"පාදඩ පන්තියක්" දේශපාලනයට පිවිසීම නිසා ශ්‍රී ලංකාවේ දේශපාලනික ක්‍රියාවලිය අතිශය අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇතැයි රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දිමා විජේසුන්දර පවසයි.
බීබීසී සිංහල සේවය සමග ඇය එසේ පැවසුවේ, පසුගිය දා නිට්ටඹුව කළගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ ආරක්ෂකයින් යැයි ඇඟවුණු පිරිසක් වෑන් රථයකට පහර දීමේ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමිනි.
පසුගිය ජූලි 18 වන දා නිට්ටඹුව, කළගෙඩිහේන ප්‍රදේශයේදී මෙම සිද්ධිය වාර්තා විය.
ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින පෞද්ගලික උපකාරක පන්ති පවත්වන පුද්ගලයෙකුගේ ආරක්ෂකයින් බව කියන පිරිසක් සිය රථය ඉදිරියෙන් ධාවනය වූ වෑන් රථයක් මග හරස් කළ බව පවසමින් වෑන් රථයේ රියැදුරුට තර්ජනය කර වෑන් රථයට පහර දෙන ආකාරය එහි සිටි පුද්ගලයෙකු විසින් ජංගම දුරකතනයකින් රූගත කර මාධ්‍ය වෙත ලබා දී තිබිණි.
එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති විය.
පොලිස් ක්‍රියාමාර්ග
ජූලි 19 වන දා පොලිසිය නිවේදනය කළේ, සිද්ධියට අදාළ WP CAD 8850 දරන ඩිෆෙන්ඩර් රථය මහරගම පොලිස් වසමේ ඇල්හේන පාරේ පිහිටි නිවසක තිබියදී මහරගම පොලිසිය විසින් සිය භාරයට ගනු ලැබූ බවය.
ඊට අමතරව, එම රථයේ රියැදුරු සහ රථයේ ගමන් කළ තවත් අයෙකු ද අපරාධ කොට්ඨාසයට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වූයේ, හේවගේ ගාමිණී විජේසූරිය (රියැදුරු) සහ ගීත් ප්‍රසන්න බණ්ඩාර යන දෙදෙනාය.
ඊට පසු දින එනම් ජූලි 20 වන දා මාකස් පීටර් රුවන් ප්‍රසන්න නමැති පුද්ගලයෙකු අපරාධ කොට්ඨාසයට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනිණි.
මීට අමතරව සඳුදා (ජූලි 22) දිනයේ අදාළ ප්‍රාඩෝ රථයේ හිමිකරු සහ ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු ඇතුළු සිව් දෙනෙක් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූහ.
එසේ භාර වූ සැකකරුවන් මෙසේය.
දිනේෂ් අමරතුංග (ප්‍රාඩෝ රථයේ හිමිකරු)
සම්පත් චන්දුල අමරතුංග (ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු)
දිලුම් කුමාර ඊරියගම
සනත් අකලංක
පොලිසිය පැවසුවේ, එම සැකකරුවන් ජූලි 29 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බවය.
"පාදඩ පන්තියේ දේශපාලකයින්"
දේශපාලනඥයින් විසින් සිවිල් වැසියන්ට බලපෑම් එල්ල කළ අවස්ථා මීට පෙර ද ඕනෑ තරම් වාර්තා වී තිබේ. දේශපාලනඥයින්ගෙන් මහ ජනතාවගේ සිවිල් ජීවිතයට බලපෑම් එල්ල වන්නේ ඇයි?
"මේ තත්ත්වය ගොඩක් වැඩි වුණේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති සමග ඇති වුණ ධානවාදී ආකල්ප නිසා. 1948 නිදහස ලැබීමෙන් පස්සේ දේශපාලනයට පිවිසුණේ යටත් විජිත පාලන සමයේ යම් යහපත් සමාජ පසුබිමක් තිබුණු පුද්ගලයින් පිරිසක්. දේශපාලනඥයින් විතරක් නෙවෙයි, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු ඕනෑ ම ක්ෂේත්‍රයකට පිවිසුණු අය යම් යහපත් අරමුණක් පෙරදැරි කරගෙන තමයි ක්‍රියා කළේ. ඒ කාලේ දේශපාලනඥයින් තමන්ට අයත්ව තිබුණු ඉඩකඩම්, ධනය පවා සිවිල් ජනතාවගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කළා," රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දිමා විජේසුන්දර පැහැදිලි කළාය.
"ඒත් ධනවාදයත් එක්ක මතු වුණ පාදඩ පන්තියක් දේශපාලනයට ආවා. ඒගොල්ලෝ දේශපාලනයට ආවේ පටු පෞද්ගලික අරමුණු ඉෂ්ට කර ගන්න. ඔවුන් දේශපාලනය නිසා තමන්ට ලැබුණු බලය අවභාවිත කරල වීඅයිපී, වීවීඅයිපී කියලා අතිප්‍රබල ප්‍රභූන් විදිහට පෙනී සිටින්න පටන් ගත්තා. දැන් මේක සමාජ ඛේදවාචකයක් වෙලා තියෙනවා. ඉදිරියට මේ තත්ත්වය තවත් වැඩි වෙයි," ආචාර්ය චන්දිමා විජේසුන්දර අනතුරු ඇඟවීමක් ද කළාය.
"මානසික ලෙඩක්"
යමෙකු තමන් අන් අයට වඩා උසස් බව සිතමින් සමාජයේ සෙසු පුද්ගලයින්ට පීඩා කරන්නේ නම් එය මානසික රෝගී තත්ත්වයක් බව මනෝචිකිත්සකයින්ගේ අදහසයි.
කිරිබත්ගොඩ රෝහලේ සායනික මනෝ චිකිත්සක වෛද්‍ය එන්. කුමානායක බීබීසී සිංහල සේවයට පැවසුවේ, එවැනි පුද්ගලයින් සමාජයට ම හානිදායක බවය.
"සමහර පුද්ගලයින්ට ආවේණික වූ පෞරුෂ ලක්ෂණ ඔවුන්ට වගේ ම සමාජයට ම හානිකරයි. එවැනි පෞරුෂ ගති ලක්ෂණ මානසික ව්‍යාධියක් තරමට ම වැඩි වන අවස්ථා තිබෙනවා."
මනෝවිද්‍යාවට අනුව මෙවැනි ප්‍රධාන පෞරුෂ භින්නතා (personality disorders) දෙකක් හඳුනාගෙන තිබේ.
සමාජ විරෝධී පෞරුෂය (Antisocial personality disorder)
නාසිස්ටික් පෞරුෂය (Narcissistic personality disorder)
"යම් පුද්ගලයෙකු තමා ලොක්කෙකු හෝ විශේෂ පුද්ගලයෙකු යැයි සිතන, බලයට හා ජයග්‍රහණයට කෑදර, අනෙක් අයගේ මත නොඉවසන, තමාට විරුද්ධ වන හෝ මත ප්‍රකාශ කරන අය හතුරන් සේ දකින ආකාරයේ පෞරුෂය මනෝවිද්‍යාවේ හඳුන්වන්නේ නාසිස්ටික් පෞරුෂ භින්නතාව කියලයි," වෛද්‍ය එන්. කුමානායක පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, මෙවැනි මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයින් බලය තහවුරු කර ගැනීමේ අරමුණින් "සූක්ෂම ලෙස දේශපාලනයට පිවිසෙන" බවය.
"මොවුන් සැබවින් ම රෝගීන්. එහෙම නැත්නම් රෝගී ලක්ෂණ පෙන්නුම් කරන නොයෙකුත් පෞරුෂ භින්නතාවෙන් පෙළෙන අය. ඔවුන් දේශපාලනයට සූක්ෂම ලෙස ඇතුළු වෙනවා. මිනිසුන් රවටලා ඔවුන්ගේ කැමැත්ත ගන්නවා. මේ රැවටීමේ හැකියාවත් මේ රෝගී තත්ත්වයේ විශේෂත්වයක්."
"මෙවැනි රෝගීන් ඇත්තට ම ඉස්සරහට එන ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙන්න පුළුවන්. මෙවැනි පුද්ගලයින් නිසි ලෙස හඳුනාගැනීම ජනතාවගේ බුද්ධියට භාරයි."
(බීබීසී)