Language Switcher

V2025

ස්පාඤ්ඤය දෙසින් එන සුළඟ..!

පසුගියදා පැවති ස්පාඤ්ඤ මැතිවරණයේදී මධ්‍ය-වාමාංශික සමාජවාදී පක්ෂය ජයග්‍රහණය කළේය;

ඒ 29% කට ආසන්න ජන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින්ය. පැබ්ලෝ ඉග්ලේශියස් ගේ පොඩෙමොස් සංධානය මෙවර 14% කට වඩා ජන්ද ප්‍රමාණයක් දිනා ගත්තේය. 2015 වසරේ ග්‍රීසියේ සිරිසාහි ජයෙන් බලපෑමට ලක් වූ පොඩෙමොස් සන්ධානය වාමාංශික ජනප්‍රියවාදී/ජනතාවාදී ධාරාව නියෝජනය කරයි.

මෙවර ඔවුන්ට දිනා ගත හැකි වූයේ 2016 දී ඔවුන් දිනා ගත් ආසන සංඛ්‍යාවට වඩා අඩු සංඛ්‍යාවක් බව සැබෑය. නමුත්, සමාජවාදී පක්ෂය සමග එක්ව සභාග ආණ්ඩුවක් ගොඩ නැගීමේ හැකියාව තවමත් ඔවුන් සතුය (ඒ සඳහා කැටලෝනියාව ඇතුළු ප්‍රදේශවල ප්‍රාදේශීය කුඩා පක්ෂවල සහයෝගය දිනාගත යුතුව ඇත).

නොඑසේනම්, බිහිවනු ඇත්තේ සුළුතර ආණ්ඩුවකි.
මෙවර මැතිවරණයේදී කැපී පෙනෙන සිද්ධියක් වූයේ අන්ත-දක්ෂිණාංශික වොක්ස් පක්ෂය සැලකිය යුතු ජන්ද සංඛ්‍යාවක් (10%) දිනා ගැනීමත්, ඊට සමගාමීව සාම්ප්‍රදායික දක්ෂිණාංශික ජනතා පක්ෂය විශාල පසුබෑමකට ලක් වීමත්ය.

ස්පාඤ්ඤය තුළ පැහැදිලි බලයක් කිසිදු තනි කඳවුරක් සතුව නොමැත. බලවේග අතර තියුණු ධ්‍රැවීයකරණයක් වෙනුවට ඇත්තේ බහු-විධ කඳවුරුගත වීමකි. ඒ අනුව, වත්මන් දේශපාලන අර්බුදය තවත් දිගට ඇදෙනු ඇත.
නමුත්, එක් කරුණක් ඉතාම පැහැදිලිය. එනම්, වාමාංශික මෙන්ම දක්ෂිණාංශික ජනප්‍රියවාදී දේශපාලනයේ ප්‍රවණතාත්මක වර්ධනයයි. යුරෝපයේ 1990 දශකයේ ගොඩ නැගුණු ලිබරල් සම්මුතිකවාදී දේශපාලනය (නොහොත්, ටෝනි බ්ලෙයාර්ගේ ඊනියා තුන්වන මාවත) අවසන් බවට තවත් සංඥාවකි, මෙය. සම්මුතිකවාදයේ කෙළවරදී මුණ ගැසෙන්නේ ජනප්‍රියවාදයක් බව ශන්තාල් මූෆ් 2005 දී (On the Political) පවසන විට එය බරපතලව භාර ගත්තේ සුළු පිරිසකි (ඇයගේ ශිෂ්‍යයෙකු වන ඉග්ලේශියස් ඒ අතුරින් කෙනෙකි).

ලංකාවේද ලිබරල්වාදී බුද්ධිමතුන් වටහා නොගන්නේ දක්ෂිණාංශික ජනප්‍රියවාදයක නැගීම සඳහා අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කරන්නේ නව-ලිබරල් යහපාලනය විසින්ම බවයි.

පසුගිය පාස්කු ඉරිදා සිදු වූ තුච්ජ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව අපේ රටේ ප්‍රචලිත වෙමින් පවතින පොදුජන අවබෝධය (common-sense) නම් දේශපාලකයන් කෙරෙහි ඇති පොදු විරෝධයයි. මේ මනෝභාවය සංවිධානය කිරීමට සමත් වන බලවේගය ඉදිරි ජනප්‍රියවාදී අරගලයක වැඩි වාසියක් අත්පත් කරගනු ඇත.

වාමාංශය මේ නව අවකාශය කෙරෙහි සංවේදී විය යුතුය. "දේශපාලන ප්‍රභූ-තන්ත්‍රයට එරෙහිව ජනතා බලයක් ගොඩ නැගීම" (People Against Political Elite) මේ මොහොතේ ජවිපෙ-පෙසප ඇතුළු පක්ෂ විසින් තෝරා ගත යුතු සටන් පාඨයයි.

-සුමිත් චාමින්ද
30/04/2019