Language Switcher

V2025

වෘත්තීය සෙල්ලමක් වූ ගෑස් මිලදී ගැනීම

මුදල් අමාත්‍ය මංගල සමරවීර ලිට්රෝ ගෑස් සමාගම සඳහා පත් කරන ලද නව අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියාත්මක වීම වලක්වමින් කොළඹ වානිජ මහාධිකරණය මැයි 15 වැනිදා නියෝගයක් නිකුත් කරනු ලැබීය. ලිට්රෝ ගෑස් සමාගමේ කළමණාකර අධ්‍යක්ෂක මුදිත පීරිස් ඇතුළු අධ්‍යක්ෂවරු හතර දෙනෙක් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසු වාණිජ මහාධිකරණය එම නියෝගය නිකුත් කර තිබුණි.

පෙත්සමින් පෙන්වා දී තිබුණේ ලිට්රෝ ගෑස් සමාගමේ කොටස් අයිතිය මුදල් අමාත්‍යංශයට නොමැති බැවින් මුදල් අමාත්‍යවරයාට එම පත් කිරීම් සිදු කිරීමට බලයක් නොමැති බවයි.
මැයි 28 වැනිදා නැවත එම පෙත්සම සලකා බැලීමෙන් පසුව ඒ පිළිබඳ විරෝධතා ඉතිරිපත් කිරීමට ජූනි 03 වැනිදා ඉඩ දී තිබුණි.

මුදල් අමාත්‍ය මංගල සමරවීම ලිට්රෝ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කරමින් නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කර තිබුණේ පසුගිය පෙබරවාරි 25 වැනිදායි.

එදින සිට අභියාචනාධිකරණය වාරණ නියෝගය ලබා දෙන තෙක් මුදිත පීරිස් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය නව අධ්‍යක්ෂක මණ්ඩලයට ඉඩ නොදී එම තනතුරුවලම කටයුතු කර තිබුණි.

මේ ලිපියෙන් මතු කරන්නට යන්නේ එම නඩුවවත් නඩුවට අදාළ කාරණා ගැනවත් නොවේ. ලිට්රෝ ගෑස් සමාගම ගැනය. එහි ප්‍රධානතම ව්‍යාපාර කටයුත්ත වන ගෑස් මිලදී ගැනීම පිළිබඳවය. ඒ වටා පසුගිය කාලයේ සිදුවී ඇති සිදුවීම් පිළිබඳවය. ඉහත නඩු නිමිත්ත ඊට පෙළඹවීම ඇති කෙරුවා පමණය. ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස වාර්ෂිකව මිලදී ගන්නා දෙවන විශාලතම ද්‍රව්‍යයක් වශයෙන් සැලකිය හැක්කේ එල්පී ගෑස් ය. ඊට දෙවැනි වන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව මිලට ගන්නා ඉන්ධන පමණි. සාමාන්‍යයෙන් රටේ වෙළෙඳපොළ අවශ්‍යතාවයට ලිට්රෝ ගෑස් සමාගම වාර්ෂික එල්පී ගෑස් මෙට්‍රික් ටොන් 350,000ක් පමණ මිලදී ගනී.

වර්තමාන සවුදි ඇරැම්කෝ මිල අනුව එල්පී ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 530ක් පමණ වේ. (රුපියල් 90,000ක් පමණය) නැව් ගාස්තු, රක්ෂණය ආදී ගෑස් සැපයීමේදී එකතුවන ගාස්තු ඊට අයත් නැත. ලිට්රෝ ගෑස් සමාගම 2018-2019වර්ෂය සඳහා සීමාසහිත ඔ්මාන් ට්‍රේඩීන් සමාගමෙන් මිලදී ගන්නා ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා සවුදි අරැම්කෝ මිලට අමතරව ගෙවන ගාස්තුව ඇමරිකානු ඩොලර් 67.50 වෙයි. ඒ අනුව ශ්‍රී ලංකාව හෙවත් ලිට්ට්‍රෝ ගෑස් සමාගම මිලදී ගන්නා ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 600 ක පමණ මුදලක් වැය කරයි. රුපියල්වලින් නම් 102, 000 පමණ වැය කරයි. එම ගණන වාර්ෂික ගෑස් අවශ්‍යතාව සමග සැසඳූ කළ වර්ෂයකට රුපියල් මිලියන 35,700ක පමණ ගනුදෙනුවකි.

එවන් ගනුදෙනුවක් සඳහා ආශක්ත නොවන්නේ කවුරුන්ද? එවන් ගනුදෙනුවක් හෙවත් සැපයුමක් ලබා දෙනවා නම් ඊට කෘතගුණ සඳහා යමක් ලබා නොදෙන සැපයුම්කරුවන් සිටීද? එසේම එවැනි සැපයුමක් ලබා දීම සඳහා පෙරළා යාමක් බලාපොරොත්තු නොවන පෘතග්ජනයින් රාජ්‍ය ආයතනවල සිටිත්ද?

ලංකාව වැනි රටවලදී මෙවැනි ගනුදෙනුවලට දේශපාලන අධිකාරියද, ඔවුන්ගේ නියෝජිතයින්ද, නිලධාරී තන්ත්‍රයද විශේෂ උනන්දුවක් දක්වන බවට සැක නැත. අහවල් විෂය මටම දෙන්න යැයි දේශපාලඥයන් ඉල්ලන්නේ ඒ නිසාය. අහවල් තනතුර මටම දෙන්න යැයි නිලධාරීන් බැගෑපත් වන්නේ ඒ නිසාය. මේ නම් රට ගැන ඇති ආදරයකට නොවන බව කරුණු දන්නා අය දනිති.

2018-2019 වර්ෂයට අදාළ ලිට්ට්‍රෝ ගෑස් සමාගම ගෑස් කොන්ත්‍රාත්තුව අවසන් වන්නට නියමිතව ඇත්තේ 2019 ඔක්තොම්බර් මාසයේදීය. එය එම කාලයට අදාළව හිමිකරගෙන ඇත්තේ සීමාසහිත ඔ්මාන් ට්‍රේඩින් ඉන්ටර්නැෂනල් සමාගමේය. එම සමාගමේ මීට වසර කිහිපයකට පෙර ලිට්රෝ සමාගමට ගෑස් සපයා ඇත. පසුගිය 2017 - 2018 වසරට අදාළ ගෑස් සැපයීමේ තරඟයටද ඔවුන් ඉදිරිපත් වී ඇත. එහෙත් අඩුම මිල ඉදිරිපත් කළත් තාක්ෂණික ඇගයීම කමිටුව එම වසරේදී එම සමාගම තෝරාගෙන නැත. ටෙන්ඩරය ලබාදී ඇත්තේ ෂෙල් ඉන්ටර්නැෂනල් ඊස්ටන් ට්‍රේඩින් සමාගමය.

මෙම ටෙන්ඩරයේදී මිල ගණන තීරණය කරනු ලබන්නේ සවුදි ඇරැම්කෝ මිල නොමැතිව නැව් ගාස්තු, රක්ෂණය ඇතුළු අනෙකුත් ගාස්තු සඳහා අය කරන මිල පදනම් කරගෙනය. ඒ අනුව ඔ්මාන් ට්‍රේඩින් ඉන්ටර්නැෂනල් සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා අනෙකුත් ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් 48ක් ඉදිරිපත් කරද්දී ෂෙල් ඉන්ටර්නැෂනල් ඊස්ටන් සමාගම ඉදිරිපත් කර ඇති මිල වන්නේ ඩොලර් 49ක් ය. එහෙත් සුදුස්සා ලෙස ෂෙල් ඉන්ටර්නැෂනල් ඊස්ටන් සමාගම තෝරාගැනීමෙන් පසු ඔවුන් ඉදිරිපත් කළ මිළ සමාගම කේවල් කිරීමට ගොස් ඔ්මාන් ට්‍රේඩින් මිලට වඩා අඩු මුදලකට හෙවත් ඩොලර් 47.50ක එකඟතාවයකට පැමිණ එම වසරට අදාළ ටෙන්ඩර් ෂෙල් ඊස්ටන් සමාගම ලබා දී තිබේ.
මිල කේවල් කිරීමේ සාකච්ඡාවක් ඔ්මාන් සමාගම සමග පවැත්වූවා නම් එම සමාගම ඉදිරිපත් කළ මිල තවත් අඩුකර ගැනීමේ හැකියාවක් නොතිබූ බවක් කා හට හෝ කිව හැකිද? එහෙත් ඔ්මාන් සමාගම සමග එවැනි සාකච්ඡාවකට ඒ අවස්ථාවේ ගොස් නැත.

එම ටෙන්ඩරය ලබා දෙන අවස්ථාවේත් ෂෙල් ඊස්ටන් සමාගම ලබා දුන් බැඳුම්කරයේ ප්‍රශ්නයක් තිබී ඇත. ඒ ලිට්ට්‍රෝ සමාගම ඉදිරිපත් කළ ආකෘතියක් අනුව එම බැඳුම්කරය සකස්වී නොතිබීමත් එංගලන්ත නීතිය අනුව එය සකස්වී තිබීමත්ය. එසේ වුවද ෂෙල් ටෙන්ඩර් අයදුම් පත එම අවස්ථාවේදී ප්‍රතික්ෂේප වී නැත. එහෙත් බැඳුම්කරය නිවැරදි නොවීම මත තාක්ෂණික ඇගයීම් අවස්ථාවේම සමාගම් නුසුදුසු කරන ලද අවස්ථා ඊට පෙර තිබී ඇත.

එපමණක් නොව මේ තාක්ෂණික කමිටුවට ඇති එක් ප්‍රධානතම චෝදනාවක් වන්නේ යම් යම් සමාගම්වල වාසි දායක වන අයුරින්ම මිලදී ගැනීමේ අවශ්‍යතාවයන් සකස් කර තිබූ බවය. ඇණයුම් කිරීමෙන් පසු දින කීයක් ඇතුළත එම ඇණවුම් ලබාදිය යුතුද යන්න කොන්දේසි එයය. එය තනිකරම ෂෙල් ඊස්ටන් සමාගම වෙනුවෙන් සකස්කරන ලද කොන්දේසියක් බව මේ පිළිබඳ නිරීක්ෂණය කළ අයගේ මතයය. ෂෙල් ඊස්ටන් සමාගම මේ ගෑස් සැපයුම් නෟකාවක් මාලදිවයින අසල පසුගිය වසර කිහිපයේ නවතා තිබීම අසාධාරණය ලෙස සකස්කර තිබූ එම කොන්දේසිය හේතු වී ඇත. එම නිසා තාක්ෂණික ඇගයීමේදී ඇණයුම් කර දිනක් ඇතුලත ගෑස් සපයීමේ හැකියාව තිබී ඇත්තේ ෂෙල් ඊස්ටන් සමාගම පමණය. එම වාසිදායක කොන්දේසියෙන් ෂෙල් සමාගම පසුගිය වසර කිහිපයේම ටෙන්ඩර් දිනාගෙන ඇත. එහෙත් මාලදිවයින අසල තිබුණු ෂෙල් නෟකාව ඉවත්වීමත් සමග අපේ කපිතාන්ගේ අවධානය ඔමාන් සමාගම වෙත යොමුවී ඇත. 2018-2019 ටෙන්ඩරය ඔ්මාන් සමාගමට ලැබී ඇත්තේ ඒ අනුවය.

මේ ගෑස් ටෙන්ඩරයේදී අමාත්‍ය මණ්ඩල ස්ථාවර ප්‍රසම්පාදන හෙවත් ටෙන්ඩර් කමිටුවක් පවතින අතර තාක්ෂණික ඇගයීම් කමිටුවක් පවතී. මේ තාක්ෂණික ඇගයීම් කමිටුව ලිට්රෝ සමාගමෙන් පසුගිය වසර කිහිපයේදීම පැමිණ ඇත්තේ එකම පිරිසකි. ඒ එකම පිරිස තාක්ෂණික ඇගයීමේදී කළ යුත්තේ කුමක්දැයි ඔවුන් ඉහළින් ලබාදුන් උපදෙස් ඉටු කර ඇති බව පෙනී යන්නේ මේ සියල්ලන්ටම වාගේ පසුගිය කාලයේ උසස් වීම් ලැබීමත්, මීට පෙර සිදුවී නැති ලෙස සමහරුන්ට අධ්‍යක්ෂක තනතුරු දක්වා උසස් වීම් ලැබීමත් හේතුවෙන්ය.
එමෙන්ම අමාත්‍ය මණ්ඩල ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ රැස්වීම්වලට දෙශපාලන පත්වීම්ධාරියෙකු ලිට්රෝ කළමනාකර අධ්‍යක්ෂක මුදිත පීරිස් හා එහි නිලධාරීන් පිරිසක් ද සහභාගි වී ඇත. ඒ අතර තාකෂණික ඇගයීම් කමිටු නියෝජනය කළ ලිට්රෝ සමාගමේ නියෝජිතයින්ද සිට ඇත. මේ නම් වචනයෙන් කිව නොහැකි අමුතු අප්‍රබංසයකි.
ගෑස් මිල දී ගැනීම යනු ඒ අනුව හොඳ වෘත්තීය මට්ටමේ සෙල්ලමක් බව වටහා ගත හැකිය.

අනිද්දා