Language Switcher

V2025

ලෝක කාන්තා දිනය : ඉතිහාසය , වර්ජන සහ සැමරුම් !

ජාත්‍යන්තර කාන්තා දිනය සම්බන්ධයෙන් මාධ්‍යවල පළ වූ තොරතුරු ඔබ දකින්නට ඇත. මිතුරන් ඒ පිළිබඳව කතා කරනු අසන්නට ඇත. ඒත් එය කුමක් සඳහා ද? කවදාට යෙදී තිබේ ද? එය සැමරීමක් ද? එසේ නැතහොත් විරෝධය පළ කිරීමක් ද? එමෙන්ම, ඊට සමානව ජාත්‍යන්තර පිරිමි දිනයක් තිබේ ද?

සියවසකට අධික කාලයක් පුරා ලොව පුරා වෙසෙන ජනතාව කාන්තාවන්ට සුවිශේෂී වූ දිනයක් ලෙස මාර්තු 08 වන දා සමරති.

1. එය ආරම්භ වූයේ කවදා ද?

එක්සත් ජාතීන්ගේ පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය දක්වා එය වර්ධනය වූයේ, කම්කරු ව්‍යාපාරය හරහාය.

එහි මූලාරම්භය ඇති වූයේ, 1908 වර්ෂයේදීය. ඒ, කාන්තාවන් 15,000ක් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙනි. ඉන් වසරකට පසු පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමෙරිකානු සමාජවාදී පක්ෂය විසිනි.

ක්ලාරා සෙට්කින්Image copyrightTOPICAL PRESS AGENCYImage captionක්ලාරා සෙට්කින්

මෙම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කළ යුතු යැයි අදහස් පළ කළේ ක්ලාරා සෙට්කින් නමැති කාන්තාවකි. ඇය මෙම අදහස යෝජනා කළේ, 1910දී කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදීය. එම සමුළුවට රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර ඇයගේ යෝජනාව ඒකමතිකව ස්ථිර විය.

එය පළමු වරට 1911 වසරේදී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල සැමරිණි. ජාත්‍යන්තර කාන්තා දිනයේ ශතක සැමරුම 2011 වසරේදී සැමරිණි. ඒ අනුව මේ වසරේදී සැමරෙන්නේ, 109 වන ජාත්‍යන්තර කාන්තා දිනයයි.

1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් එය සමරනු ලැබීමත් සමග ඊට නිල පිළිගැනීමක් ලැබිණි. එම දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංගමය යෙදූ පළමු තේමා පාඨය වූයේ, "අතීතය සමරමින්, අනාගතය සැලසුම් කරමින් සිටිමු," යන්නය. මෙවර එහි තේමාව වී ඇත්තේ, "සමාන ලොවක් යනු සක්‍රීය ලොවකි," යන්නය. එමගින් ඉල්ලා සිටින්නේ, ස්ත්‍රී පුරුෂ භේදයක් නැති සමාන ලෝකයක් වෙනුවෙන් ක්‍රියා කරන ලෙසය.

ජාත්‍යන්තර කාන්තා දිනය සමාජය, දේශපාලනය හා ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි කාන්තාවන් කොතරම් දුරට පැමිණ ඇත්දැයි සැමරීමේ දිනයක් බවට පත්ව ඇති අතර, දේශපාලන මූලයන් විසින් අඛණ්ඩ අසමානතා පිළිබඳව දැනුවත් කිරීම සඳහා වැඩ වර්ජන හා විරෝධතා සංවිධානය කරනු ලබයි.

2. කවදා ද?

එය පැවැත්වෙන්නේ මාර්තු 08 වන දාය. ජාත්‍යන්තර කාන්තා දිනයක් සම්බන්ධයෙන් ක්ලාරා කළ යෝජනාවේ නිශ්චිත දිනයක් සඳහන් නොවිණි. 1917 දී රුසියානු කාන්තාවන් "පාන් සහ සාමය" ඉල්ලා සිටි යුද්ධ කාලීන වැඩ වර්ජනයක් තෙක් එය විධිමත් නොකෙරිණ. කාන්තා වැඩ වර්ජනයට දින හතරක් ගත වන විට සාර්ට ඉවත් වීමට බල කෙරුණු අතර තාවකාලික රජය කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේය. එම වැඩවර්ජනය පැවති දිනය එකල රුසියාවේ භාවිත වූ ජූලියන් දින දර්ශනයට අනුව පෙබරවාරි 23 වන දා විය. ග්‍රෙගරියන් දින දර්ශනයට අනුව එම දිනය මාර්තු 08 ලෙස සටහන් වේ.

3. ජාත්‍යන්තර පිරිමි දිනයක් තිබේ ද?

එවැනි දිනයක් තිබේ. ඒ නොවැම්බර් 19 වන දාය. එය 1990දී නම් කෙරුණු අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය පිළිගත්තේ නැත. එහෙත්, එක්සත් රාජධානිය ඇතුළු රටවල් 60ක ජනතාව එය සමරති. එම දිනයේදී අවධානය යොමු කෙරෙනුයේ, "පිරිමි පුද්ගලයින්ගේ සහ පිරිමි ළමුන්ගේ සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කිරීම, ලිංගික සබඳතා වර්ධනය කිරීම, ලිංගික සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සහ සාධනීය පුරුෂ ප්‍රතිරූපයන් විශේෂ කොට දැක්වීම," කෙරෙහිය. 2019 වසරේදී එහි තේමාව වූයේ, "පුරුෂයින් සහ පිරිමි ළමුන් වෙනුවෙන් වෙනසක් කිරීම,"ය.

4. කාන්තා දිනය ලොව පුරා සමරන්නේ කෙසේ ද?

රුසියාව ඇතුළු රටවල් රැසක ජාත්‍යන්තර කාන්තා දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ. මාර්තු 08 දිනය ආසන්න වෙද්දී එම රටවල මල් අලෙවිය දෙගුණයකින් පමණ ඉහළ යයි.

චීනයේ මාර්තු 08 වන දා බොහෝ කාන්තාවන්ට දින භාගයක නිවාඩු හිමිවෙයි. එරට රාජ්‍ය කවුන්සිලය එලෙස උපදෙස් දී තිබුණ ද, බොහෝ හාම්පුතුන් එම නිවාඩුව ලබා නොදේ.

ඉතාලියේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නේ, මිමෝසා මල් ප්‍රදානය කිරීමෙනි.Image copyrightGETTY IMAGESImage captionඉතාලියේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නේ, මිමෝසා මල් ප්‍රදානය කිරීමෙනි

ඉතාලියේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නේ, මිමෝසා මල් ප්‍රදානය කිරීමෙනි. මෙම සම්ප්‍රදායේ ආරම්භය කෙසේ සිදුවී ද යන්න පැහැදිලි නැත. එහෙත්, එය දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු රෝමයෙන් ඇරඹුණු බව විශ්වාස කෙරේ.

ඇමෙරිකාවේ මාර්තු මාසය සැලකෙන්නේ, කාන්තාවන්ගේ ඉතිහාස මාසය ලෙසය. ඇමෙරිකාවේ කාන්තාවන් ලැබූ ජයග්‍රහණ සම්බන්ධයෙන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපතිවරයා වාර්ෂික නිවේදනයක් නිකුත් කරයි.

5. මේ වසරේ සිදුවන්නේ කුමක් ද?

මේ වසරේ ජාත්‍යන්තර කාන්තා දින ව්‍යාපෘතියේ තේමාව ලෙස තෝරාගෙන ඇත්තේ, #EachForEqual යන්නය. එය සාමූහික පුද්ගලිකත්වය යන අදහසින් සකස් කර ගැනුණකි.

"අපි සියලු දෙනා සමස්තයේ කොටස්, අපේ පෞද්ගලික ක්‍රියා, සංවාද, හැසිරීම් සහ සිතිවිලි සමස්ත සමාජයට ම බලපානවා," ව්‍යාපෘතියේ සාමාජිකයින්ගේ අදහසයි.

"සාමූහිකව අපට වෙනසක් කරන්න පුළුවන්. සාමූහිකව අපිට ලිංගික සමානාත්මතාවයෙන් යුත් ලෝකයක් නිර්මාණය කරන්න පුළුවන්."

සියයක් කාන්තාවෝ යනු කුමක් ද?

බීබීසී සියයක් කාන්තාවෝ

බීබීසී සියයක් කාන්තාවෝ(BBC 100 Women) ව්‍යාපෘතිය මගින් සෑම වසරක ම ලොව පුරා බලපෑම් කළ හැකි කාන්තාවන් 100 දෙනෙකු නම් කෙරේ. ඔවුන් පිළිබඳව ලිපි, විශේෂාංග සහ සම්මුඛ සාකච්ඡා තුළින් කාන්තාවන්ට අවකාශයක් සැලසීම සිදුකෙරේ.

බීබීසී සියයක් කාන්තාවෝ වැඩසටහන සමග ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වන්න.

(බීබීසී )