Language Switcher

V2025

උදයංග - කුතුබ්දීන් - කේපී - මධුෂ් !

සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුන්වන මාකඳුරේ මධුෂ් නමැත්තා අත්අඩංගුවට ගැනීම සතියේ මාතෘකාවය. 

ඔහු සමග තවත් පිරිසක්ද අත්අඩංගුවට ගැනිණි. ලංකාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ රාජ්‍ය බුද්ධි අංශයේ තොරතුරු මත ඩුබායි පොලිසිය මගින් මේ මෙහෙයුම සිදු කර ඇත. දැන් සැකකරුවන් සිටින්නේ ඩුබායි රාජ්‍යයේ ආරක්ෂක අංශ භාරයේය.

වාසිය කාටද?

මේ වෙලාවේ මධුෂ් අත්අඩංගුවට ගැනීමේ වැඩි වාසියක් ආණ්ඩුවට තිබේ. ජාතික ආණ්ඩු යෝජනාවක් ඉදිරිපත් කොට තිබෙන්නේ ආණ්ඩුවය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඒ හරහා ඇමැතිකම් ප්‍රමාණය වැඩිකරගෙන, අයවැය ඡන්දය ඉලක්ක කරගනිමින් බෝනස් ඇමැතිකම් දීමටය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කරන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී වැඬේට මධුෂ් අත්අඩංගුවට ගැනීමෙන් කදිම රැකවරණයක් ලැබිණි. හැමෝම කතා කරන්නේ ඒ ගැනය. අනෙක් අතට මහින්ද රාජපක්ෂගේ පොඩි පුතා වන රෝහිත රාජපක්ෂගේ විවාහයත් සමඟ මහින්දගේ වටේට බල්බ් දමා සරසාගෙන තිබූ සිංහල-බෞද්ධ කඩතුරාව තැනින් තැන පළුදු විය. ඒ ගැන ජනතාව කතා කරන්නට පටන්ගත්තේ අද - ඊයේය. සමාජ මාධ්‍යවලින් එළියට ඒ කතාව යන්නට ටිකක් ප්‍රමාද විය. මධුෂ් නිසා ඒ කතාවත් යට ගියේය. ඒ කිව්වේ දේශපාලනයේ, බලය පවත්වාගැනීමේදී ඕනෑම තත්ත්වයක් තමන්ගේ වාසියට පාවිච්චි කිරීම ගැනය.

මාකඳුරේ මධුෂ්

මාකඳුරේ මධුෂ් නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුවා අත්අඩංගුවට ගැනීම වැදගත්ය. පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින්, ඔහු විදේශ රටක සිට මෙරට නීතිය සමග මෙන්ම තරුණයන්ගේ ජීවිත සමගද සෙල්ලම් කළේය. ඔහු එතැනට වැටුණේ ඇයි, ඔහුගෙන් වැඩ ගත්තේ කවුද, ඔහුට ආරක්ෂාව දුන්නේ කවුද යන කරුණු වෙනම කතා කළ යුතුය. උපදින විට කිසිවෙක් අපරාධකරුවකු වන්නේ නැත. කවුරු වෙන්නද කැමැති යනුවෙන් අසන විට කිසිවකු ‘මං අපරාධකරුවෙක් වෙනවා’ කියන්නේ නැත.

ඇමැති විරෝධය

දැන් තියෙන්නේ මධුෂ් ඇතුළු පිරිස ලංකාවට ගෙන්වාගැනීමේ මෙහෙයුමකි. ආණ්ඩුවේ ඇමැතිවරුන් අති බහුතරයක් ඒ වැඬේට විරුද්ධය. ඔවුන්ගේ කෝකටත් නැමෙන දිවෙන් කියන්නේ මෙසේය. ‘ලංකාවට ගෙනාවොත් මෙහෙ හිරේ ඉඳන් හොඳට බිස්නස් කරයි.’ ඒත් ඒ පිටුපස ඇති ඇත්ත කතාව වන්නේ මේ ඇමැතිවරුන් මෙන්ම හිටපු ඇමැතිවරුන්ද අති බහුතරයක් මධුෂ් ලවා වැඩ කරවාගෙන තිබීමයි. ඡන්ද කරන්නට මධුෂ්ගේ මුදල් ලබාගෙන තිබීමයි.

අපරාධකරුවන් රැකීම

ඒ අතරවාරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ අපරාධකරුවන් ආරක්ෂා කරන්නට මානව හිමිකම් පෙන්වමින් එන්න එපා, මාසයක් දෙකක් ඇතුළත කෙසේ හෝ එල්ලනවා කියා ය. මේ එල්ලුම් ගස් මානසිකත්වය හැදෙන්නේ කෙසේද යන්න සහ ඒ හරහා මෛත්‍රීපාල සිරිසේන උන්මත්තකයකු වන්නේ කෙසේද යන්න ගැන සති දෙකකට පෙර වෙනම ලීවෙමු. කෙසේ වෙතත් කප්පම් ගන්නට තරුණයන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න වැන්නන් ආරක්ෂා කරමින්, ඔහු වැන්නන්ට අධිචෝදනා භාරදීමට පවා බාධා කරමින් සිටින ජනාධිපතිවරයා මෙසේ පැවසීම බලය වෙනුවෙන් නටන තොවිලයක් මිස අන් කිසිවක් නොවේ. ආණ්ඩුවේ ඇතැම් ප්‍රධානීන් මෙන්ම ජනාධිපතිවරයාගේ නව උපදේශකයන් වී සිටින මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ පිරිස්ද මධුෂ්ලා ඩුබායි රටේම තියන්නට හැදුවද, ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇත්තේ තමන්ගේ නැති වූ ජනප්‍රියත්වය මධුෂ්ලාගේ කරපිටින් ගොස් හදාගන්නටය. ඔවුන් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන කතාකරන්නේ ජනතා සුබසිද්ධිය තකා නම් නොවේ, මහත්වරුනි.

උදයංග ආදර්ශය

මිග් යානා ගනුදෙනුවේදී සිදුකළ වංචා-දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රුසියාවේ හිටපු තානාපති, මහින්ද රාජපක්ෂගේ සමීප ඥාති උදයංග වීරතුංග ද මීට පෙර ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගැනිණි. ඔහුව ලංකාවට රැගෙන එන බවත්, දූෂිතයන්ට කිසිදු සමාවක් නැති බවත් ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීහු මාධ්‍යයට ප්‍රකාශ කළහ. ඒ වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු පළමු පංතියේ ප්‍රවේශපත්‍රවලින් ඩුබායි ගියහ. තරු හෝටල් වල නවාතැන් ගත්හ. රාජ්‍ය මාධ්‍යවල ප්‍රධාන පුවත වූයේ ‘උදයංග ලංකාවට - නීතිය අකුරට’ යන්නයි. එහෙත් අද වන තෙක් ලංකාවට ගෙනා උදයංග කෙනෙක් නැත. රටවල් අතර සැකකරුවන් හුවමාරු කිරීමට අදාළ උදර්පණ ලියවිලිවල අඩුපාඩු නිසා එසේ වූ බවක් මුලින් කියවිණි. එහෙත් පසුව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගේ පෞද්ගලික ලාච්චුවක තිබී ඒ ලියවිලි හමුවිය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා නීතිපති දෙපාර්තමේන්තුවට දොස් පැවරුවේ අදාළ ලියවිලි හරියට හැදුවේ නැත කියා ය. නීතිපති දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට චෝදනා කළේ ෆයිල් එක හැංගුවා කියා ය. කොහොම වුණත් දැන් උදයංග ගැන කතාවක්වත් නැත.

කුතුබ්දීන් කෝ ?

මේ විදිහටම ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගත් ලංකාවේ සිදුකළ දැවැන්තම බදු වංචාවේ ප්‍රධාන සැකකරු කාමිල් කුතුබ්දීන් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන්ද සාකච්ඡා රැසක් පැවැත්වූ බව මාධ්‍ය වාර්තා කළේය. එහෙත් ගෙනා කුතුබ්දීන් කෙනෙක් නැත. මේ බදු වංචාවේ කොටස් ප්‍රබල දේශපාලනඥයන්
රැසකටද ලැබී තිබීම ඊට හේතුව වන්නට ඇත. රටින් පිට සිටින කුතුබ්දීන් ඇතුළු අට දෙනකු මේ බදු වංචාවට වැරදිකරුවන් කරමින් කොළඹ මහාධිකරණයෙන් අවුරුදු විස්සක සිර දඬුවම්ද නියමකර ඇත. එහෙත් අදටත් ඉන්ටර්පෝල් වෙබ් අඩවියේ ලංකාවට අවශ්‍ය පුද්ගලයන්ගේ නාම ලේඛනයේ කුතුබ්දීන් කෙනෙක් නැත.

ඉන්ටර්පෝල්

ඉන්ටර්පෝල් හෙවත් අන්තර්ජාතික පොලිසියේ නිල නිවේදන නිකුත් කර ඇති මධුෂ් නම් සංවිධානාත්මක අපරාධකරු ලංකාවට ගෙන ඒමේ ක්‍රියාවලියක් ඇත. ඩුබායි පොලිසිය එරට අන්තර්ජාතික පොලිසියේ ශාඛාවට දැනුම් දීම, එම ශාඛාවෙන් අන්තර්ජාතික පොලිසියේ මූලස්ථානයට දැනුම්දීම, මූලස්ථානයෙන් ලංකාවේ පිහිටි අන්තර්ජාතික පොලිස් ශාඛාවට දැනුම් දීම හරහා මේ ක්‍රියාවලිය සිදුවිය යුතුය. මෙතෙක් එවැනි නිල දැනුම්දීමක් මෙරට අදාළ අංශවලට ලැබී නැත.

පොලිස්පති කෙරුවාව

එසේ තිබියදී පොලිසියේ ප්‍රධානියා වන පොලිස්පති පූජිත් ජයසුන්දර කියන්නේ මේ මෙහෙයුමට ඩුබායි පොලිසියේ සම්බන්ධයක් නැති බවත්, ඔහුගේ අධීක්ෂණය යටතේ මෙරට ආරක්ෂක අංශ ඒ වැඬේ කළ බවත්ය. මේ රාජ්‍ය තාන්ත්‍රික ගැටලු ඇති වන ප්‍රකාශයකි. විදේශ රටකදී අපේ පොලිසියට හිතූ මනාපයට මෙහෙයුම් කළ නොහැකිය. සීඅයිඒ සංවිධානය එවැනි මෙහෙයුම් සිදුකරයි. එහෙත් ඔවුහු කිසි විටෙකත් නිල වශයෙන් එවැන්නක් කළ බවක් පිළිගන්නේ නැත. අපේ පොලිස්පතිවරයා නොකළත්, එහෙම වැඩක් කළ බවක් නිල වශයෙන් පවසා තිබේ.

එවැනි මෙහෙයුමක් කිරීම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් බරපතළ වරදකි. රටක ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකි. පොලිස්පතිවරයාගේ කට ගැන අපේ රටේ ජනතාව නම් දන්නේය. එහෙත් ඩුබායිවලට මේ ලංකා පොලිසියේ පොලිස්පතිවරයාය. මේ එක්කෝ ලකුණු දා ගැනීමේ තරගයය. නැතහොත් හිතාමතා මධුෂ්ලා මෙරටට ගෙන ඒම අවුල් කිරීමේ සැලැස්මකට කළ ප්‍රකාශයකි. ඒ ජාතියේ සැලසුම් මේ රටේ ක්‍රියාත්මක වන්නේය.

දේශප්‍රේමී ගිවිසුම

ඩුබායි රාජ්‍යය සමග සැකකරුවන් හුවමාරු කිරීමට අදාළව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී උදර්පණ ගිවිසුමක් අත්සන් කර ඇත. එහෙත් එය අමුතුම ආකාරයේ ගිවිසුමකි. ඩුබායි රාජ්‍යයට අවශ්‍ය සැකකරුවන් ලබාදීමට ලංකාව බැඳී සිටියද, ගිවිසුමට අනුව ලංකාවට අවශ්‍ය සැකකරුවන් ලබාදීමට ඩුබායි රාජ්‍යය බැඳී නැත. මේ දේශප්‍රේමී මහත්තුරුන්ගේ ගිවිසුම්වල තරමය.

ඩුබායි අපරාධ

ඩුබායි රට තුළදී වරදක් සිදුකර ඇත්නම්, ඔවුන් ඊට දඬුවම් දීමෙන් පසු අදාළ රටට භාරදීමේ ක්‍රමය අනුගමනය කරයි. මෙහිදී මධුෂ් ඇතුළු පිරිස සමග මත්කුඩුද අත්අඩංගුවට ගෙන ඇත. ලංකාවේ මත්කුඩු ජාවාරම්කරුවන්ට ඇප ලැබුණද, ඩුබායිවල නීති දරුණුය. සෞදියේදී මරණ දඬුවම ලබාදීම දක්වාම එය පුළුල්ය. ඔවුන්ට මේ වන විට අවශ්‍යව ඇත්තේ මධුෂ්ලා හරහා එරට ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය මාෆියාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමටය. කෙසේ වෙතත් මධුෂ්ලා මෙරටට ගෙන ඒම සඳහා පුළුල් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් අවශ්‍යය. පෙර උදාහරණවලට අනුව නම් එවැනි මෙහෙයුමක් ලංකාවේ පාර්ශ්වයෙන් සිදු වෙතැයි අනුමාන කළ නොහැකිය. අනෙක් අතට ආණ්ඩුවේ ලොක්කන්ගේ රෙදි ගැලවෙන නිසා තමන්ගේ කුලීකරුවන්ගේ කටවල් සදහටම වසන්නට ඔවුන්ද එක පයින් කටයුතු කරන්නේය.

කේපීට දුන් ආදරය

අනෙක් අතට තවත් කාරණයක් තිබේ. එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන් හෙවත් කේපී විදේශයකදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනාවේය. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් අත්සන් කරන ලද රඳවා තබාගැනීමේ නියෝග මත ඔහු වසර දෙකක් පමණ විවිධ ස්ථානවල සැපට සිටියේය. ගෝඨාභය රාජපක්ෂ රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කළේද යන්නද ගැටලුවකි. මාධ්‍යයට කිව්වේ එහෙමය. කිසිදු අධිකරණයකට ඔහු ඉදිරිපත් කළේ නැත. මාධ්‍ය වලින් ඔහු අත්අඩංගුවට ගත් වෙලාවේ ලබාදුන් දැවැන්ත ප්‍රචාරණයෙන් ඔද වැඩුණු ජනතාවටද එය අමතක විය. දැන් කේපී නිදහසේ කිලිනොච්චියේ තමන්ගේ වැඩක් කරගෙන සිටී. ඔහු සිදුකළ කලාපයේ ආයුධ ජාවාරමට සහ එල්ටීටීඊය විසින් ඔහුගේ නමට ලබාගෙන තිබූ දේපොළවලට සිදු වූ දෙයක් නැත. මධුෂ්ගේ ජාවාරම් සහ දේපොළ ගැන අදහසක් ඔබට ඇත. එපමණකි.

 ශාලික විමලසේන 

(ලංකා ඉරිදා සංග්‍රහය)