැවති එක් සැමරුම් උත්සවයක් සඳහා කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා එක්ව සිටියේය.

"ජනමාධ්‍යවේදීන් මරා දමන සංස්කෘතියට විරුද්ධවයි අලුත් රජය පිහිටෙව්වේ, හැබැයි උතුරේ හෝ දකුණේ නඩු පවරලා වරදකරුවන්ට දඬුවම් කරලා නැහැ, අපි රජයක් හැටියට ලජ්ජා වෙන්න ඕනේ මේ තත්ත්වය ගැන" අජිත් පී. පෙරේරා අමත්‍යවරයා කියා සිටියේය.

"ඒ ඝාතනවලට රටේ ප්‍රධාන ම පුද්ගලයන් සම්බන්ධ වුණා ම සාක්ෂි හොයන එක ලේසි නැහැ, නමුත් රජයේ ඇමතිවරයෙක් ලෙස මම ඉතා ම අසතුටින් ඉන්නේ මේ නඩු කටයුතු ප්‍රමාද වීම ගැන" ඔහු පැවසුවේය.

(බීබීසී)