Language Switcher

V2025

රතු සහ හරිත පැහැය මුසු විය යුත්තේ ඇයි ?

ගතවූ වසර හතරක කාලය ලෝකයේ මෙතෙක් වාර්තාගත වඩාත්ම උණුසුම් වසර කිහිපයයි. මෙසේ පවසන්නේ ලෝක කාලගුණ විද්‍යාත්මක සංවිධානය World Meteorological Organization (WMO) විසින් මේ මසදී නිකුත් කරන ලද විග්‍රහයකි. (සම්පූර්ණ වාර්තාව ලබන මසදී එළි දැක්වෙනු ඇත). ඒ අනුව, 2018 වසර වන විට ලෝකයේ සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය පූර්ව-කාර්මික යුගයේදී පැවතියාට වඩා සෙල්සියස් අංශක එකකින් ඉහළ ගොස් තිබේ.

කෙසේ වුවද, වඩා වැදගත් වන්නේ තනි තනි වර්ෂවල වාර්තා නොව ගෝලීය දිගුකාලීන උෂ්ණත්ව රටා කෙබඳුද යන්නයි. ඒ අනුව ගත්තද, ලෝකයේ මෙතෙක් වාර්තාගත වඩාත්ම උණුසුම් වසර විස්ස පැවතී ඇත්තේ ගෙවී ගිය වසර විසි දෙක තුළය. 2018 වසරේ ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය එය 1981-2010 කාලයේ පැවති දිගුකාලීන උෂ්ණත්ව මට්ටමට වඩා සෙල්සියස් අංශක 0.38 කින් ඉහළ ගොස් තිබේ. පසුගියදා ඕස්ට්‍රේලියාවට මෙතෙක් පැවති උණුසුම්ම ජනවාරිය උදා විය. තස්මේනියාවේ විනාශකාරී ලැව් ගිනි ඇති විය. ඒ ජනවාරි මසදීම දකුණු අර්ධ ගෝලයේ උග්‍ර උණුසුමක්ද උතුරු අර්ධ ගෝලයේ උග්‍ර සීත කාලගුණයක්ද ඇති විය.

ට්‍රම්ප් කුමක් කීවද, ගෝලීය කාලගුණ වෙනස සොබා දහමේ දිගුකාලීන කාලගුණ චක්‍ර මගින් ඇති වූ සාමාන්‍ය තත්ත්වයක් නොව මිනිසුන් විසින් ඇති කළ දෙයකි. ඒ සම්බන්ධයෙන් අධිපති මාධ්‍ය මගින් ඊනියා විවාදයක් නිර්මාණය කොට තිබුණද, විද්‍යාත්මක ප්‍රජාව තුළ එය තවදුරටත් විවාදිත කරුණක් නොවේ. විද්‍යාත්මක විවාදයක් පැවතියේ නම්, ඒ 1970 දශකයේදීය. නමුත්, 2015 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රටවල් 40 ක කතුවරුන් හා සංස්කාරකවරුන් 91 ක් දෙනෙකුගේ සහභාගීත්වයෙන් එළි දැක්වුණු වාර්තාවක අනතුරු හඟවන පරිදි ලෝක මට්ටමේ ඉක්මන් ක්‍රියාමාර්ගයක් නොගතහොත් මෙතෙක් නොඇසූ විරූ සොබාවික විපත්තීන්ට මිනිස් වර්ගයා හට මුහුණ දීමට සිදුවනු ඇත. එම වාර්තාව තුළ විද්‍යාත්මක පර්යේෂණ 6000 ක් පරිශීලනය කොට තිබේ.

මේ කාලගුණ වෙනසේ පල විපාක කවරාකාර විය හැකිද? පොදුවේ හඳුනාගත් කිහිපයක් සැකෙවින් මෙසේය. පළමුව, ගෝලීය උණුසුම සමග ඉහළ යන තාපයෙන් වැඩි ප්‍රමාණයක් උරාගනු ලබන්නේ සාගරය විසිනි. එහි ප්‍රතිපලයක් ලෙස සාගරයේ සාමාන්‍ය ජල මට්ටම ඉහළ නගියි. මේ සමග ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටික්හි අයිස් තට්ටුව වේගයෙන් දියව යමින් තිබේ. ඇන්ටාක්ටික්හි අයිස් තට්ටුව දියව යාමේ අනුපාතය පසුගිය දශකය තුළදී තෙගුණයකින් වැඩි වී තිබේ. ලොව පුරා ග්ලැසියර තට්ටු ක්‍ෂය වී යාමද වේගවත් වී ඇත. මෙහි ප්‍රතිපලයක් ලෙස පසුගිය සියවස තුළදී මුහුදු ජල මට්ටම අඟල් අටකින් ඉහළ නැග තිබේ. එසේ ඉහළ නගින අනුපාතය වසරින් වසර වැඩි වෙමින් ඇත. ලොව පුරා දූපත් සහ මුහුදුබඩ ප්‍රදේශ වේගයෙන් ජල ඛාදනයට ලක් වීමේ අනතුරක් පවතී. ලංකාවට මෙයින් සිදුවන බලපෑම සුළුපටු විය නොහැක. කාර්මික විප්ලවයෙන් පසුව මුහුද ඇසිඩ්කරණය වීමද ක්‍රම ක්‍රමයෙන් ඉහළ නගිමින් පවතී. මෙහි ප්‍රතිපලයක් ලෙස ජලජ සත්ව වර්ග රාශියක් මුළුමනින්ම විනාශ වීමේ තර්ජනයට ලක්ව තිබේ.

සාමාන්‍ය ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 කින් ඉහළ ගියහොත් සත්ව වර්ග 20%-30% ක් පමණ මුළුමනින්ම වඳව යා හැකිය. කොරල් පර 70%-90% ප්‍රමාණයක් විනාශ වී යනු ඇතැයි ගණන් බලා තිබේ. එය ධීවර කර්මාන්තය කෙරෙහි මෙතෙක් නොවූ විරූ පරිමාවක අහිතකර ප්‍රතිපල ඇති කරනු ඇත. ධ‍්‍රැවීය ප්‍රදේශවල වායු ගෝලීය උෂ්ණත්වය සීග්‍රයෙන් ඉහළ යාමත් අයිස් තට්ටු ක්‍ෂය වීමත් නිසා හිරුගේ රශ්මියට ප්‍රතිචාර දැක්වීමේත් එනයින් ගෝලීය උණුසුම තුලනය කරගැනීමේත් හැකියාව තවත් අඩු වේ. වනාන්තර විනාශ වීම මගින් ඇතිකෙරෙන බලපෑමද එබඳුය. වනාන්තර සතුව කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීමට ඇති හැකියාව නිසා ගෝලීය උණුසුම පාලනය කිරීමටද වන ගහණය ප්‍රයෝජනවත් වේ. මේ අනුව, වන විනාශය හමුවේ ගෝලීය උණුසුම ඉහළ යාම දුෂ්ට චක්‍රයක් බවට පත්වේ. ඒ, මියෙන ගස් විසින් තම කාබන් ඩයොක්සයිඩ් ගබඩාද පරිසරයට එක් කරනු ඇති බැවිනි. තවද, උණුසුම් වායු ගෝලය විසින් වැඩි ජල පරිමාවක් දරා ගන්නා බැවින් එයින් ලෝකයේ වැසි රටාවෙහි විශාල වෙනස්කම් ඇති කරනු ඇත. එක් තැනෙක උග්‍ර වැසි හා ගං වතුරද තවත් තැනෙක උග්‍ර ඉඩෝරය හා කාන්තාර බිහි වීමද එක්වර දැකගත හැකි වනු ඇත. නිදසුනක් ලෙස දකුණු ආසියාවේ ගංගා රැසකට පෝෂණය සපයන හිමාලයානු ග්ලැසියර තට්ටුව දියව යාම මිලියන ගණනක මිනිසුන් ප්‍රමාණයක් ව්‍යසනයට රැගෙන යාමට සමත්ය. සමස්තයක් ලෙස ලෝක පාරිසරික පද්ධතීන් වේගවත් වෙනසකට ලක් වීම හමුවේ මෙතෙක් ඉතිහාසය නොදත් මහා පරිමාණ ආපදා රැසක් අපේක්ෂා කළ යුතුව පවතී. ගෙවී යන සෑම දිනකම අපගේ වර්ගයා විසින් සිදුකරමින් සිටින්නේ මේ විනාශය වඩා වඩාත් වේගවත් කිරීමය.

මේ විනාශය වැලැක්වීම සඳහා පැරිස් සම්මුතිය මගින් දැනට ඇති කරගෙන තිබෙන එකඟතාව වන්නේ ගෝලීය උණුසුමේ ඉහළ යාම සෙල්සියස් අංශක 1.5 කට සීමා කර ගැනීමය. නමුත්, ඒ සඳහා 2030 වසර වන විට ලෝක මට්ටමේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 45% කින් පහත හෙළිය යුතු බවට ගණන් බලා ඇත. තවත් ඉතිරිව ඇත්තේ වසර එකොළහක් පමණි.

දැන් අප හමුවේ ඇති ප්‍රශ්නය මෙයයි. ඉදිරි දශකයක දෙකක කාලය මිනිස් වර්ගයාගේත් සමස්ත ජෛව ගෝලයේත් පැවැත්ම පිලිබඳ බරපතල අභියෝගයක් එල්ල වන යුගයකි. මා හඟවන්නේ ඉක්මන් ලෝක විනාශයක් එනවා වැනි ජනප්‍රිය යක්ෂයන් මැවීමක් නොවේ. නමුත්, අප මෙතෙක් නොදත් තරමේ උග්‍ර පාරිසරික විපත් ඇතිවීමට නියමිත බවයි. ඒ හමුවේ ඉදිරියේදී මිලියන් ගණන් ජනයා කාලගුණ විපත් මගින් සරණාගත තත්ත්වයට පත්වීමට නියමිතය. කාලගුණ සරණාගත ප්‍රශ්නය දේශපාලන සරණාගත ප්‍රශ්නය සමග එක්ව ගමන් කරනු ඇත. දැන් මේ ප්‍රශ්නය පවත්නා ගෝලීය දේශපාලන රාමුව තුළ විසඳිය හැකිද? පුද්ගලික ලාභය අරමුණු කරගත් සහ නිෂ්පාදනයේ අරාජකත්වය රජයන ධනවාදය තුළ මේ ප්‍රශ්නය විසඳිය හැකිද? පවත්නා අධිපති සංවර්ධන මොඩලය තුළ මේ ප්‍රශ්නය විසඳිය හැකිද? සමකාලීනව අධිපති පාරිභෝජනවාදී ජීවන දර්ශනය වෙනස් නොකොට මේ ප්‍රශ්නය විසඳිය හැකිද? ඉහත සියලු ප්‍රශ්නවලට පිළිතුර නැත යන්නයි.
ස්ලේවෝයී ශිෂෙක් Living in the End Times (2011) කෘතිය තුළ නැවත නැවතත් මතු කරන ප්‍රවාදය මෙයයි. ධනවාදයට පසුව සමාජවාදය බිහි වීමට නියමිතයි යන විශ්වාසය අඩු තරමින් 1980 දශකයේ අවසානය දක්වා ලෝකය පුරා වාමාංශිකයන් බෙදාගත්හ. දැන් ඒ විශ්වාසය බිඳ වැටී ගොස් ඇත. හොඳයි. ධනවාදයෙන් පසුව සමාජවාදය නොවේ නම්, බිහි වීමට නියමිත කුමක්ද? ශිෂෙක් පවසන්නේ ඒ ලෝක විනාශය වීමට ඉඩ ඇති බවයි. ඔහු එය පවසන්නේ රූපිකමය අරුතින් විය හැකිය. නමුත්, අප යම් හෙයකින් ධනවාදය වෙනස් කිරීමට අසමත් වුව හොත්, අනාගත පරම්පරාව බරපතල ව්‍යසනයන්ට ගොදුරු වීම දැන් වැළැක්විය නොහැකිය. ෆුකුයාමාගේ ඉතිහාසයේ අවසානය වචනාර්ථයෙන්ම මිනිස් වර්ගයාගේ අවසානයක් බවට පරිවර්තනය විය හැකි තත්ත්වයන්ය දැන් සැකසෙමින් ඇත්තේ. කාලගුණ වෙනස යනු ශිෂෙකියානු ලෝක විනාශයේ සාධක හතරින් එකක් පමණි. ඔහු මතුකරන තවත් කරුණක් නම්, අප සියලුම දෙනා මේ ව්‍යසනයේ කොටස් කරුවන්ය එනිසා තනි තනි පුද්ගලයන්ට හා ප්‍රජාවන්ට තම ජීවන ශෛලීන් වෙනස් කර ගැනීමෙන් මෙයට විසඳුම් සෙවිය හැකිය යන්න ලිබරල් මිත්‍යාවක් පමණක් බවයි. ගෝලීය දේශපාලන තන්ත්‍රයක මැදිහත්වීමකින් තොරව මේ අර්බුදයෙන් ගැලවිය නොහැකිය. පසුගිය සියවස් එක හමාරක අධිපති සංවර්ධන මොඩලය වෙනස් කිරීමට අපට දැන් ඉතිරිව ඇත්තේ දශක කිහිපයක කාලයකි.

අනෙක් අතින්, කොමියුනිස්ට් සමාජය මායාවක් යැයි කියූ ආර්ථික ලිබරල්වාදීන්ට දැන් ධනවාදී සංවර්ධනයේ මායාව අභිමුඛ වීමට සිදුව තිබේ. විසඳුම ඇත්තේ වාමාංශය තුළයි. නමුත්, කෙසේවත් ඒ පැරණි වාමාංශය තුළ විය නොහැකිය. සැබවින්ම පැවති සමාජවාදී රටවල අධිපති සංවර්ධන මොඩලයද වත්මන් ව්‍යසනයට එක සේ වග කිව යුතුය. කාර්මික ධනවාදය පිලිබඳ කවියා වූයේ මාක්ස්ය. කොමියුනිස්ට් ප්‍රකාශනය තුළ ඔහු ධනවාදයේ විප්ලවීය ශක්‍යතා වර්ණනාවට ලක් කළේය. සියලු ඝන වූ දේ වාෂ්ප වී යතැයි මාක්ස් පැවසීය. නමුත්, වාච්‍යර්ථයෙන්ම ඝන වූ දේ වාෂ්ප වී යන යුගයක් ගෝලීය උණුසුම විසින් නිර්මාණය කරනු ඇතැයි ඔහු නොසිතන්නට ඇත. එහෙයින්, මෙතෙක් කලක් වම විසින්ද බෙදාගත් අධිපති සංවර්ධන කතිකාව දැන් අභියෝගයට ලක්ව තිබේ. සමාජවාදය දැන් සංවර්ධනයටද විකල්පයක් විය යුතුව ඇත්තේ එහෙයිනි. රතු පැහැයට හරිත පැහැය මුසු විය යුතු යුගයක් එළැඹ තිබේ.

නමුත්, වමට සැබවින්ම මේ ක්‍රියාවලිය ආපස්සට හැරවිය හැකිද? ශිෂෙක් The Courage of Hopelessness: Chronicles of a Year of Acting Dangerously (2017) කෘතිය තුළ පවසන පරිදි මේ අඳුරු බිම් ගේ ඈත කෙළවරින් පෙනෙන ඒ ආලෝක ධාරාව අනෙක් පසින් වේගයෙන් අප දෙසට එන තවත් දුම්රියක ආලෝකය වීමටද ඉඩ තිබේ! ඒ දුම්රිය අපව යට කරගෙන යාමට හොඳටම ඉඩ තිබේ. (වෙනත් වචනයෙන් කිව හොත්, ඒ දුම්රිය දක්ෂිණාංශික ජනප්‍රියවාදය නොහොත් ට්‍රම්ප්, පුටින්, මෝඩි හෝ මහින්ද විය හැකිය). එහෙයින් අද වමට අවශ්‍ය බලාපොරොත්තු විරහිතභාවයේ ධෛර්යයි. ඒ බලාපොරොත්තු විරහිතභාවයේ ධෛර්ය සඳහා වුවත් වාමාංශික සහයෝගීතාව අනිවාර්ය කොන්දේසියකි. තනි තනි වාමාංශික පක්ෂ හෝ සංවිධානවලට තනිව ගොඩ නැගිය හැකි විකල්පයක් තවදුරටත් නොමැත.

අප ජීවත් වන්නේ වාම සහයෝගීතාව පිලිබඳ සටන් පාඨය අන් කවරදාටත් වඩා ඉහළින් එසවිය යුතු යුග මොහොතකය. නොඑසේනම්, ෆැසිස්ට්වාදයේ නැගීම හමුවේ ග්‍රාම්ස්චි ඇතුළු ඉතාලි සමාජවාදී ව්‍යාපාරය කළ උපාය මාර්ගික වරදක් වත්මන් වම අතින්ද පුනරාවර්තනය වීමට ඉඩ තිබේ; එම වරද නම් ඉතාලියානු කොමියුනිස්ට් පක්ෂය සහ සමාජවාදී පක්ෂය අතර පාලමක් ගොඩ නැගීමට අසමත් වීමයි.
ඉදිරියේදී මේ පිළිබඳව දීර්ඝව ලියන්නට බලාපොරොත්තු වෙමි.

-සුමිත් චාමින්ද