Language Switcher

V2025

මංගලගේ දේශපාලන තිස් වසරෙන් බිදක් !

පූර්ව දේශපාලන සමය

මහනාම සමරවීර සහ ඛේමා සමරවීරට දාව පවුලේ බාලයා වශයෙන්1956 අප්‍රේල් 21 දා මංගල සමරවීර උප්පත්තිය ලැබීය.

ඒ දවස සුවිශේෂ වන්නේ එතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මහනාම සමරවීර මහතා පළමු වරට අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් දිනය ද එදිනම වීම නිසාය.

වැඩිමහල් සොයුරා ජයමිණි සමරවීර සහ වැඩිමහල් සොයුරිය ජයන්ති සමරවීර නම් වූ අතර මාතර ඔවුනගේ උපන් ගම විය.

මංගල සමරවීර කුඩා අවධියේදීම පියා අහිමි වූ අතර ඉන් අනතුරුව සිය පවුලේ අනාගතය වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යෙන් යුතුව කටයුතු කළ සිය මවට ඉතා ලැදිව හැදී වැඩෙන්නට විය.

මුලින්ම මාතර රාහුල විද්‍යාලයේද ඉතා කෙටිකලකින් කොළඹ රාජකීය විද්‍යාලයේද අධ්‍යාපනය කළ මංගල සමරවීර වයස අවුරුදු 16 දී උසස් අධ්‍යාපනය හැදෑරීමට බ්‍රිතාන්‍යයට පිටත් විය.

එහිදී පළමුව College of Walton Forest නමැති උසස් අධ්‍යාපන ආයතනයෙන් උසස් පෙළ සමත් වූ ඔහු සිය උපාධිය හැදෑරීම සඳහා ඇතුළත් වූයේ ශාන්ත මාටිනස් විශ්ව විද්‍යාලයටය. එහිදී ඔහු තෝරාගත් විෂයය ‘‘ඩිසයිනිං ඇන්ඩ් ටෙක්නොලොජි‘‘ ය. ඒ සඳහා දෙවන පෙළ ගෞරව සාමාර්ථයක් සහිතව සිය පළමු උපාධිය සමත් වීමට මංගලට1979 දී හැකි විය.

අධ්‍යයන කටයුතු හමාර කළ මංගල ලන්ඩන් නුවර ව්‍යාපාර කටයුතු කරමින් වසර කිහිපයක් ගත කළේය. පසුව 1983 ලංකාවට පැමිණි ඔහු සිය අධ්‍යාපනයෙන් ලද පන්නරය තුළින් වෘත්තීයමය ව්‍යාපාර කටයුතු සිදුකරමින් ගත කළේය.

ඒ කටයුතු සිදුකරන අතරම පේෂකර්ම අමාත්‍යාංශයේ බාහිර උපදේශකයකු වශයෙන් ද සෞන්දර් විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කළේය.

දේශපාලන ආගමනය

මංගල සමරවීර 1983 ජූලි කලබල තුළ සිදුවූ ජුගුස්සාජනක සිදුවීම් මෙන්ම ඉතා ඛේදනීය සිද්ධි පවා ඇසින් දුටු අතර මිනිස් ජීවිතවල වටිනාකම තේරුම් නොගත් ජාතිවාදී මිනිස් හැසිරීම් තුළ සිදුවන විනාශය තේරුම් ගත්තේය.

එසේම 87 කාලයේ දේශප්‍රේමී අන්තවාදීන් විසින් සිදුකරනු ලැබූ කලබලය තුළින් ම්ලේච්ඡත්වය කෙතරම් කුරිරු ද යන්න තේරුම් ගත්තේය.

මේ සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අනුරු බණ්ඩාරනායක මහතා සහ විශේෂයෙන් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආරාධනයෙන් මංගල සමරවීර සිය දේශපාලන දිවියේ පළමු අත්පොත් තැබීය.

ඒ අනුව 1988 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් පත් වීම් ලැබීය.

එතැන් සිට සිය පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ මංගල සමරවීර 1989 පෙබරවාරි 15 දා පැවැති මහ මැතිවරණයෙන් ජය ගෙන පළමු වරට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විය.

එතැන් සිට අද දක්වා මෙරට පැවැති සියලුම මහා මැතිවරණයකදීම මංගල සමරවීර නම් වූ දේශපාලඥයා සිය පාර්ලිමේන්තු නියෝජිතයා වශයෙන් තෝරා පත්කර ගැනීමට පක්ෂ පාට භේදයකින් තොරව මාතර දිස්ත්‍රීක්යේ ජනතාවට අවශ්‍ය විය.

ඒ අනුව 1989 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා වූ තිස්වසරක කාලය පුරාවට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හැකියාව උරුමකර ගැනීමට මංගල සමරවීර සමත් විය.

 දේශපාලන ගමන් මග

1989 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මංගල සමරවීර ඉතා කෙටි කාලයක් තුළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයකු බවට විය. ඒ එකල පැවැති භීෂණකාරී වාතාවරණය හමුවේ දේශප්‍රේමී බලහත්කාරය මෙන්ම රාජ්‍ය භීෂණය නිසා තරුණ තරුණියන් දහස් ගණනක් නිරපාරාදේ රටට අහිමිවන අයුරු අත්දුටු මංගල ඒ වෙනුවෙන් සාධාරණය ඉල්ලා හඬ නැගීමෙනි. ඒ සඳහා මාතර දිස්ත්‍රික්කයේ වගේම රටේ සෑම පළාතකම සිය දරුවන් අහිමි වී හැඬූ කඳුළින් දිවිගෙවූ මව්වරුන් එකතු කරමින් ‘‘මව්පෙරමුණ“ නම් සාධාරණත්වයේ අපේක්ෂා පෙරදැරි කරගත් සංවිධානය ගොඩනැගුවේය. මංගල සමරවීර සමඟ මහින්ද රාජපක්ෂ ද එහි සම කැඳවුම්කරුවන් විය.

ඉන් අනතුරුව 1993 -94 කාලයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා දේශපාලනයට එක්කර ගැනීමටත් එසේම ඇය බස්නාහිර පළාත් මහ ඇමතිනිය, අගමැතිනිය පමණක් නොව මේ රටේ 4වන විධායක ජනාධිපතිනිය වශයෙන් පත්කර ගැනීම දක්වා වූ ක්‍රියාදාමයේ තීරණාත්මක කාර්යය භාරයක් ඉටුකළේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැතිනියගේ ප්‍රථම කැබිනට් මණ්ඩලයේ තැපැල් හා විදුලි සංදේශ කැබිනට් ඇමතිවරයා වශයෙන් මංගල සමරවීර පළමුවරට කැබිනට් අමාත්‍යධුරයකින් පිදුම් ලැබීය. ඒ 1994අගෝස්තු 21 දාය.

තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙස එකල පැවැති තැපැල් සේවාවේ මෙන්ම විදුලි සංදේශ සේවාවන්හි නොදියුණු බව හා නව තාක්ෂණයේ ඌනතාවයන් හඳුනාගත් මංගල පියවර ගණනාවකින් එකී සේවාවන් ඉහළට ඔසවා තැබීමට නොපසුබට වීර්යයෙන් යුතුව කටයුතු කළේය. අද රටේ පවතින යම් සංනිවේදන තාක්ෂණයේ දියුණුවක් වෙත්නම් ඒ සඳහා අවශ්‍ය පසුබිම, අඩිතාලම නිර්මාණය කළේ මංගල සමරවීරය.

තැපැල් සේවාවේ දියුණුව වෙනුවෙන් නව තාක්ෂණය හඳුන්වා දී තැපැල් සේවාව පිමි ගණනාවක් ඉදිරියට ගෙන එමින් ඊට සරිලන තැපැල් හා විදුලි සංදේශ බහු සේවා මධ්‍යස්ථාන රට පුරා ඉදිකිරීමටත් පියවර ගත්තේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ලෝකයේ නව තාක්ෂණය එක්කර ගැනීමේ අපේක්ෂා සහිතව විදුලි සංදේශ සේවාව පෞද්ගලීකරණය කිරීමට පියවර ගැනීම මංගල සමරවීර අමාත්‍යවරයා කටයුතු කළේය. එය ඉතා සාර්ථක ඉදිරිගාමී පියවරක් බව අද මුළු රටම අවිවාදයෙන් යුතුව පිළිගෙන ඇත.

මංගල සමරවීරගේ පාර්ලිමේන්තු දිවියේ මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව විසඳාගනු වස් ක්‍රියාත්මක වූ ‘‘සුදුනෙළුම් ව්‍යාපාරය‘‘ සුවිශේෂී සළකුණකි. මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතිකත්වයන්ගෙන් යුත් බහුජාතික රටක් ලෙස පිළිගන්නා මංගල සමරවීර එකී ජාතිකත්වයන් අතර සංහිඳියාව ගොඩනැගීම සංවර්ධනයේ එක් සහ ප්‍රධාන කුළුණක් ලෙස විශ්වාස කරයි. ඒ නිසාම ජාතික සමගිය ගොඩනැගීමේ පණිවුඩය රටපුරා ජනතාව අතරට ගෙනයාමේ දැවැන්ත පියවරක් ලෙස 1995 ජුලි මාසයේ දී ‘‘සුදු නෙළුම් ව්‍යාපාරය“ නිර්මාණය කරන ලදී. එකී අරමුණ සාර්ථක කරගැනීමේ තවත් පියවරක් ලෙස ‘‘තවලම‘‘ වැඩසටහන ද යාපනය පුස්තකාලය ගොඩනැගීමේ අරමුණ ඇතිව ‘‘පොතයි - ගඩොලයි‘‘ ව්‍යාපෘතිය ද ඉතා සාර්ථකව සිදුකළ කාර්යයන් විය. එපමණකින් නොනැවතුණු මංගල සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් 2017 දී නැවතත් ‘‘අහන්න“ද්විපව්‍යාප්ත ව්‍යපෘතිය දියත් කළේය.

පසුකලෙක නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් වූ මංගල සමරවීර නගර සංවර්ධනයේ ද නොමැකෙන සටහන් තබා ඇත. ඒ සිය උපන් ගම වූ මාතර නගරය වගේම රටේ අගනගරය ද සංවර්ධනය කිරීමේ දැවැන්ත ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ඊට එල්ල වූ විරෝධතාවන්ට නොබියව මුහුණ දෙමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ගාළු මුවදොර සංවර්ධනය , බේරේ වැව සංවර්ධනය, සහස්පුර වැනි නිවාස යෝජනා ක්‍රම ද ඔහුගේ සංකල්පයන් අනුව ක්‍රියාත්මක වූ දැවැන්ත ව්‍යාපෘති අතර විය.

ප්‍රජාතන්ත්‍රවාදයේ එක් මූලික කොන්දේසියක් වන ජනමාධ්‍ය නිදහස අගය කළ මංගල සමරවීර ජනමාධ්‍යට සිදුකරන දේශපාලන අතපෙවීම්වලට, ජනමාධ්‍යවේදීන් මරා දැමීමට - අතුරුදන් කිරීමට කවදත් විරුද්ධ විය. එසේම නිදහස් රටක ඒ නිදහස සුරක්ෂිත කර ගැනීමට ඇති හොඳම මාර්ගය ආණ්ඩුව සහ ජනමාධ්‍ය අතර සදාකාලික ගැටුමක් පැවැතීම බව මංගල විශ්වාස කරයි. ජනමාධ්‍ය අමාත්‍යධූරයේ දෙවතාවක දී කටයුතු කළ මංගල සිය විශ්වාසයේ පිහිටා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම තැබීමට නොපසුබට විය.

මංගල සමරවීර දේශපාලන ජීවිතයේ වැදගත් කඩඉමක් වූයේ 2007 වර්ෂයයි. ඒ එතෙක් තමන් නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා බලපරාක්‍රමයට සහ බලහත්කාරී, අත්තනෝමතික පාලනයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම‘ පාර්ශවය ගොඩනැගීමයි. ඒ එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මංගල සමරවීර අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමත් සමඟය.

විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් වාර කිහිපයක් කටයුතු කළ මංගල සමරවීර ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ලෝකය පුරා ගෞවරණීය ආකාරයෙන් ගොඩනැගීමට අවශ්‍ය සෑම පියවරක්ම ගත් බව ඉතිහාසය සාක්ෂි දරයි. විශේෂයෙන් 2015 දී ලොකයෙන් ම හුදකලා වූ රටක් වශයෙන් අපකීර්තියට පත්ව තිබූ ශ්‍රී ලංකා නාමය නැවත ලෝකය පිළිගත් රටක් බවට පරිවර්තනය කරගැනීමට ගත් උත්සාහය මෙහිදී සිහිපත් කළ යුතුය.

2017 වර්ෂයේ දී මුදල් අමාත්‍යධූරයට පත් වූ මංගල සමරවීර මේ රටේ තිරසර සංවර්ධනය ළඟාකර ගත හැක්කේ,ප්‍රජාතන්ත්‍රවාදයේත්, සංහිඳියාවේත් පවුරු මත ගොඩනැගෙන සංවර්ධනයකින් පමණක් බව විශ්වාස කරයි. එකී විශ්වාසයේ පදනම මත පිහිටා ‘‘Vision 2025" - ‘පොහොසත් රටක්‘ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමය හඳුන්වා දුන්නේය. එහි පියවර ගණනාවක් දැනටමත් රටපුරා දියත් කෙරෙමින් පවතී. ඒ අතර ‘‘ගම්පෙරළිය‘‘ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය, ව්‍යවසායකත්වය නැංවීමේ අරමුණ ඇතිව හඳුන්වා දුන්‘‘Enterprise Sri Lanka‘‘ සහන ණය යෝජනා ක්‍රමය ද වේ.

තිස්වසරක පාර්ලිමේන්තු දිවියේ කිසිදු දිනයක එකදු හොරකමක, වංචාවක හෝ දූෂණ චෝදනාවකට ලක් නොවූ මංගල සමරවීර කවදත් මානව හිමිකම් ඉහළින්ම සුරක්ෂිත විය යුතු බව විශ්වාස කළ බැවින් කිසිදු භීෂණ කාර්යයකට සම්බන්ධ නොවීම ද මෙහිලා සටහන් කළ යුතුය. එපමණක් නොව 1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් මෙරටට හඳුන්වා දුන් විවෘත ආර්ථික සංකල්පය පිළිබඳ මුල පටන් අවස්ථා ගණනාවක දී ඉහළින් අගය කරමින් අදහස් දක්වා ඇති මංගල විශ්වාස කරනුයේ එය ඉදිරිගාමී සංවර්ධනය වෙනුවෙන් ගනු ලැබූ ධනාත්මක පියවරක් වශයෙනි.

එසේම ආරම්භයේ පටන් අද දක්වා වූ ගමනේ අන්තවාදයත්, ජාතිවාදයත්, සහමුලින් ප්‍රතික්ෂේප කරන සිය හෘද සාක්ෂිය විශ්වාස කළ මංගල සමරවීර නියෝජනය කළේ කුමන පක්ෂයක් වුවද ගන්නා ලද සෑම ක්‍රියාදාමයක්ම එකිනෙක හා බැඳුණු යදම් වැලක පුරුක් මෙනි. ඒ එකම ගමන් මාර්ගයක, එකම ඉලක්කයක, එකම පැතුමක අරමුණ දිනාගැනීමේ පියවරයන් වූ බැවිනි.