Language Switcher

V2025

වතුරට යට කළ යාන් ඔය ජීවිත !

'ලස්සන වචනවලට අපි රැවටුණා. දැන් අපිට තේරෙනවා, බෙදුණොත් ඉවරයි. ඒ හින්දා දැන් අපි එකතු වෙලා වැඩ කරනවා.'
ඔවුන් ජීවත් වෙන්නේ අලුත් බලාපොරොත්තුවකිනි. විනාශය විසින් සියල්ල උදුරා ගෙන ඇත.
 
'ඒත් ඒගොල්ලො හදන්නෙ අපිව ආපහු බෙදන්න. ඒකට තමයි කොටසකට වන්දි දෙන්නෙ. කොටස් කොටස් ගෙන්වලා සාකච්චා කරන්නෙ.'
 
හැමදාම ඔවුන් භාවිත කරන උපක්‍රමය හොරොව්පොතානේදීද කිසිදු වෙනසකින් තොරව සිදු වෙමින් තිබෙන්නේ එසේය.  යාන් ඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ පිරිස කන්නයට හාල් මිටි අටසීයක්-දාහක් ගෙට ගත් පිරිසකි.
 
'අලුත් වීවල බත් කන්න තියෙන ආසාවට අපි දන්න අයගෙන් වී මල්ලක්-දෙකක් සල්ලිවලට ගන්නවා.'
 
යාන් ඔය ජලාශයට හදිසියේ වතුර පුරවන්නට පටන් ගත්තේ 2018 නොවැම්බර් මාසයේය. ඒ හදිසි දැනුම්දීමකින් පසුව ය. 2019 ජනවාරි මාසය වන විට ජලාශයේ වතුරට හොරොව්පතාන කොට්ඨාසයේ පමණක් පවුල් තුන්දහසකට ආසන්න යට වූහ. ඒ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 3,350 කි. මාවතවැව, පුහුදිවුල, අලියාකඩ ඇතුළු ගම්මාන රැසක් ඊට අයත් ය.
 
ලංකාවේ තුන් වැනි විශාලතම ජලාශය වන යාන් ඔයේ අපේක්ෂිත ජල ධාරිතාව අක්කර අඩි 165,000 කි. එහෙත් සැලසුමට අනුව එහෙ ඇත්තේ අඩි 200 පිට වානක් සහ වාන් දොරටු පහක් පමණි.
 
0'මේ වාන් දොරටු පහ ඇරියොත් අපිට දෙනවා කියන මල්පෝරුවෙ ඉඩමුත් යට වෙනවා.'
 
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේම ඇතැම් නිලධාරීන් ඒ බව තහවුරු කර ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක් වන මෙය, චීන සමාගමක් ඉදි කරයි.  මුදල් ලැබෙන්නේ චීන බැංකුවක ණයක් ලෙස ය. අනුරාධපුරය සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලට ජලාශය මායිම් වේ. දිස්ත්‍රික්ක දෙකේම ජනතාව යාන් ඔයට යට වේ. ගරිල්ලා සංවිධාන පවා අපරාධයක් කළ සැණින් වගකීම භාර ගනී. එහෙත් මේ අපරාධයේ වගකීම භාරගන්නට කිසිවෙකු නැත.
 
'වෙනදට අවුරුද්ද ළං වෙනකොට අපිට සතුටුයි. දැන් අපි විදවනවා. ළමයි බලන් ඉන්නෙ අවුරුද්ද එනකම්. රජයේ රස්සා නොකළට අපි හොදට ජීවත් වුණා. මේ පොළොව අපිට හොදට සැලකුවා.'
 
සංවර්ධන ව්‍යාපෘතියක් නිසා අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරීමේ ක්‍රමවේදයක් තිබේ. එය රජය පිළිගත් එකකි. එහෙත් යාන් ඔයේ ජනතාවට ඒ කිසිවක් අදාළ නැත. ඔවුන් මිනිසුන් ලෙස සැලකීමට ආණ්ඩුව සූදානම් නැත.
 
'වන්දිවලට හදපු ෆයිල් එක්දාස් දෙසීයක් විතර තවම හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙ ගොඩගහලා තියාගෙන ඉන්නවා. ඒවා ගැන අහනකොට කියන්නෙ ඒ වැඩ කරන්න පිරිස නැතිලු.'
 
මේ කියන්නේ ඔවුන් වරින් වර කී කතාවලින් කොටස් කිහිපයකි. ඔබේ, මගේ නිවස ජලයෙන් යට කර, කිලෝමීටර් ගාණක් දුරට ගෙනගොස් දමා, කුලී වැඩක් හෝ කරගැනීමට අවස්ථාවක් නොමැතිව සිටින විට, රජයේ නිලධාරීන් වන්දි මුදල් ලබා නොදෙමින් රස්තියාදු කරන්නේ නම්, පාසලේදී ඩෙස්-පුටු නැති නිසා දරුවන්ට හිටගෙන ඉගෙනීමට සිදු වන්නේ නම්, කළ යුත්තේ කුමක්ද ? යාන් ඔය ව්‍යාපෘතිය නිසා අවතැන් කළ ජනතාවට එසේ සිදු වී ඇත.
 
'හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙන් කියන්නෙ අපි හරහා තමයි මේ වන්දි ගන්න ඕනෙ. හෙමිහිට කරලා දෙනකම් සද්ද නැතුව ඉන්නලු. කොම්පියුටර් කැඩිලලු. අලුත් ඒවා එනකම් කරන්න දෙයක් නැතිලු.'
 
මතක තබාගන්න, ඔබට තවම මෙය සිදු වී නැත.
 
'අපේ ඉඩම් වල වටිනාකමින් භාගයක් වත් හම්බෙන්නෙ නෑ. ඇහුවම කියන්නෙ තක්සේරු දෙපාර්තමේන්තුවෙ තීරණය වෙනස් කරන්න බැරිලු. ඒ ෆයිල් ඉල්ලුවම ඒවා අපිට දෙන්න බැරිලු.'
 
කොළඹ මිනිසුන් පමණක් නොවේ, මේ ජනතාවද බදු ගෙවති. ඒ බදු වලින් ය, රජයේ සේවකයන් වැටුප් ගන්නේ, රජය නඩත්තු වන්නේ.
 
'අනූ පහ අවුරුද්ද වෙනකොට අවුරුදු 18 පිරුණු අයට විතරයි, තක්සේරු මුදල හම්බෙන්නෙ. අනෙක් අයට දීමනාවක් විදිහට ලක්ෂ එක හමාරක් දෙනවා විතරයි.  ජීවිත කාලෙටම ලක්ෂ එක හමාරක්.'
 
ප්‍රධාන පවුල්වලට හිමි භාගෙට භාගයක් කැපූ වටිනාකම් පවා අනු පවුල් වලට නැත. අනූ පහේ අවුරුදු 17 තරුණයකු යනු අද අවුරුදු 40 ක වැඩිහිටියෙකි. ඒත් ඔහුට ලැබෙන්නේ ඉඩමක් සංවර්ධනය කිරීම වෙනුවෙන් කියා වෙන්කෙරෙන සොච්චම් මුදලක් පමණි. ඔහුගේ පවුල පවුලක් ලෙස පිළි නොගැනේ. ඒ දරුවන් දරුවන් ලෙස පිළි නොගැනේ. යාන් ඔයේ අවතැන් වූවන්ට වන්දි දෙන ප්‍රතිපත්තිය එයාකාර ය.
 
0 2මේ උදුරාගන්නේ ඔවුන්ගේ ජීවත් වීමේ අයිතියයි. නීත්‍යානුකූල රැකියාවක් කරමින්, තමන් කැමති ප්‍රදේශයක ජීවත් වීමේ අයිතිය ලංකාවේ පුරවැසියන්ට ඇතැයි රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇත. ඒ වගේම එසේ ජීවත් විය යුතු යම් පුද්ගලයෙකු සංවර්ධන ව්‍යාපෘතියක් නිසා අවතැන් වන්නේ නම්, ඔහු නැවත සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම ආරම්භ කරන තුරු ඔහුගේ වගකීම රජය දැරීමට බැදී සිටී. එහෙත් යාන් ඔයට ඒ කිසිවක් අදාළ නැත.
 
පූර්ණ කාලීන් ගොවීන්ට කන්න හයකින් වී ඇටයක් ගෙට ගන්නට ලැබී නැත. නැවත පදිංචි කර ඇති ස්ථාන වලින් කුඹුරු සකස් කර දෙන බව ආණ්ඩුව පාර්ශ්වයෙන් කියා තිබේ. එහෙත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියන්නේ කුඹුරු සකස් කිරීමට සැලසුම් කර ඇති ඉඩම් නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බවයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ තමන්ට ඊට අදාළ ලිපි ලැබී නොමැති බවයි. මේ තර්ක අස්සේ ජනතාව අලුත් වී ටිකකින් බතක් උයන්නට බලා සිටිති.
 
හොරොව්පතාන මාවත වැව ගමේ පන්සලද වතුරට යට වී ඇත. එහෙත් ඊට පෙර පන්සලේ තිබූ තරමක් විශාල හිදි පිළිමය පරෙස්සමට නිවසකට ගෙන ගොස් ඇත. දේවාලයේ තත්වයද එසේමය. තම-තමන්ගේ නිවෙස් යට වූවාට දෙවියන් සහ බුදුන් යහතිනි. මිනිසුන්ට ජීවත් වීම ප්‍රශ්නයකි.
 
කුඹුරු සකස් කර දෙන තුරු එක පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 2,000 ක මාසික යැපීමේ දීමනාවක් ගෙවීමට ආණ්ඩුව තීරණය කර ඇත. පවුලේ වැඩිහිටි සාමාජිකයන් හතර දෙනෙකුට 8,000 ක් ලබාගත හැකිය. අවුරුදු 18 ට අඩු නම්, යැපීමේ දීමනා නැත. පවුලේ සාමාජිකයන් හතරට වැඩි නම්, ලැබෙන ගණන 8,000 ඉක්මවන්නේද නැත. එනම් දිනක වියදම රුපියල් හැටේ සීමාවේ තබාගත යුතුය. මේ හාල්, පොල් ඇතිතරම් තිබූ, දැන් සියල්ල කඩෙන් ගත යුතු මිනිසුන් ය.
 
කජුවත්තේ, තුසිතපුරයේ, මල්පෝරුවේ නැවත පදිංචි කළ ස්ථාන ගැන වෙනම ලිවිය යුතුය. බොන්නට දුන් වතුර ලීටර් 20 ත් දැන් ඔවුන්ට0 3 ලැබෙන්නේ නැත. 
 
ව්‍යාපෘතියේ ව්‍යාජ පරිසර ඇගයීම් වාර්තා, අසාර්ථක වීම් සහ මුදල් හොරකම් ගැන ද කතා රැසකි.
 
හිටපු වාරිමාර්ග ඇමති දුමින්ද දිසානායකගේ මස්සිනාවරුන් කරන අවතැන් වූවන් නැවත පදිංචි කරවීමේ සහ ඔවුන්ට යටිතල පහසුකම් සැපයීමේ කොන්ත්‍රාත් ගැනද කතා රැසකි.
 
යළිත් කිව යුතුය. ඒ ජනතාව යළිත් බෙදෙන්නට සූදානම් නැත. 
 
ශාලික විමලසේන