Language Switcher

V2025

ලේ වැගිරීමකින් තොරව නාවික හමුදාවෙන් දූපත අත්පත් කර ගත් ඉරණතීව් වැසියෝ !

නාවික හමුදාව යටතේ තිබූ දූපතක් යළි අත්පත් කර ගැනීම සඳහා ධීවර බෝට්ටු 40කින් සමන්විත පිරිසක් පසුගිය වසරේදී උතුරු ප්‍රදේශයේ සිට යාත්‍රා කළහ. එම පිරිස ලේ වැගිරීමකින් තොරව සිදු කළ එම අපූරු මෙහෙයුම පිළිබඳව බීබීසී පුවත් සේවයේ අයේෂා පෙරේරා ගෙන එන වාර්තාවකි, මේ.

අප්‍රේල් 23 වන දා, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටි 'ඉරණමාතා නගර්' නමැති ගම්මානය ආසන්නයේ වෙරළ තීරයේ සිට නරඹන්නෙකුට අසාමාන්‍ය දර්ශනයක් දැක ගත හැකි විය. ඔවුන්ට දැක ගන්නට ලැබුණේ, කුඩා මෝටර් බෝට්ටු මත නැගුණු සුදු කොඩි රැගත් කතෝලික දේවගැතිවරුන්, කාන්තාවන්, ධීවරයින්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසක් ඉරණතීව් දූපත කරා ඇදෙන ආකාරයයි.

ඔවුන්ගේ මෙහෙයුම වූයේ, වසර 25ක් තිස්සේ ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ පැවති පරම්පරා ගණනාවකට නිවහන වූ දූපත යළි අත්පත් කර ගැනීමයි.

ඉරණතීව් දූපත, පෙරියතීව් සහ සින්නතීව් යන තවත් දූපත් දෙකක එකතුවෙන් සැකසී තිබේ. එය ඉන්දියාවේ දක්ෂිණ තුඩුවත් ශ්‍රී ලංකාවේ උතුරත් අතර පිහිටි මන්නාරම් බොක්ක මුහුදු කලාපයේ පිහිටා තිබේ.

එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පාරාදීසයකි.

එහි නිලට හුරු ඉතා පැහැදිලි ජලය තුළ පිහිනා යන මත්ස්‍යයින් පියවි ඇසෙන් දැකිය හැකිය. සුළඟට පැද්දෙන පොල් රුප්පාවෙන් සමන්විත කිළිටි නොවූ වෙරළ මත පසැඟිල්ලන් දැකිය හැකිය. කිලෝ මීටර් භාගයක් පමණ දුරට දණහිස තෙක් ජලය නොගෑවෙන පරිදි ඇවිද යා හැකි තරම් එහි ජලය නොගැඹුරුය, නිශ්චලය..... එහි දක්නට ඇත්තේ, අසාමාන්‍ය සුන්දරත්වයකි.

1 l

ඉරණතීව් ජනතාව පවසන්නේ, ඔවුන් 1992 වසරේදී අවතැන් වූ බවය. ඒ, රජයේ හමුදා සහ එල් ටී ටී ඊ ය අතර සිවිල් යුද්ධය පැවති සමයේ කඳවුරක් ඉදි කිරීම සඳහා එම දූපත නාවික හමුදාව අත්පත් කර ගැනීම හේතුවෙනි.

දෙමළ වැසියන් වන ගම් වැසියන් පවසන්නේ, යාපනය සහ මන්නාරම නගර අතර පිහිටි ඉරණමාතා නගර්හි තමන්ව බලහත්කාරයෙන් පදිංචි කළ බවය. තමන්ට සිය නිවාස පිහිටි දූපත වෙත ආපසු යාමට ඉඩ ලබා නොදුන් බව ඔවුහු පවසති. එහෙත්, නාවික හමුදාව එය ප්‍රතික්ෂේප කරයි.

දූපත කරා යාත්‍රා කළ බෝට්ටු මත සිටි බහුතරයක් කාන්තාවෝ වූහ. ඔවුන් බීබීසී පුවත් සේවයට පැවසුවේ, සන්නද්ධ නාවික නිලධාරීන් අභිමුඛයට යාම ගැන සිතූ විට "බියක් හට ගත්" බවය. කෙසේ වෙතත්, කුමක් සිදු වුවත් එය කිරීමට ඔවුන් අධිෂ්ඨාන කරගෙන තිබිණි.

"නාවික හමුදාවේ යාත්‍රා සහ අපේ කුඩා බෝට්ටු මුහුණට මුහුණ හමු වීමෙන් ලැබෙන දර්ශන හරහා ප්‍රජාව මුහුණ දෙන අරගලය ගැන අවධානයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වුණා," එම මෙහෙයුමට එක්ව සිටි දේවගැතිවරුන් අතර වූ ජෙයබාලන් පියතුමා පැවසීය.

එහෙත්, ඔවුන් මවිතයට පත් කරමින් එදින කිසිදු උණුසුම් තත්ත්වයක් ඇති නොවිණි.

2l

සාමාන්‍යයෙන් දූපත අසල නැන්ගුරම් ලා තිබෙන ජංගම මුර යාත්‍රාව ගැඹුරු මුහුදු කලාපයට යාත්‍රා කර තිබිණි. එමෙන් ම, වෙනත් කිසිදු නාවික යාත්‍රාවක් ද දක්නට නොවීය. සිය බෝට්ටු දූපතට ගොඩ බැස්වීමටත් වෙරළ තීරයේ ඒ මේ අත ඇවිද යාමටත් ඔවුන්ට හැකි විය.

"අපි ඇඬුවා, වෙරළ ඉම්බා. අපි අයෙත් වතාවක් අපේ ගෙදරට ආවා. ආපහු නම් යන්නේ නෑ," එම ප්‍රජාවගේ නායකයා ලෙස සැලකෙන ෂාමින් බොනිවාස් පැවසීය.

දූපත් වැසියන් පිරිස යාච්ඤා කිරීම සඳහා, ගරා වැටුණු දේවස්ථානයේ සුන්බුන් මතට පිය නැගූහ.

ඔවුන් දූපතට පැමිණීමෙන් පසුව නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු එහි පැමිණි බව ජනතාව පැවසූහ. ඔවුන් එම නිලධාරීන්ට දැනුම් දී තිබුණේ, තමන් ආපසු සිය දූපතට පැමිණි බවත් එහි පදිංචි වන බවත්ය. සියලු දූපත් වාසීන්ගේ ඉඩම් ඔප්පු සුරක්ෂිතව තබාගෙන සිටි පාසල් ගුරුවරයෙකු නිලධාරීන් වෙත ඒවා ඉදිරිපත් කර තිබිණි.

ජෙයබාලන් පියතුමා පැවසුවේ, අදාළ නිලධාරීන් සමග කළ සාකච්ඡාවකින් අනතුරුව ඉඩම් ඔප්පු සහිත පුද්ගලයින්ට එම රාත්‍රිය දූපතේ ගත කිරීමට අවසර දුන් බවය. සෙසු පුද්ගලයින් සවස් වරුවේ පිටත් කර තිබිණි. දූපතේ රැඳී සිටි පිරිස ඔවුන්ගේ නිවාස වෙත යමින් පොල් සහ පලතුරු කඩමින් ඉබාගාතේ ඇවිද යමින් දවස ගත කළහ.

සමහරෙක් දූපත වටා ඇති නොගැඹුරු මුහුදේ සැරිසැරුවේ, පහසුවෙන් මාළු සහ චීනය ඇතුළු රටවල අධික ඉල්ලුමක් පවතින අගනා මුහුදු කූඩැල්ලන් සොයා ගත හැකි හෙයිනි.

ඇතැම් දූපත් වැසියෝ වසර ගණනාවකට පෙර අත් හැරීමට සිදුවූ සිය ගවයින් යළි අල්ලා ගැනීමට උත්සහ කළහ. එහෙත්, ඔවුන් ආපසු පැමිණියේ දුවමිනි. එම ගවයින් මේ වන විට කැළයට හුරු වී සිටි හෙයින් සිය ස්වාමියන්ට අවනත වීම ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් මෙල්ල කිරීමට ගත් උත්සහයන් ව්‍යර්ථ වී තිබිණි.

3l

මසකට පමණ පසු, එහි ගිය රජයේ නිලධාරීන් තීරණය කර තිබුණේ, ඉඩම් ඔප්පු නොමැති පුද්ගලයින් ද ඇතුළු අදාළ දූපතේ වාසය කළ පවුල් 400ට ම එහි රැඳී සිටීමට අවසර දීමටය. එය අනපේක්ෂිත මෙන් ම හෘදයාංගම ජයග්‍රහණයක් විය. එහෙත්, දේශීය මාධ්‍ය කිහිපයක සුළු වශයෙන් පළ කළ වාර්තාවක් හැරුණු විට එම සිද්ධියට වැඩි අවධානයක් යොමු නොවිණි.

තම වාස භූමිය යළිත් ලැබීම එම ජනතාවට තවමත් ඇදහිය නොහැකි සත්‍යයකි. තමන්ට දූපතට පිවිසීමට ඉඩ දී එහි රැඳී සිටීමට අවස්ථාව ලබා දුන්නේ ඇයි ද යන්න පැහැදිලි කර ගැනීමට ද ඔවුන් අපොහොසත්ය.

ශ්‍රී ලංකා නාවික හමුදාව අවධාරණය කළේ, නාවික හමුදා කඳවුර ඉදි කිරීමෙන් පසුව ජනතාව ඉරණතීව් දූපතේ වාසය කිරීම ගැන කිසිදු විරෝධයක් තමන් පළ නොකළ බවය.

"එල් ටී ටී ඊ ප්‍රශ්න සහ වාසයට නුසුදුසු තත්ත්වයන් නිසා" දූපත හැර යාමට ජනතාව ම තීරණය කර තිබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර බීබීසී පුවත් සේවයට පැවසීය.

එහෙත්, ප්‍රජා නායකයින් පවසන්නේ, එය අසත්‍යයක් බවය.

රජයේ නිලධාරීන්ගෙන් කළ ඉල්ලීම්, පෙත්සම් මෙන් ම වසරක පමණ කාලයක් පැවැත්වූ සාමකාමී විරෝධතා ද නොසලකමින් ඔවුන් තමන්ට දූපතේ රැඳී සිටීමට ඉඩ නොදුන් බව ජනතාව පවසයි.

බීබීසී පුවත් සේවය දුටු ලියකියවිලි අනුව, උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී විග්නේස්වරන් සහ ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලයේ ප්‍රධානී පෝල් ගොඩ්ෆ්‍රි විසින් අදාළ දූපත් වාසීන්ට යළි පදිංචි වීමට ඉඩ ලබා දෙන ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලීම් කර ඇති බව පෙනී යයි.

4

ඉරණතීව් දූපතේ යළි පදිංචි වී මාස 10ක් ඉක්ම ගොස් තිබියදී, ඔවුන් සිය ජීවිත යළි ගොඩ නගා ගැනීමට කරන අරගලය පැහැදිලිව දැක ගත හැකිය.

ගරා වැටුණු නිවාසවල කොන්ක්‍රීට් තට්ටුවලට යාබදව තාවකාලික අතු පැල් සාදා තිබේ. කැඩී ගිය මාළු දැල් වේළීමට තබා තිබේ. එමෙන් ම, විවෘත දර ලිප් මත ජනතාව කෑම පිසිති.

නවීනත්වය කියාපාන එක ම සලකුණ වන්නේ, ජංගම දුරකතනයි. ඒවායෙහි බැටරි විද්‍යුත් ආරෝපණය කරනුයේ, ධානපතියෙකු ලබා දුන් සූර්ය බලයෙන් ක්‍රියාත්මක බැටරිවලින් ලබා ගන්නා විදුලි බලයෙනි.

කෙසේ වෙතත්, සංවර්ධනයේ සලකුණු ද එහි දක්නට තිබේ. පැරණි ළිං පවිත්‍ර කර තිබේ, කුඩා අඩි පාරවල ඝනව වැඩී තිබුණු පඳුරු ඉවත් කර පුළුල් කර තිබේ, ධීවර වෘත්තියට අමතරව සිය ආදායම් වෙනුවෙන් එළවළු වගා කිරීම ආරම්භ කර තිබේ. බීබීසී කණ්ඩායම එහි යන විට ජනතාව සින්නතීව් දූපතේ පිහිටි දේවස්ථානය පිළිසකර කරමින් සිටියහ.

දූපතේ පිහිටි අත්හැර දමන ලද පාසල පිළිසකර කර නොමැති හෙයින් ළමුන්ට පාසල් යාමක් නැත.

දූපත් වාසීන් පවසන්නේ, යළි පදිංචි වූ පසු ගැටලු පැවතිය ද, සිය ජීවිත යහපත් අතරට හැරෙමින් පවතින බවය.

5

ප්‍රජා ධීවර සමිතියේ ප්‍රධානී දෝරාස් ප්‍රදීපන් පවසන්නේ, දූපත ආසන්නයේ ඉතා හොඳ මාළු අස්වැන්නක් පවතින බවය. ඒ හේතුවෙන්, ඔවුන්ට ධීවර කටයුතු වෙනුවෙන් ඉන්ධන භාවිත කිරීම අඩු වී තිබේ.

පාකියම් කානික්කායි නමැති තවත් කාන්තාවක පැවසුවේ, ඉරණතීව් දූපතට පැමිණ මාස දෙකක කාලයකදී මාළුන්, කකුළුවන් සහ මුහුදු කූඩැල්ලන් අලෙවි කිරීමෙන් රුපියල් 70000ක මුදලක් උපයා ගැනීමට හැකි වූ බවය.

දූපත් වැසියන් එක් පැත්තක සිටියදී නාවික හමුදාව තවත් පැත්තක සිටින අතර, නාවික හමුදාව පවසන්නේ, එහි කඳවුර පවත්වාගෙන යාම "ජාතික අවශ්‍යතාවක්" බවය. ජාවාරම්කරුවන් සහ ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණීම වැළැක්වීම සඳහා ඉරණතීව් දූපත වැදගත් ස්ථානයක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

නාවික හමුදාව සහ දූපත් වාසීහු මේ වන විට සාමකාමීව එකට වාසය කරති. දූපත් වැසියන් නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා ක්‍රියාකාරී ලෙස සහය දෙන්නේ නාවික හමුදා සාමාජිකයින්ය.

මේ වන විට නාවික හමුදාව විසින් පෙරියතීව් දූපතේ දේවස්ථානය ඉදි කර තිබේ. ඊට අමතරව, පානීය ජලය සපයා ඇති අතර, මාර්ග ඇතුළු යටිතල පහසුකම් ඉදි කරමින් සිටී.

දූපත් වාසීන් පැවසුවේ, නාවික නිලධාරීන් තමන්ට අවශ්‍ය උපකරණ සහ අමතර කොටස් ලබා දෙන බවය.

ඉරණතීව් වැසියන් සිය ජීවිත ගොඩ නගා ගැනීමට සමත් වෙමින් සිටිය ද, සිය ඉඩම් නැවත ලබා ගැනීමේ අරගලය තවමත් නිම වී නැත.

6

2009 වසරේදී එල් ටී ටී ඊ සංවිධානය පරාජය කර වසර 10කට ආසන්න කාලයක් ගත වී තිබේ. එහෙත්, ගැටුම් පැවති ප්‍රදේශවල පිහිටි පෞද්ගලික ඉඩම් අක්කර 4241ක් තවමත් හමුදාව අත්පත් කරගෙන සිටින බව ශ්‍රී ලංකාවේ සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය පවසයි.

ආරක්ෂක හමුදා පවසන්නේ, ආරක්ෂක සහ උපාය මාර්ගික වැදගත්කම හේතුවෙන් ඉන් ඉවත් වීම අපහසු බවය.

මේ සම්බන්ධයෙන්, මුලතිවුහි යුද්ධ හමුදා කඳවුරක් ඉදිරිපිට දින 700ක් පුරා විරෝධතා පවතින අතර තවත් සිවිල් විරෝධතා රැසක් තවමත් ක්‍රියාත්මක වේ.

ඉරණතීව් වැසියන් ගත් සාර්ථක නිර්භය ක්‍රියාමාර්ගය, හමුදාව අත්පත් කර ගැනීම හේතුවෙන් අවතැන් වූ ජනතාවට ආදර්ශයක් වේවි ද?

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රුකී ප්‍රනාන්දු පවසන්නේ, සන්දර්භය සහ ඊට සම්බන්ධ වන ප්‍රජාව මත ක්‍රියාව තීරණය වන බවය.

"දේශපාලකයින්, නිලධාරීන් සහ වෙනත් ආයතන සාධාරණය ඉටු කරන්නේ නැත්නම්, විරෝධතා, පැමිණිලි, ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ඉරණතීව් වැසියන් කළ ආකාරයට ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රියාමාර්ගයකින් සිය අයිතිවාසිකම් ලබා ගැනීමට ජනතාවට අයිතියක් තියෙනවා," ඔහු පැවසීය.

ඉරණතීව් දූපත මත ඇත්තේ, ආරම්භයක් පමණි. වැසියන් පවසන්නේ, දූපත තවදුරටත් දියුණු කිරීම සඳහා රජයෙන් සැලකිය යුතු අනුග්‍රහයක් අවශ්‍ය බවය. ඉරණමට නගර් සිට දූපත දක්වා පාලම් පාරුවක් ලබා දීමට රජය පොරොන්දු වී තිබේ. එහෙත්, සිය නිවාස, පාසල සහ මාර්ග පිළිසකර කර ගැනීමට ජනතාවට අවශ්‍යය. තරුණ ප්‍රජාවට එම දූපතේ ජීවත් වීමේ සිහිනයක් පවතී.

"ඔව් අපි ඔක්කොම මෙහෙට ආපහු එනවා. අපේ මුතුන් මිත්තන් හිටියේ මේ දූපතේ. අපි හැමෝගෙ ම හීනය තමයි මේ දූපතේ ම මිය යන එක," බොනිවාස් පැවසීය.

(බීබීසී)