අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙනවිත් ඇති විශ්වාසභංග යෝජනාව හමුවේ ජනාධිපති සිරිසේන මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතල දේශපාලන අර්බුදයකට පත්ව ඇති බවට newstube.lk සිදුකළ අනාවරණය මේ වන විට තහවුරු වෙමින් ඇත.
විශ්වාසවන්ත දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් අප එහිදී පෙන්වා දුන්නේ ජනාධිපති සිරිසේන ආරක්ෂක අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස සහ නීතිය හා සාමය අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා වීමේ සිට අතිශය තීරණාත්මක කරුණ හේතුවෙන් ශ්‍රිලනිප ය අර්බුදයට ගමන් කරන බවය.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බෝම්බ නිෂ්පාදනය කළ බව සදහන් ක්ලෝසස් සමාගමට තඹ නිකුත්කරන ලෙස ජනාධිපති කාර්‍යාලය සිය නිල ලිපි ශීර්ෂයක ලිපියක් යොමුකර තිබීම ඇතුළු කරුණු කිහිපයක් ද ශ්‍රිලනිප ය මුහුණ දෙන අර්බුදය උග්‍ර කරනු ඇති බවත් අප අනාවරණය කළා ඔබට මතක ඇත.
ඒ අනුව යමින් මේ වන විට පාස්කු ප්‍රහාරය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගී නොවීමට තීරණයක් ගෙන ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර සදහන් කරයි.
මෙම තේරීම් කාරක සභාව ප‍්‍රශ්නයට විසදුමක් ලෙස පත්කළ එකක් නොව ප‍්‍රශ්නය යටගැසීමේ උත්සාහයක් බව පෙනී යන නිසා මෙම තීරණය ගත් බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
එබැවින් පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 96 දෙනාගෙන් කිසිවෙකුත් මෙයට සහභාගී නොවන බව ඔහු වැඩිදුරටත් පවසා ඇති අතර ඒ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

