Language Switcher

V2025

අන්තවාදී අදහස් වපුරන ෆේස්බුක් ගිණුම් තහනම් !

ත්‍රස්තවාදී සංවිධාන මගින් නිකුත් කරන ප්‍රකාශන සහ අන්තර්ජාලයේ මහා පරිමාණයෙන් හුවමාරු වෙමින් පවතින අන්තවාදී අදහස් පාලනය කිරීමේ සැලැස්මක් 'ෆේස්බුක්' (Face Book) ජාලය මගින් නිවේදනය කර ඇත.

එම තීරණය ප්‍රකාශයට පත් කරන ලද්දේ, නවසීලන්තයේ 'ක්‍රයිස්ට්චර්ච්' (Christchurch) නගරයේ මුස්ලිම් පල්ලියකට එල්ල කෙරුණ ප්‍රහාරයෙන් පසු පැරිස් නගරයේ කැඳවන ලද සමුළුවකදීය.

තමන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ දැනට බල පැවැත්වෙන නව රෙගුලාසි නොතකා හරිමින් ඒවා උල්ලංඝණයකරමින් පළ කෙරෙන අදහස්වලට තහංචි දැමීම අතින් 'දැඩි පිළිවෙතක්' අනුගමනය කරන බව 'ෆේස්බුක්' (Facebook) බලධාරීහු පවසති.

මේ අනුව එම නව රෙගුලාසි කඩ කරන ග්‍රාහකයන්ගේ ගිණුම් තාවකාලිකව හෝ ස්ථිර මට්ටමින් අත්හිටුවීම සඳහා ෆේස් බුක් ජාලය හසුරවන්නන් විසින් පියවර ගනු ලැබීමට ඉඩකඩ ඇත.

එම පියවර සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩර්න් (Jacinda Ardern) එය විග්‍රහ කරන ලද්දේ, "යහපත් පළමු පියවරක්" හැටියටය.

තුවක්කුකරුවෙකු පසුගිය මාර්තු මාසයේ 'ක්‍රයිස්ට්චර්ච්' (Christchurch)නගරයේ මුස්ලිම් පල්ලියට එල්ල කළ ප්‍රහාරයේදී ජීවිත පනස් එකක් විනාශ විය.

පැරිස් සමුළුවේ තීරණ

'ෆේස් බුක්' ජාලය ඉහත සඳහන් කළ සිය නව ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලද 'පැරිස් සමුළුවේ' මුලසුන දරන ලද්දේ නවසීලන්ත අගමැතිවරිය සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් (Emmanuel Macron) විසිනි.

2

එම පැරිස් සමුළුවේ ඉලක්කය වුණේ 'ත්‍රස්තවාදය සංවිධානගත වීම සහ එහි ව්‍යාප්තිය සඳහා සමාජ මාධ්‍ය ජාලා යොදා ගනු ලැබීම නතර කිරීම සඳහා ඇති ජාත්‍යන්තර ප්‍රයත්නය සම්බන්ධීකරණය' සඳහා පියවර ගැනීමය.

ඒ අනුව යුරෝපය, කැනඩාව සහ මැද පෙරදිග දේශපාලන නායකයන් ඉදිරි කාලය තුළ ෆේස්බුක්, ගූගල් සහ ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාලයන්හි බලධාරීන් මුණ ගැසෙන අතර, ත්‍රස්තවාදී මූලයන් මුලිනුපුටා දැමීම සඳහා විනිවිදභාවයෙන් යුක්ත සුවිශේෂී ක්‍රියාමාර්ග ගැනීම අතින් සහයෝගයෙන් කටයුතු කිරීමේ ඉල්ලීම ඇතුළත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කරනු ඇත.

"ත්‍රස්තවාදයට සහ එවැනි ක්‍රියාවන්ට උල්පන්දම් දෙන ප්‍රකාශන අන්තර්ජාලයේ හුවමාරු වීම නිසා ඒවාට ගොදුරුවන්නන්ගේ මහජන අයිතිවාසිකම් කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කරන අතර සමස්ත ලෝක ප්‍රජාවේ සහ අපගේ සාමූහික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිඥා දෙන බව," පැරිස් සමුළු ප්‍රකාශනය මගින් කියැවෙයි.

ත්‍රස්ත ප්‍රකාශන අන්තර්ජාලයේ හුවමාරු වීම වළක්වාලීම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන මෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ (Theresa May) ලෝකයේ ආණ්ඩුවලින් සහ තාක්‍ෂණික සමාගම්වලින් ඉල්ලා සිටිනු ඇත.

"වීඩියෝ පට පහළොස් ලක්‍ෂයක් සිය අඩවිවලින් ඉවත් කිරීමට ෆේස් බුක් ජාලයට සිදුවීම අප විසින් ගනු ලැබිය යුතු තවත් බොහෝ පියවර ඇති බව දැඩිව පෙන්වා දීමක්," යයි බ්‍රිතාන්‍ය අගමැතිවරිය සඳහන් කළාය.

පැරිස් සමුළුව ආරම්භ වීමට පෙර ප්‍රකාශයක් කළ අගමැතිවරිය "තාක්ෂණමය සංවර්ධනයේ කඩිනම් වෙනස හමුවේ ඊට මුහුණ දීම සහ අපගේ ප්‍රතිචාරය අතර පවතින හිඩැස අන්තවාදී ප්‍රහාරාත්මක ප්‍රකාශන ව්‍යාප්තියේ උපාය මාර්ග තුළින් අණාවරණය විණැයි," සඳහන් කළාය.

"පැරිස් නගරයේ රැස් වෙන ආණ්ඩු සහ අන්තර්ජාල සමාගම්වලට මම දෙන පණිවුඩය මෙයයි. ඕනෑ ම මට්ටමක වෛරී ප්‍රකාශනයක් අන්තර්ජාලයේ හුවමාරු වීම නතර කිරීම සඳහා අපගේ සංයුක්තමය තාක්‍ෂණික ශක්‍යතාව එකමුතු සහ දැඩි මට්ටමින් ක්‍රියාවට නැංවිය යුතුව තියෙනවා," බ්‍රිතාන්‍ය අගමැතිවරිය පවසන්නීය.

3 1

ෆේස්බුක් තීන්දු මොනවාද?

ත්‍රස්තවාදී සංවිධානයක් විසින් නිකුත් කරන ලද ත්‍රස්ත අදහස් අන්තර්ගත ප්‍රකාශනයක් වැනි දෙයක් සංදර්භයට පටහැනිව කිසිවෙකු විසින් හුවමාරු කර ගනු ලබන්නේ නම්, දවස් තිහක් වැනි නිශ්චිත කාල පරාසයක් තුළ ඔවුන්ගේ ගිණුම් අත්හිටුවීමට පියවර ගන්නා බව ෆේස් බුක් බලධාරීන්ගේ නිවේදනයක දැක්වෙයි.

එපමණක් නොව, ෆේස් බුක් ජාලයේ වෙළෙඳ දැන්වීම් අංශය ඇතුළු වෙනත් ප්‍රකාශන ශීර්ෂයන් කෙරෙහිද ඉදිරි සතිවල පටන් බලපැවැත්වෙන මට්ටමින් එකී නව රෙගුලාසි තවත් පුළුල් කරන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

'ක්‍රයිස්ට්චර්ච්' නගරයේ එල්ල කෙරුණ ප්‍රහාරය අළලා සිය ඇතැම් ගනුදෙනුකරුවන් විසින් දැනට පවතින අධීක්‍ෂණ යාන්ත්‍රණය නොමග යවමින් සංස්කරණය කරන ලද ප්‍රකාශන පළ කරනු ලැබීමෙන් පසු, එවැනි තහනම් ප්‍රකාශන ස්වයංක්‍රීය මට්ටමින් අධීක්‍ෂණය සඳහා පර්යේෂණාත්මක හවුල් වැඩ පිළිවෙළක් දෙසට යොමුවීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ හැත්තෑ පහක් යොදවන බවට ද ෆේස් බුක් ජාලය ප්‍රතිඥාවක් දී ඇත.

"අපේ ඉලක්කය මහ ජනතාව එවැනි ප්‍රකාශන වෙත සමීප වීම අක්‍රීය කරන අතරවාරයේ එවැනි අපහරණයන්හි අනතුර අවම කිරීමයි," ෆේස්බුක් ජාලය නව රෙගුලාසි සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මගින් කියා සිටියි.

4

ෆේස්බුක් ජාලයේ නිලධාරීන් වගකීමෙන් තොරව කටයුතු කළ බවට 'ක්‍රයිස්ට්චර්ච්' ප්‍රහාරය සාකච්ඡාවට ගැනෙමින් තිබුණ අවධියේ දැඩි විවේචන එල්ල වෙමින් තිබිණි.

"පළ කෙරෙමින් පවතින අනිසි ප්‍රකාශන හමුවේ ඔබ නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටීම අපගේ මෙම කනගාටු සමයේ අපට කරන අපහාසයක්," යයි පවසමින් නවසීලන්තයේ මිනිස් පෞද්ගලිකත්වය සුරැකීමේ කොමසාරිස්වරයා 'ක්‍රයිස්ට්චර්ච්' ප්‍රහාරය දිනවල ෆේස් බුක් විධායක නිලධාරීන්ට විද්‍යුත් තැපැල් පණිවුඩ යවා ඇති බව 'නවසීලන්ත හෙරල්ඩ්' පුවත්පත වාර්තා කරයි.