Language Switcher

V2025

කොළඹ ගංවතුරින් තොර, දකුණු ආසියාවේ පිරිසිදුම නගරය බවට පරිවර්ථනය කරනවා - ඇමති චම්පික රණවක

වසර 05 ක් තුළ කොළඹ නගරය ගංවතුරින් තොර, දකුණු ආසියාවේ මතුපිටින් මෙන්ම, අභ්‍යන්තරයෙන් පිරිසිදුම නගරය බවට පරිවර්ථනය කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකර සිටියේ අද(30) දින කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතියට අනුව ශාන්ත සෙබස්තියන් උතුරු ඇල මාර්ගයේ වැසි ජල පොම්පාගාරය සහ ජල අගුළු දොරටුව ඉදිකිරීමේ ආරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසුවේ ,

කොළඹ නගරයේ කුස්සියයි, වැසිකිලියයි අනතුරක

කොළඹ නගරය පිළිබඳව කතා කරන විට, කොළඹ ලස්සන කිරීම ගැන පසුගිය කාලයේ උනන්දුවෙන් සාකච්ඡා කළා. කැලි කසළින් තොර ගස් කොලන්, මල් වර්ග පිරිච්ච නගරයක්. අපිත් හුඟක් වෙලාවට අපේ ගෙවල්වල විසිත්ත කාමරය ලස්සනට තියා ගන්න උනන්දු වෙනවා. පාට ගාලා, මල්තියලා, පුටුසෙටි තියලා ලස්සනට ඡායාරූප එල්ලලා සාලේ ලස්සන කරන්න. නමුත් අපි හුඟක් දෙනෙක් කුස්සිය, වැසිකිලිය ලස්සනට තියා ගන්න උනන්දුව දක්වනවා අඩුයි. කොළඹ නගරයත් ඒ වගේ. කොළඹ නගරයේ කොච්චර ගොඩනැගිලි ඉදිකළත්, අහස් මාළිගා හැදුවත්, මාර්ග පද්ධති හැදුවත්, කොළඹ නගරයේ කුස්සියයි, වැසිකිලියයි තවමත් බොහොම බරපතල අනතුරුදායක තත්වයකයි තිබෙන්නේ.

 ගංවතුර උවදුර

එහි එක ප‍්‍රධාන පැත්තක් තමයි ගංවතුර උවදුර. අද ජාත්‍යන්තර මාධ්‍ය දිහා බැලූවහම අපි දැකපු ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් තමයි පැරිස් නගරයේ තේම්ස් ගඟ උතුරලා චිර ප‍්‍රසිද්ධ ලූවර් කෞතුකාගාරයත් එම ගංවතුරට යටවෙන්න ගිහින් විශාල ප්‍රශ්නයක් මේ මොහොතේ මතුවී තිබෙන බව. එම නගරයේ ප‍්‍රධාන වැඩසටහනක් තිබුණත් අද ඒ ප‍්‍රධාන යුරෝපීය නගරවලට පවා මෙම ප‍්‍රශ්නය ඇවිත් තිබෙනවා. ඇල මාර්ග අවහිර කිරීම, අවහිර වන සේ ගොඩනැගිලි ඉදිකිරීම වැනි අපේ වැරදි මිසක් අපට වලක්වන්න බැරි ගෝලීය උණුසුම වැඩිවීම වැනි කරුණු නිසා අපට බරපතල ගැටළුවලට මුහුණ දෙන්න සිදුවෙනවා. විශේෂයෙන්ම පසුගිය වසරේ දෙවතාවකුත්, කලින් අවුරුද්දේ අති විශාල වර්ෂාවන් ඇවිත් විශාල ගැටළුවලට මුහුණ දෙන්න සිදු වුණා.

භූගත ජලනල පද්ධතිය වගේම මලාපවහන පද්ධතියත් පැරණියි

අපේ කොළඹ නගරයේ භූගත ජලනල පද්ධතිය වසර 150 ක් පමණ පරණයි. මලාපවහන පද්ධතියත් ඒ වගේමයි. ගංවතුරෙන් ආරක්‍ෂාවෙන්න සාදා තිබෙන බැමිත් ඒ වගේම පරණයි. දැන් මේවා සියල්ලම සුරක්‍ෂිත කළේ නැතිනම් අපට ඉතාම අනතුරුදායක තත්වයකට මුහුණ දෙන්න සිදුවෙනවා. අපේ කොළඹ නගරයේ ජලනල පද්ධතිය කි.මි. 960 ක් තියෙනවා. ඒ ඇතුළුවන ජලයේන 40% ක්ම ජලනල පද්ධතිය දිරායෑම හේතුවෙන් අපතේ යනවා. එය තමයි ඇත්ත තත්වය. එම ජලනල පද්ධතියි ඉදිකිරීමේ කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා. එයිනුත් මේ කොළඹ නගරයේ සම්පූර්ණ ජලනල පද්ධතිය එම ව්‍යාපෘතියට අයිති වෙන්නේත් නැහැ. මලාපවාහන පද්ධතියත් ඒ වගේම පැරණියි. ඉතාම කණගාටු දායක විදිහට එම මලාපවහන පද්ධතිය වැසි ජලය බැසයන පද්ධතියයි අද දෙකම එකක් වෙලා තිබෙන්නේ. ඒ නිසා ඉතාම භයානක තත්වයක් බේරේ වැව ආශ‍්‍රිත ප‍්‍රදේශවල ඇතිවී තිබෙනවා. බේරේ වැව ආදිය පිරිසිදු කරන්න තිබෙන ප‍්‍රධාන බාධාව කොළඹ නගරයේ මලාපවහන පද්ධතිය වැසි ජලය යන පද්ධතියත් සමග එකට එකතු කර තිබීම. ඒ නිසා ඉතාම භයානක තත්වයක් එතන ඇති වී තිබෙනවා. දැන් එම මලාපවහන පද්ධතියෙත් යම් කිසි වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. නමුත් කොළඹ නගරය ගලවා ගැනීමට, පිරිසිදු කර ගැනීමට අවශ්‍ය නම් මේ මලාපවහන පද්ධතිය විධිමත්ව පවත්වාගෙන යාමට විධිමත් ආකාරයට සිදු කර අපජලය මුදාහැරීම සිදු කළ යුතුයි. නැතිනම් පිටින් මේ ගස් කොලන් වවලා, පාට ගාලා තිබුණට වැඩක් නැහැ.

යටිතල පහසුකම් ප‍්‍රකෘතිමත් කිරීම තුළින් දකුණු ආසියාවේ පිරිසිදුම නගරය දක්වා

ඒ වගේම ගංවතුර උවදුර සම්බන්ධයෙන් අපි පියවර කිහිපයක් ගන්නවා. අපි ස්තූතිවන්ත වෙනවා ලෝක බැංකුවට, කොළඹ නගරය පහත් බිම් ප‍්‍රදේශයක්. ඒ නිසාම ගංවතුර උවදුරට ලක්වෙන්න නියමිතයි, කැලණි ගං ව්‍යාපෘතිය නිසාත්, කැලණි ගගෙ තිබෙන තත්වය නිසා සහ කොළඹ නගරයට ඇද වැටෙන වැස්ස නිසා. මෙම ස්ථානයේ ඉදිකරනු ලබන පොම්පාගාරයට අමතරව තවත් පොම්පාගාරයක් කොලොන්නාව ප‍්‍රදේශයේ ඉදිකරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම භූගත නල පද්ධති කිහිපයක් ඉදිකරමින් තිබෙනවා. තවත් භූගත නලපද්ධති දෙකක් මට්ටක්කුලිය දෙසටත්, නිදහස් චතුරශ‍්‍රය දෙසිනුත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා එක කොන්ත‍්‍රාත්තුවක් හැටියට ප‍්‍රකාශ කරන්න.

රටේ සංවර්ධනය කරන්න ගියහම හැමෝම හිතනවා කඩිනම් මහවැලිය වගේ වැඩ සිදුවිය යුතුයි කියා. මහවැලිය ගැන අත්ත නොදන්න අය තමයි එහෙම හිතාගෙන ඉන්නේ. මහවැලිය සැලසුම් කළේ 1955 දී. කි‍්‍රයාත්මක කිරීම ආරම්භ කළේ 1968 දී. නිමවෙන්න නියමිත වෙලා තිබුණේ 1998 දී. නමුත් තවමත් කළුගඟ ව්‍යාපාරය, මොරගහකන්ද හැදෙමින් තිබෙනවා. ව්‍යාපෘතියක් කරන්න ගියහම ශක්‍යතා අධ්‍යන අවශ්‍යයි. පරිසර අධ්‍යන අවශ්‍යයි. සමාජ අධ්‍යන අවශ්‍යයි. ඒ වගේම සමාජ විරෝධතාවයන් සමහන් කර ගැනීම අවශ්‍යයි. දේශපාලන එකඟතාවය දිනා ගැනීම අවශ්‍යයි. ඒවා නගරවල වැඩකරද්දි ඒවා ඉතාම සංකීර්ණයි. එම අභියෝග ජය අරගෙන කටයුතු කිරීම ගැන අපේ ව්‍යාපෘතියට අපි ස්තූති වන්ත වෙනවා. ඒ වගේම ව්‍යාපෘතිය ආරම්භ කළ දවසේ සිට වැඩිම ප‍්‍රාග්ධන ප‍්‍රතිශතයක් වන 85% ක් පෙන්වා තිබෙන්නේ පසුගිය වසරේදී. ඒ ගැන අපි ස්තූතිවන්ත වෙනවා අභියෝග ජයගෙන කටයුතු කර ගැනීම ගැන. ඒ වගේම මෙම ව්‍යාපෘතිය ශක්තිමත්ව ඉතිරි කොටසත් නිම කරන්න අපි කටයුතු කරනවා. රජයක් හටියට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී කොළඹ නගරයේ ජලඅපවහනයත්, මලාපවහනයත්, ජලය සැපයීමත්, විදුලිය සැපයීම වැනි යටිතල පහසුකම් ප‍්‍රකෘති කරන්නත්, විශේෂයෙන්ම පැල්පත්වාසී ජනතාවගේ ජීවිත ගොඩනගන්නත් අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා.

එය කලින් නාගරික සංවර්ධන අධිකාරියට විශාල බරක් ලෙස තිබුණේ. දැන් රජයේ ශක්තියත් ලැබී, නාගරික සංවර්ධන අධිකාරියේ ශක්තියත් ලැබී එම ව්‍යාපෘතියත් දැන් තිරසර ව්‍යාපෘතියක් බවට පරිවර්තනය වී ඉදිරියට යමින් තිබෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා තව වසර 5 කින් පමණ මේ කොළඹ නගරය දකුණු ආසියාවේ පිරිසිදුම, ඒ වගේම මතුපිටින් පමණක් නොව අභ්‍යන්තරයෙන් ද ඉතාම විධිමත් නගරයක් බවට පරිවර්තනය වෙයි කියා. ඒ වගේම අපි අනතුරු ඇඟවීමක් කරන්න ඕනේ. ඉදිරි කාලයේදී පැරිසියේ උනා වගේ සිදුවීම් සිදුවෙන්න පුළුවන්. කැලණි ගංතීරයේ ඉදිරි ගමන ගැන අපේ අවධානය මදි. ඒ සඳහා අපේ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් කැලණි ගඟ වතුර පාලනය කිරීමටත්, ප‍්‍රවාහණය සඳහාත්, නාගරීකරණය සඳහාත් එහි වැඩි වතුර අනෙක් ප‍්‍රදේශවලට රැගෙන යාම සඳහා වූ බහුකාර්ය යොජනාවලියක් අපි විද්වතුන්ගේ ශක්තියෙන් හදාගෙන යමු. මහවැලියටත් කලින් මේ ගඟ තමයි මුලින් සිදු කළ යුතුව තිබුණේ.

මේ ගඟ පිළිබඳව අපේ අවධානය යොමු වූයේ නැහැ. මේ ගඟ අපේ වැසිකිලිය, කැසිකිලිය බවට පත් කර ගත්තා මිස මේ ගඟ අපේ ආර්ථික පුනර්ජීවනයේ ගඟ බවට අපි වර්තනය කර ගත්තේ නැහැ. එය එසේ සිදු කර ගත්තා නම් අද චීනයේ පර්ල් නදිය හා ඒ අවට ඇතිවී තිබෙන දියුණුව මේ ගඟ අවට ප‍්‍රදේශයේ ලඟ කර ගන්න තිබුණා. අපි පමාවෙලා හරි මේ ගඟ ගැන විධිමත් බහුකාරය යෝජනාවලියක් අපේ විද්වත් පිරිස සකස් කරගෙන යනවා. ඉදිරි කාලයේදී අප බලාපාරොත්තු වෙනවා මේ රටේ ප‍්‍රධානම සංවර්ධන කි‍්‍රියාවලිය බවට ජල පාලනය, ජල කළමනාකරණය පවත්වාගෙන යන අතරේ මේ ගඟ පිළිබඳ ව්‍යාපෘතියත් ඉදිරියට ගැනීමට බලාපොරොත්තු වනවා.