Language Switcher

V2025

ඛේදාන්තයක් වූ ප්‍රංශයේ ගින්න !

ගින්නකින් අර්ධයක් විනාශ වූ පැරිස් නගරයේ සංකේතයක් ලෙස සැලකෙන මධ්‍යතන යුගයට අයත් නොට්‍ර ඩාම් ඓතිහාසික දේවස්ථානය යළි යථාතත්ත්වයට පත් කරන බව ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසයි.

වසර 850ක් පැරණි මෙම ගොතික් සම්ප්‍රදායට අයත් ගොඩනැගිල්ලෙහි ප්‍රධාන කුළුණු දෙකක් ඇතුළු ප්‍රධාන ශෛලමය සැකිල්ල ආරක්ෂා කිරීමට ගිනි නිවන භටයින් සමත් වී ඇති නමුත් එහි වහලය සහ මුදුනත පිහිටි පිරමිඩාකාර කොටස ගින්නෙන් විනාශ වී තිබේ.

ගින්න මැඩ පැවැත්වූ බව නිවේදනය කරනු ලැබුවේ, එය ආරම්භ වී පැය 9කට අධික කාලයක් ගත වීමෙන් පසුවය.

ගින්නට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, එය දේවස්ථානයේ සිදු කරමින් පැවති ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර එය ඇති වූ බව විශ්වාස කෙරේ.

unnamed 2
පැරිස්හි නීතිපති කාර්යාලය පැවසුවේ, මෙම ගින්න හදිසි අනතුරක් ලෙස සලකා මේ වන විට විමර්ශන සිදු කරන බවය. ගින්න නිවීමේ කටයුතුවල නිරතව සිටි ගිනි නිවන භටයෙකු ද බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලබා තිබේ.

එම්මානුවෙල් මැක්‍රෝන්: 'දරුණු ඛේදාන්තයක්'

සඳුදා රාත්‍රියේ ගින්නෙන් දැවුණු දේවස්ථානය වෙත පැමිණි ප්‍රංශ ජනපති මැක්‍රෝන් පැවසුවේ, දේවස්ථානයේ ප්‍රධාන සැකිල්ල ආරක්ෂා කිරීම නිසා "නරක ම තත්ත්වය වැළැක්වී ඇති" බවය. දේවස්ථානය යළි යථාතත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රතිපාදන රැස් කිරීමේ ජාත්‍යන්තර ව්‍යාපෘතියක් අරඹන බව ද ඔහු පැවසීය.

"අපි සියලු දෙනා එක්ව මේ දේවස්ථානය ගොඩ නගමු. මේ කාර්යය ප්‍රංශයේ ඉරණමේ කොටසක් බවට සැකයක් නැහැ. ඉදිරි වසර කිහිපයේ අපේ ව්‍යාපෘතිය මෙය ගොඩ නැගීමයි," මැක්‍රෝන් සඳහන් කළේය.

"මෙය අපේ ඉතිහාසය අපට දුන් දායාදයක්. එය ගොඩ නැගීම ප්‍රංශයේ අපේක්ෂාවයි," හැඟුම්බරව අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ, එය "දරුණු ඛේදාන්තයක්" බවය.

නොට්‍ර ඩාම් ගින්නunnamed 3
ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කළේ, Gucci සහ Yves Saint Laurent නමැති සමාගම් අයත් Kering සමූහයේ සභාපතිවරයා වන ප්‍රංශුවා හෙන්රි පිනෝල්ට් දේවස්ථානය ගොඩ නැගීම සඳහා යුරෝ මිලියන 100ක් දැනටමත් පරිත්‍යාග කර ඇති බවය.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මෙම දේවස්ථානය යළි ගොඩ නැගීම සඳහා මුදල් පරිත්‍යාග කරන ලෙස ප්‍රංශයේ පුණ්‍යායතනයක් වන du Patrimoine ආයතනය ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබේ.

ගින්න
මෙම ගින්න හට ගැනුණේ, ප්‍රංශ වේලාවෙන් පස්වරු 6.30ට (ග්‍රිනිජ් වේලාවෙන් 16:30) පමණ වන අතර එය ක්ෂණයකින් දේවස්ථානයේ වහලය කරා ව්‍යාප්ත වී අසල තිබූ වීදුරු ජනේල සහ දැවමය භාණ්ඩ විනාශ කරමින් මුදුනත පිහිටි පිරමිඩාකාර කොටසට ද පැතිර ගොස් තිබිණි.

unnamed 4
එහි සීනු කුළුණ ඇතුළු ප්‍රධාන කුළුණු කිහිපයක් ගින්නෙන් බේරා ගැනීමට ගිනි නිවන භටයින් පැය ගණනක් දැඩි පරිශ්‍රමයක නිරත වී තිබේ. ගින්නෙන් දේවස්ථානයට සිදුව ඇති හානිය මේ වන විට විමර්ශනය කරමින් පවතී.

ජනාධිපති මැක්‍රෝන් පැවසුවේ, මෙම දේවස්ථානය කිසිදා එහි නොපැමිණි අය ද ඇතුළු "සියලු ප්‍රංශ වැසියන්ට අයත්" එකක් බවය. මේ අතර, ගින්න මැඩ පැවැත්වීම සඳහා මෙහෙයුම්වල නිරත වූ ගිනි නිවන භටයින් 500 දෙනා ඉටු කළ මෙහෙය ද ඔහු අගය කළේය.

'කටු ඔටුන්න'
දේවස්ථානය තුළ තිබූ කලා නිර්මාණ සහ ආගමික වස්තු බේරා ගැනීමට ගිනි නිවන භටයින් සමත් වී තිබේ. ජේසුස් වහන්සේ කුරුසයේ තබා ඇණ ගැසීමට පෙර පැළඳ සිටි 'කටු ඔටුන්න' ලෙස සැලකෙන ඔටුන්න ද නිරූපද්‍රිතව බේරා ගැනීමට මෙහිදී හැකි වී තිබේ. එය තැන්පත් කර තිබුණේ, 12 වන සියවසේදී ඉදි කරන ලද මෙම දේවස්ථානය තුළය.

ප්‍රංශයේ 9 වන ලුවී රජු ජේසුස් වහන්සේගේ 'කටු ඔටුන්න' පැරිස් නුවර කරා රැගෙන එන අවස්ථාවේ ඇඳ සිටි කබාය ද මෙහිදී සුරක්ෂිතව බේරා ගැනීමට හැකිවී තිබේ.

unnamed 5ගින්න පැතිරෙන අයුරු

"දේවස්ථානයේ තිබුණු කලා නිර්මාණ බේරාගෙන ආරක්ෂිත තැනක තියන්න හැකි වුණා," පැරිස්හි නගරාධිපති ඈන් හිඩැල්ගෝ පැවසීය. "මේක ලෝකයට ම සිදුවූ ඛේදාන්තයක්.... නොට්‍ර ඩාම් දේවස්ථානය කියන්නේ පැරිස් නගරයේ ඉතිහාසයයි."

ප්‍රතිචාර: 'ප්‍රංශය ම වැළපෙයි'
දේවස්ථානය ආසන්නයේ පිහිටි වීදිවලට රැස් වූ ප්‍රංශ වැසියන් වැළපෙමින්, යාච්ඤා කරමින් සහ ගීතිකා කියමින් සිටිනු දැකිය හැකිය.

unnamed 6
ගින්න දෙස බලා සිටින පැරිස් වැසියෙක්
unnamed 7
සමහරු හඬා වැළපෙන අයුරු

"නොට්‍ර ඩාම් දැවී ගියා, ප්‍රංශය වගේ ම මුළු ලෝකය ම වැළපෙමින් සිටිනවා. එය අතිශයින් ම සංවේදීයි," පැරිස් රදගුරු මයිකල් අවුපෙටිට් පැවසීය.

වතිකානය මේ සම්බන්ධයෙන් "තැති ගැන්මකට සහ ශෝකයට පත්ව සිටින" බව පවසා ඇති අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පවසා ඇත්තේ, එය "දරුණු" ගින්නක් බවය.

වසරකට සංචාරකයින් මිලියන 13කට වැඩි පිරිසක් පැමිණෙන "මෙම මිල කළ නොහැකි උරුමය ආරක්ෂා කිරීමට ප්‍රංශය සමග" අත්වැල් බැඳ ගන්නා බව යුනෙස්කෝ සංවිධානය පවසා තිබේ.

ජර්මානු චාන්සලර් ඇනජෙලා මර්කල් පවසා ඇත්තේ, Notre-Dame දේවස්ථානය "ප්‍රංශ සහ යුරෝපීය සංස්කෘතියේ සංකේතයක්" බවය.

unnamed 8
දේවස්ථානයේ ඇවිළුණු ගින්න "බලා සිටින්නට නොහැකි තරම් දරුණු වූ" බව පැවසූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර තිබුණේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා "ගුවන් ජල ටැංකි" භාවිත කරන්නට තිබූ බවය.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් ප්‍රංශයේ සිවිල් ආරක්ෂක සේවය පැවසුවේ, "ගුවන් ජල ටැංකි" භාවිත කිරීමෙන් සම්පූර්ණ දේවස්ථානය ම විනාශ වීමේ අවදානමක් පැවති හෙයින් එම විකල්පය අත්හදා නොබැලූ බවය.

 (බීබීසී )