Language Switcher

V2025

අවිධිමත් අනුරාධපුරය විධිමත් කිරීමේ සැලැස්ම අප සතුයි- අනුරාධපුර මහ නගරසභා අපේක්ෂක ඉන්දික අරුණ කුමාර

ඉන්දික අරුණ කුමාර මහත්මයා, ඔබ මෙවර එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා ?

ඔව්

මැතිවරණයට ඉදිරිපත් වන කවුරුත් කියන්නෙ, තමන් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මැතිවරණයට එන බව. ඔබත් ඒ කතාවමද අපට කියන්නේ ?

වෙන්න පුළුවන්. නමුත් හැමෝම කියන කතා සහ කරන වැඩ අතර වෙනසක් තියනවා. ඔබ ඔය ප්‍රශ්නය අහන්නෙත් ඒ නිසයි. කතා විතරක් වෙලා වැඩ නැති අයට අපිව සමකරන්න එපා. අපි ආවේ වැඩ කරන්න. මෙතැන තියෙන්නේ අපේ නගරය හැදීමේ දේශපාලන බලය අපේක්ෂා කිරීමක්. එයයි සිදුවිය යුතුව තිබෙන්නෙ. වෙන ලොකු කතා කිසිවක් මේ මැතිවරණයට අදාළත් නෑ.

ජනතාවට දෙයක් කරන්න නෙවෙයිද ඔබ බලය ඉල්ලන්නේ?

පැහැදිළිවම කියන්න ඕන, මෙතනදි අල දෙන්නම්, ගෝවා දෙන්නම් කියලා තනි තනිව ජනතාව අන්දන තැනක අපි නැහැ. මේ මැතිවරණයෙන් ජනතාවට දෙන්න පුළුවන් දේ තමයි ඒ අදාළ බල ප්‍රදේශය විධිමත්ව සංවර්ධනය කිරීම. අන්න එතනයි ජනතාවට වැඩක් කළා වෙන්නෙ. මේ අනුරාධපුර මහ නගරසභා බල ප්‍රදේශයේ පමණක් ප්‍රශ්න රැසක් පවතිනවා. ඒ ප්‍රශ්න විසඳන්න විධිමත් වැඩ පිළිවෙලක් අවශ්‍යව තිබෙනවා. අන්න ඒ පදනමින් මේ මැතිවරණය හඳුනාගෙන තමයි මං මෙවර මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නෙ.

කළින් පාලනය කළ පාර්ශව මොකුත් කරාද නැද්ද කියන එකට උත්තරය පෙබරවාරි 10 ජනතාව කතිරයෙන් උත්තර දෙයි. මං කියන්නෙ බල ප්‍රදේශයේ ප්‍රශ්න විසඳිලා නෑ. ජනතාවට දෙයක් කරා වෙන්නේ ඒ ප්‍රශ්න විධිමත්ව විසඳුවා නම් පමණයි. මෙතනදි විධිමත්ව සිදුනොකිරීම යන්න මං අවධාරණය කරනවා. කරන්නම් වාලේ මොන මොනවා හරි කරලා තේරුමක් නෑ. අවශ්‍යතාව හඳුනාගෙන එය විධිමත්ව ඉටුකිරීමයි කළ යුතු වන්නෙ. අන්න ඒ දේ සම්බන්ධව නම් හිටපු පාලනය ගැන සතුටු වෙන්න බෑ.

දැනට පවතින පාලකයන්ගේ පවතින ප්‍රධාන අඩුපාඩුවක් වන්නේ වෙනස්වෙන නාගරික ජනතාව සඳහා පහසුකම් සමයිමට නොහැකිවීම. එම ජනතාවගේ අවශ්‍යතා හදුනා නොගැනීම. නගර සභාවකට යල් පැනගිය මතවාද කරපින්නාගෙන ඉදිරියට යන්න බැහැ. උදාහරණයකට නගරයේ වැඩිවෙන රථවාහන සංඛ්‍යාවට සාපේක්ෂව නගරයේ රථ ගාල නැහැ. නගරයේ වාහන තදබදය ඉතා වැඩියි. නගරයට ප්‍රවාහනය කෙරෙන බඩු බෑම සහ පැටවීම කෙරෙන්නේ ප්‍රධාන මාර්ගයෙදීමයි. එයින් වාහන තදබදය වැඩි වෙනවා.

ඒවගේම පසුගිය සමයේ වරිපනම් වංචාවන් සිදුවුණා. ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුවී නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ වර්තමාන පාලනයේ අඩුපාඩු සෙවීම නොවෙයි. අනාගතය උදෙසා කළ යුතු වැඩ කිරීමටයි.

දේශීය ණය අරමුදලෙන් ගත් ණයවලින් හදපු වැසිකිළි කඩ දමා කඩ ආකාරයට පාවිච්චි කරනවා. උදාහරණයකට ඩඩ්ලි සේනානායක ළමා ක්‍රීඩාංගනය අසල පොදු වැසිකිළිය කඩා දමා කඩ සඳහා ලබාදී තියෙනවා. ඒවගේම ගොඩ ගේ මාවතේ නිල නිවසක් කඩා දමා කඩ හදා තියෙනවා.

 මොනවද අපේක්ෂකතුමා කෙටි කාලීනව අනුරාධපුරයේ විසඳිය යුතුව තිබෙන ප්‍රශ්න හැටියට ඔබ හඳුනාගෙන තිබෙන්නේ?26815088 1925602967756026 3199359938365243073 n

ඔබට කියන්න අපිට ප්‍රථමයෙන්ම නගරයේ කාණු පද්ධතිය නිසි ලෙස සකස් කරන තැනින් පටන්ගන්න සිදුවෙළා තියනවා. එක වැස්සක් වැස්සත් නගරය යටවෙනවා. විධිමත්ව වැඩ නොකිරීමේ හානිය එතනම ඔප්පු වෙනවා. අනිත් ප්‍රශ්නය තමයි, කසළ ප්‍රශ්නය. කැළිකසල ඉවත්කිරීමේ ක්‍රමවේදයේ කිසිම විධිමත් බවක් නැහැ. කැලි කසළ ඉවත්කිරීමට අදාළව වාහන, හෝ පුහුණු සේවක මණ්ඩලයක් නැහැ. ඒවගේම මහා නගර සභාවේ සෞඛ්‍ය අංශය විධිමත් කිරීම කළ යුතුයි.

 අනුරාධපුරය තුළ පිරිසිඳු, අලංකාර නගරයක් බිහිකිරීමට නොහැකිවීමට අදාළව මේ ප්‍රශ්න තීරණාත්මකව බලපෑම් කර තිබෙනවා. ඒ නිසා මුලින්ම මෙතැන හදන්න ඕන. විශේෂයෙන්ම අනුරාධපුර මහ නගරසභාව හරිත නගරයක් කිරීම අපේ ප්‍රධාන අපේක්ෂාවක්.

දිගුකාලීනව අනුරාධපුර නගරය සංවර්ධනය කිරීමට අදාළව ඔබට සැලැස්මක් තිබෙනවාද?

ඔව්. ඉතා පැහැදිළි සැලැස්මක් අප සතුව තිබෙනවා. එය ගොඩනැගිළි පමණක් හෝ මාර්ග සංවර්ධන කටයුතු කිහිපයක් වෙත අවධානය යොමුකළ සැලැස්මක් නෙවෙයි. අපේ සැලැස්ම විධිමත් එකක්. සංවර්ධනය කියන්නෙ, ගොඩනැගිලි මහා මාර්ග හෝ විදුලි සැපයුම් කණු කිහිපයක් හෝ ජලනල කිහිපයක් ලබාදීම නෙවෙයි.

මෙතැන එයින් එහාට ගිය කතාවක් තියනවා. ජනතාවට ගොඩනැගිළි, මහා මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය අවශ්‍යයි, නමුත් ඊට සමගාමීව නගරය තුළ ජනතාවට පහසුවෙන් ජීවත් විය හැකි වටපිටාවක්, ජනතාව වෙත ආදායම් වැඩියෙන් ගලාඑන මාර්ගයක්, ජනතාවට සුරක්ෂිත සමාජ වටපිටාවක් නිර්මාණය කළ යුතු වෙනවා. අන්න ඒ ආකාරයේ විධිමත් සැලැස්මක් අපට තියනවා.

අපි කෙටියෙන් හෝ ඒ ගැනත් විස්තර කතා කරමු?

ඇත්තටම මං මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සම්ප්‍රදායික මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් අතට අරගෙන නෙවෙයි. මගේ ප්‍රවේශය තියෙන්නෙම ජනතාව සමඟ MOU එකක් ඇතිකර ගනිමින්.

අවබෝධතා ගිවිසුමක් ?

ඔව්. ජනතාව සමඟ "ජනතා අවබෝධතා ගිවිසුමක්" ඇතිකර ගැනීම තුළ තමයි මම ඇතුළු අපේ කණ්ඩායම මෙවර මැතිවරණයේ අනුරාධපුර මහ නගරසභාවේ බලය ඉල්ලන්නෙ.

මේ වගේ මැතිවරණයක සාමාන්‍යයෙන් නගරය හෝ අදාළ පළාත් පාලන බල ප්‍රදේශය සංවර්ධනය කිරීමට අදාළ සැලැස්ම පළමුව ජනතාවට ඉදිරිපත් කරන පසුබිමක් නෑ. නමුත් අපි ඒ සම්ප්‍රදායික යල් පැනගිය සහ ජනතාවට නංගි පෙන්වා අක්කා දෙන ප්‍රතිපත්තියෙන් වෙනස්ම ආරකින් යුතුව කටයුතු කිරීම සඳහා විධිමත් සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ තමයි අභිමානවත් ඓතිහාසික සහ ලෝක උරුමයක් වූ අනුරාධපුරය ප්‍රතාපවත් බලගතු සුහුරු පුරවරයක් බවට පත්කිරීම වෙනුවෙන් වන සැළැස්ම. එහි දක්වා තිබෙනවා අපේ පාලනයක් යටතේ අපි මොන විදිහටද අනුරාධපුරය හදන්නේ කියන කාරණය. එය ආවාට ගියාට සකස් කළ ලියවිල්ලක් නෙවෙයි, අනුරාධපුරය විධිමත් ලෙස සංවර්ධනය කරන්න අපේ මෙහෙවර මොන වගේද? ඒ වෙනුවෙන් අපට තිබෙන අරමුණ මොකක්ද? ඒ අරමුණු ඉටුකරලීමට අප සතු උපායමාර්ග මොනවාද? ඒ උපායමාර්ග දියත් කරන ක්‍රමවේදය මොකක්ද යන්න අප ඉතා පැහැදිළිව දක්වා තිබෙනවා.

 ඔබේ සැලැස්ම සාරාංශගත කරමුද?

 ඔව්, අනුරාධපුර පුජා නගරයේ ඓතිහාසික වැදගත්කම සහ පෞරාණික බව සුරැකෙන ආකාරයට නගරය දියුණු කිරීම. සංචාරක ව්‍යාපාරය හරහා නගරයේ ආදායම වැඩිකිරීම. මේ මත පදනම්ව තමයි අපි අනුරාධපුරය සංවර්ධනය කරන්නෙ.

ඒ වගේම මං කියන්නම් අපි කොහොමද ජනතාවට වැඩක් වෙන, දෙයක් ලැබෙන සහ ජනතා අපේක්ෂා ඉටුවන ආකාරයට නගරය සංවර්ධනය කරන්නෙ කියලා. දැන් බලන්න නාගරික ජනතාවට තිබෙන ප්‍රශනයක් තමයි, වරිපනම් බදු වැඩිවීම. නමුත් බදු වැඩියි, ඒ ක්‍රමවේදය අවුල් කියලා අපි නිකං ඉන්නෙ නෑ. අපි ජනතාවට කියනවා අපි කරන්න යන්නෙ මොකක්ද කියලත්. වරිපනම් බදු වැඩිකිරීමේදී ඒවා විවිධ කොටස්වලට වෙන් කළ යුතුයි. වාණිජ සහ නිවාසවලට වෙනස් වෙන ආකාරයට වරිපනම් බදු වැඩිවිය යුතුයි. අන්න එහෙමයි මේ ප්‍රශ්නය විසඳන්න ඕන.

මෙතෙක් කර තිබෙන්නේ ව්‍යපාරික බදු, ඉඩම් බදු වැඩිකර මුදල් උපයාගැනීම විතරයි. ජනතාවට විධිමත් ආකාරයට එය සකස් කිරීමයි අපේ අපේක්ෂාව. කිසිම දෙයක් ජනතාවට වසං කරලා නෑ. ජනතාවට සේවය කරනවා කියන්නෙ හංගලා ගැහිල්ල නෙවෙයි. ඒ වගේම බලය ගන්න පෙර එකක් කියලා බලය ගත්තට පස්සේ වෙන දෙයක් කිරීමත් නෙවෙයි.

ඒ ව‍ගේම තමයි උතුර දකුණ යා කරන ප්‍රවාහන සංධිස්ථානයක් කිරීම හරහා මේ නගරය දියුණු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එහිදී නගරයේ සමාජ ආර්ථික දියුණු කරන්න අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් තමයි අනුරාධපුර සුහුරු නගරයක් බවට පත්කළ යුතුයි යන තේමාව අපි ඉදිරිපත් කරන්නෙ.

ඒ වගේම මේ වෙනකොට නගර සභාවට පැමිණෙන පුරවැසියන්ට තමන්ට ඉටුකරගැනීමට බලාපොරොත්තු වෙන රාජකාරිය සම්බන්ධයෙන් තෘප්තිමත් සේවයක් සැපයෙන්නේ නැහැ. කාරුණික සේවාවක් සැපයිය හැකි පරිදි සේවා වැඩිදියුණු කළ යුතු වෙනවා. ඊට අමතරව නගර සභා සේවකයන්ගේ සේවය ඇගයීම සඳහා සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි.

ඒ වගේම කිවයුතු දෙයක් තමයි, අපේ නගරයේ තරුණ පරපුර මත් උවදුරේ ගොදුරු බවට පත්වී තියෙනවා. ඔවුන් ඉන් බේරාගැනීම සඳහා අනුරාධපුර පොලීසිය, සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සහ මහා නගර සභාව එක්ව වැඩසටහනක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.

මාර්ග විශාල වශයෙන් අබලන් වී තියෙනවා. ඒවා පිළිසකර කළ යුතුයි. නගරයේ ගංවතුර පාලනය කිරීම සඳහා රජය මැදිහත්වීමෙන් පහල මල්වතු ඔය ව්‍යාපෘතිය හරහා වැඩසටහනක් හදුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.

නගරයේ ජිවත්වන වැසියන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් ඉඩම් සඳහා ඔප්පු නොමැතිවීම. ඒවගේම ගෙවිය යුතු ඉඩම් බද්ද අධිකයි. අපි ඒ ප්‍රශ්න සියල්ල විසඳන්න බලාපොරොත්තු වෙනවා සහ ඒ වෙනුවෙන් ක්‍රියා කරන බවට සහතික වෙනවා.

ඒ වගේම නගරයේ ආරක්ෂාව සඳහා CCTV කැමරා පද්ධතියක් සවි කරන්න බලාපොරොත්තු වෙනවා.

දැනට නගරයට තියෙන විශාල අඩුපාඩුවක් කළා සංස්කෘතික කටයුතු පැවැත්විය හැකි ස්ථානයක් නොමැතිවීම. නවීන පහසුකම් සහිත රංග ශාලාවක් ඇතිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සංවර්ධන කටයුතු සඳහා ජනතාවගේ වරිපනම් යොදා නොගෙන විදේශ ආධාර හරහා මේ සංවර්ධන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

නගරයේ ජනතාව මුහුණ දෙන තවත් ප්‍රශනයක් වන්නේ නේවාසික ප්‍රශ්නය. තට්ටු නිවාස ව්‍යාපෘතියක් ඇති කිරීමේ අරමුණ තියෙනවා.

ඒවගේම නගරයේ මාර්ගවල, ගොඩනැගිලිවල කිසිදු විධිමත් බවක් නැහැ. විවිධ ආකාරයේ අවිධිමත් ඉදිකිරිම හැමතැනම. අපි නියමු ව්‍යාපෘතියක් ලෙස හදුනාගෙන එක කොටසක් අනුරාධපුර නගරයේ පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පය භාවිත කරමින් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. නගරයේ දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනයට අදාළ වැඩසටහනක් සක්‍රීව ක්‍රියාවට නගන අපේක්ෂාවත් අපට තියනවා.

ඒ වගේම කියන්න ඕන මේ ප්‍රදේශයේ සෑම ක්‍රීඩාවක්ම ගරා වැටුණු තත්ත්වයක තිබෙන්නෙ. ක්‍රීඩා සංගම් සමඟ කතා කර සෑම ක්‍රීඩාවක්ම වැඩිදියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. එක කොට්ඨාශයකට බැගින් අංග සම්පුර්ණ ක්‍රීඩා පිටියකට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරනවා.

අනුරාධපුර නගරයට පොසොන් කාලයට ලක්ෂ ගණනාවක් පැමිණෙනවා. නමුත් ඔවුන් පෞරාණික ස්ථාන නැරඹීමෙන් තොරව නගරය තුළ රඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන්ට විනෝදාස්වාදය ලබාදිය හැකි මාර්ග නැහැ.

මේ නගර සිමාවේ එක නිවසක් තුළ පවුල් කිහිපයක් ජීවත්වෙනවා. ඔවුන්ට නිවාස 150 බැගින්වූ තට්ටු නිවාස ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කර අඩු අදායම් ලාභී, රාජ්‍ය සේවකයන්ට ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

අනුරාධපුර නගරයටත් ඉතා ඉක්මණින් වකුගඩු රෝගය වැළඳීමේ අවධානමක් තියෙනවා. එය වැළක්වීම සඳහා පිරිපහදු ක්‍රමවේදයක් ඇතිකරන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම වතුරවල ප්‍රමිතිය පරික්ෂා කිරීම සඳහා ජල සම්පාදන මණ්ඩලය සමඟ එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒවගේම ජලය පිරි පහදු කර විකිණීමේ කටයුතු කරන ස්ථාන තිබෙනවා. එම ජලයේ තිබෙන ප්‍රම්තිය පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යොදාගෙන පරීක්ෂා කරනවා.

මේ වගේ සැළසුම් සහගත විධිමත් ආකාරයටයි අපි අනුරාධපුරය හදන්න යන්නෙ. අපි විශ්වාස කරනවා ජනතාව අපේ හඬට කන්දෙයි කියලා.