Language Switcher

V2025

තවුහීඩ් ජමාත් අලුත් සංවිධානයක් ද?

මීට අවුරුදු පහලොවකට විතර කලින් මඩකලපු අම්පාර ප්‍රදේශවල මා කරපු සංචාරයකදී අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක කටයුතු ගැන දැනගන්නට ලැබී ඒ ගැන ටිකක් උනන්දු වුනා.

ඒ වන විටත් ආයුධ සන්නද්ධව සිටි මේ කණ්ඩායම කොටි සංවිධානයට පවා තර්ජනයක් වී හිටියා. මේ පිරිස ඉන්න පලාතකටවත් එල්ටීටීඊය ගියේ නැහැ. සමහර අවස්ථාවල මොවුන් මාර්ග බාධක පවා හදලා වාහන පරීක්ෂා කලා. හතුරාගේ හතුරා මිතුරාය යන තර්කය අනුව එදා එල්ටීටීඊයට එරෙහි සංවිධානයක් විදියට ඔවුන්ට විවිධ ආශිර්වාද ලැබුණා. ආයුධ පවා ලැබෙන්න ඇති. විශේෂයෙන්ම ඒ පලාතේ ඇතැම් දේශපාලන නායකයින් ඔවුන්ව ආරක්ෂා කලා. පෝෂණය කලා.

මේ කියන කාලය වෙනවිට අශ්‍ රොෆ් මිය ගිහින් හුගක් කල්.

ඒ කීප දෙනෙක් එක්ක හමුවෙලා කතා කරන්න මට පුලුවන් උනා. ඒ කාත්තන්කුඩිවල දී. ඔවුන් කවුද කියාවත් දැන් මට මතක නැහැ. ඒත් ඔවුන් මා එක්ක ඉතා සුහදව කතා කලා. නමුත් ඉතා පටු ආගමික රාමුවක ඔවුන් හිරවෙලා සිය මතවාදය කොහොම හරි ජයගන්න අධිශ්ඨානයක් තිබුනු බව පෙනුනා. එල්ටීටීඊය වගේ ඔවුන් දේශපාලනික නැහැ. දැඩිව ආගමිකයි. ඒ නිසා සාකච්ඡාව සම්මුතිය අපහසුයි.

ඒ පලාතේ මධ්‍යස්ත මතධාරී මුස්ලිම්වරුන්ටත් මොවුන් ප්‍රශ්නයක් වී තිබුනා. මේ කණ්ඩායම වැඩ කලේ අන්තවාදීවයි. කොළඹ ජුම්මා පල්ලිය රාමසාන් නව සද නිවේදනය කරන්න දවසකට විතර කලින් ඔවුන් නව සද නිවේදනය කරනවා. ඒ ඉන්දුනීසියාවේ හද දැක්කාම ලු. ජුම්මා පල්ලියේ මතයට විරුද්ධව ඔවුන් එලිපිට කතා කරනවා. ඔවුන්ට විරුද්ධ පාර්ශවයේ කෙනෙක්ගෙ මළ සිරුරක් ඔවුන්ට වෙන් වූ සොහොනක නිදන් කලොත් මිනී වල හාරලා ගොඩ අරගෙන එලියට විසි කරලා දානවා. මේවා මට නැගෙනහිර දී එදා ඇහිච්ච දේවල්.
මේ සංවිධානයට විදේශ රටක අරමුදල් ලැබුණා කියා මා හිතනවා. ඔවුන් ඒ රටවල ක්‍රියාත්මක වහාබි දහමට අනුව ක්‍රියා කලාද?

නමුත් මේ සංවිධානය ගැන මධ්‍යස්ත මතධාරී මුස්ලිම්වරුන් ද ඇතුලුව බොහෝ අය දැනුවත්ව, විමසිල්ලෙන් හිටියත් ඔවුන් පිටු දකින්න, ඔවුන්ගේ මතවාදය පරාජය කරන්න බැරි වෙලා තියෙනවා. ඔවුන්ට විරුද්ධව නැගෙනහිර මුස්ලිම්වරු පාරට බැහැලා උද්ඝෝෂණ කලා. පෙලපාලි ගියා. එතකොට පරක්කු වැඩි ද මන්දා. මේ ගැන මම මගේ ලිපිවලිනුත් විශේෂයෙන්ම මධ්‍යස්ත මතධාරී මුස්ලිම්වරුන්ට අනතුරු අගවලා තියෙනවා. (නැගෙනහිර සන්නද්ධ දේශපාලනය සහ එහි ආගමික නැඹුරුව ගැන අපි දන්නෙ බොහොම ටිකයි).
ඊට පස්සෙත් මේ අය ගැන ටිකක් සෝදිසියෙන් හිටියා. මම රජයේ තනතුරු දරන කාලය වනවිට ඔවුන් රට පුරා විහිදිලා හිටියා විතරක් නෙමෙයි ශක්තිමත්ව ජාලගතවෙලා හිටි බවත් පේන්න තිබුනා.

බොහෝ අවස්ථාවල ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය ගැන අපි විශ්ලේෂණය කරලා වාර්තා ඉදිරිපත් කලා. වරින් වර ඔවුන් එකා දෙන්නා විවිධ චෝදනා මත අත් අඩංගුවට පත්වුනත්, ඉතා ඉක්මනට ඔවුන්ට ඇප ලැබුණු බවක් පේන්න තිබුණා. සමහරවිට දේශපාලනය මැදිහත් වෙන්න ඇති.

ඒ එදා අවුරුදු පහලොවකට විතර කලින් ඇසූ දේත් ගිය පාස්කු ඉරිදා සිදු වූ දෙයත් සංසංදනය කරන කොට, මෙවැනි ප්‍රබල සංවිධානාත්මක ප්‍රහාරයක් කරන්න ඔවුන්ට බැරි කමක් නැහැ. සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයා කීවා වගේ රන්ජන් විජේරත්නට බෝම්බය සැලසුම් කරන්න එල්ටීටීඊයට අවුරුදු දොලහක් ගියා. අද එච්චර කල් යන්නෙ නැහැ.

ISIS සංවිධානය සහ මේ අය අතර තියෙන බැදියාව ගැනත් යමක් කිව යුතුයි. තවදුරටත් ISIS කියන්නේ සිරියාවට ඉරාකයට පමණක් කොටු වූ සංවිධානයක් නෙමෙයි. මීට දෙවසරකට විතර කලින් පිලිපීනයේ මරාවී ප්‍රදේශය යටත් කරගත්තු BIFF සංවිධානය මුලුමනින්ම දේශීය කණ්ඩායමක්. ඒත් ඔවුන් ISIS ට න්‍යායිකව සහ මතවාදීව සම්බන්ධයි විතරක් නෙමෙයි ඔවුන්ගෙන් තාක්ෂණික හා ප්‍රායෝගික දැනුමත් ලැබෙනවා. ISIS විතරක් නෙමෙයි, ඊට කලින් තිබූ අල් කයිඩා සංවිධානය පවා ලෝකය පුරා රටවල ක්‍රියාත්මක වුනේ ඒ ඒ රටවල ස්වෙච්ඡාවෙන් ම ජිහාඩ් අරමුණෙන් පිහිටුවාගත් සංවිධාන හරහා. ඒ දේශීය සංවිධාන කරන දේශීය ප්‍රහාරවල වගකීම ඔවුන් අන්තර්ජාතිකව පිලිගන්නෙ තම සංවිධානයේ profile එක ඉහල නංවන්න වගේම තව තව රටවල සංවිධාන හා පුද්ගලයන් ඊට නතු කරගන්න.
තව කාරණයක් කියන්න ඕනෙ. සිරියාවෙ ISIS සටන් බිමට දහස් ගණන් ඉස්ලාමිය අන්තවාදී සටන් කරුවො ජිහාඩ් නාමයෙන් විවිධ රටවලින් ගියා. ලංකාවෙනුත් සිය ගණනක් ගිය බවට වාර්තා තියෙනවා. ඒ අය ආපහු එන්නෙ සටන් බිමේ හොඳ අත්දැකීම් සහ පුහුණුවක් අරගෙන. ඒ පුහුණුව සමහර විට එල්ටීටීඊයට වඩා දරුණු වෙන්න පුලුවන්. ඒ එක්කම මාලදිවයින, පාකිස්තානය, බංග්ලාදේශය සහ සමහර විට ඉන්දුනීසියාව වගේ රටවලින් සිරියාවට ගිය හෝ යන සටන් කරුවො යන්නෙ ලංකාව හරහා. විශේෂයෙන්ම පාකිස්තාන සහ මාල දිවයින් සටන් කරුවො වැඩියෙන්ම ගියේ ලංකාව හරහා. එහෙම යන අතරෙ ලංකාවෙ සතියක් දෙකක් නතර වෙලා "යාලු මිත්‍රයො" එහෙම බලලා නොයාවිද?

එක රටක විතරක් භූමියෙ අයිතිය සදහා දේශපාලන සටනක යෙදුනු එල්ටීටීඊයටත් ප්‍රබල ජාත්‍යන්තර ජාලයක් තිබුනා නම් එකම ගෝලීය ආගමික මතවාදයක ඉන්න පිරිසකට කොහොමට ප්‍රබල අන්තර්ජාතික ජාලයක් තියෙන්න පුලුවන් ද?

මේක කියවනකොට බොහෝ ප්‍රශ්න හිතට ඒවි. කොහොමත් මේ සිද්ධ වුනේ තවත් මහා ප්‍රශ්න වැලක ආරම්භයක්. ඒවට උත්තර හොයන්න ලේසි නැහැ. ඒත් 83 කලා වගේ කලබල ඇති උනොත්, ISIS ලාටත්, ඒ අයගෙ ගෝල බාල සංවිධානවලටත් ඊට වඩා කරන්න පුලුවන් ලොකු උදව්වක් තවත් නැහැ. එදා එල්ටීටීඊය මුලින්ම පෝෂණය උනේ 83 ජූලි කලබල වලින්. දෙමළ තරුණ තරුණියො කොටි කදවුරු ඉස්සරහ කොච්චර පෝලිම් ගැහුනද කිව්වොත් සමහරු ආපහු හරවලා යවන්න සිද්ධ වුනු බව මට කිව්වෙ සාම සාකච්ඡා කාලෙ කිලිනොච්චියෙදි මට හමුවෙච්චි කොටි මේජර් සුරේෂ්. ඔහු එල්ටීටීඊයට බැදෙන්නෙත් 83 කලබලවලට පලි ගන්න. අපි තව්හීඩ් ජමාත් සංවිධානයටත් ඒ උදව්ව නොකර ඉමු.

(මේ කියූ කවර හෝ කරුණක් සම්බන්ධයෙන් මා වැරදි නම් කරුණාකර නිවැරැදි කරන්න).

රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ : රංග කලන්සූරිය
(ෆේස් බුක් සටහනක් )