"පසුගියදා ඇතිවූ කෲර ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට සිදුවූ අභාග්‍ය සම්පන්න ව්‍යසනය, අපි මේ වනවිට යථා තත්ත්වයට පත්කරගෙන යනවා. එහි මූලික ක්‍රියාවන් තමයි අද ඇරඹුනේ. එම සිද්ධිය සිදුවු අවස්ථාවේ පටන් අපේ නාවික හමුදාව දැඩි පරිශ්‍රමයකින් සහ කැපවීමකින් මෙම ස්ථානය යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කළා. වරාය අධිකාරියෙන් ලබාදුන් පර්චස් 06ක භූමියක, ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ ඉදිරි සංවර්ධන වැඩකටයුතු අද ආරම්භ කළා. වතිකානුවෙනුත් අද විශේෂ නියෝජිතයෙක් මෙහි පැමිණිලා, අප සමග කණගාටුව බෙදාහදා ගනිමින් ශ්‍රී ලාංකික ජන ජීවිත යථා තත්ත්වයට පත්කිරීමේ කාර්යයට සහභාගි වුණා "යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පැවසුවේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා කෲර ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියට පත්වූ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ අළුත්වැඩියා කටයුතු සහ ඉදිකිරීමට යෝජිත කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (23) සහභාගි වෙමිනි.
වරාය අධිකාරියෙන් ලබාදුන් පර්චස් 06 ක භූමියෙහි නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකිරීමට යෝජිත මෙම කෞතුකාගාරය, දිවා ආහාර සහ දානමය මධ්‍යස්ථානය සහ මුලුතැන් ගෙය යන අංගයන්ගෙන් සමන්විත වේ.
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්ගේ ආරාධනයක් මත මෙම අවස්ථාව නියෝජනය කිරීම සදහා වතිකානුවෙන් පැමිණි ෆලෝනි ෆර්ඩිනෑන්ඩු පියතුමන් අදහස් දක්වමින්, පසුගියදා ඇතිවූ ත්‍රස්ත ව්‍යසනය සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කළේය. පාප් වහන්සේගේ ආදරය සහ ආශිර්වාදය රැගෙන තමා මෙහි පැමිණි බවත්, මෙවැනි ත්‍රස්ත ක්‍රියාවන් නැවත ඇති නොවන ලෙස තමා ප්‍රාර්ථනය කරන බවත්, ජීවිත අහිමිවූවන්ගේ පවුල් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන අතර රෝගී වූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථන කරන බවද පැවසීය. මෙම අවස්ථාවට දේවස්ථානය බාර දේවගැති ජූඩ් ප්‍රනාන්දු පියතුමන්ද සහභාගි විය.

