යුද හමුදාපති බොරු කියලා මාට්ටු ?

යුද හමුදාපති බොරු කියලා මාට්ටු ?

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල ඉස්ලාම් අන්තවාදීන් වනාතවිල්ලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කඳවුර වැටලීමේ සිද්ධියේ තොරතුරු ශ්‍රී ලංකා යුද හමුදාවට කල්තියා ලබා දුන්නේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගත හැකිව තිබු බවට යුද හමුදාපති මහේෂ් සේනානායක මාධ්‍ය හමුවේ කල ප්‍රකාශය බොරුවක් බව හෙළිවේ.

වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉස්ලාම් අන්තවාදීන්ගේ එම කඳවුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ජනවාරි 16 වැනිදා වටලා ඇති අතර ඊට පසුවදා  ජනවාරි 17 වැනිදා ඒ පිළිබඳ පරීක්ෂණ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් එහි ගොස් ඇත.
 
 ජනවාරි 17 වැනිදා යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ ලුතිනන් කර්නල් අනුරුද්ධ කරුණාරත්න මේජර් රණසිංහ ඇතුළු කණ්ඩායමක් පැමිණ එම කඳවුරෙන් අල්ලාගත් පුපුරන ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ පරීක්ෂාකර  කර එම ස්ථානය හා අල්ලාගත් භාණ්ඩ හඳුනාගැනීමක් සිදුකර ඇත.
 
එසේම අපගේ හමුදා ආරංචිමාර්ග දක්වන්නේ ඉස්ලාම් අන්තවාදීන්ගේ වනාතවිල්ලුව කඳවුර පිළිබඳ සන්නද්ධ බුද්ධි අංශ ඉන්පසු යුද හමුදාපතිවරයාට වාර්තාවක් පවා ලබාදී ඇති බවය.
 
පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතට යුද හමුදාපති මහේෂ් සේනානායක සාකච්ඡාවක් ලබාදෙමින් ප්‍රකාශකර ඇත්තේ "වනාතවිල්ලුව වෙඩි බෙහෙත් සොයාගැනීමේ සිද්ධියේ පරීක්ෂණ සිදුකල කණ්ඩායම් යුද හමුදාව සමඟ සහයෝගයෙන් කටයුතු කළා නම් අපිත් මේ සම්බන්ධයෙන් සොයාබලනවා. ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපිට එකතුවෙලා යන්න යන්න තිබුණු ගමනක් නැති වුනා. මෙම පරීක්ෂණ කණ්ඩායම් යුද හමුදාව සමඟ තොරතුරු හුවමාරු කරගැනීම, සම්බන්ධතා නොපැවැත්වීම ගැන යුද හමුදාපතිවරයා වශයෙන් මම කනගාටු වෙනවා" යනුවෙන්ය.
 
එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානී අබේසේකර ඇතුළු කණ්ඩායමක් ජනවාරි 17 දින වනාතවිල්ලුව සිද්ධිය වූ ස්ථානයට යාමේදී යුද හමුදා ලුතිනන් කර්නල් කරුණාරත්න ඇතුළු යුද හමුදා කණ්ඩායමක් ඔවුන් සමඟ එහි ගිය බවය.
 
මේ සම්බන්ධයෙන් යුද හමුදාවේ වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්නගෙන් කල විමසීමකදී ප්‍රකාශ කලේ ඔවුන්ගේ භට පිරිස් පොලිසියත් සමඟ එහි ගියත්, කිසි පරීක්ෂණයක් හමුදාව පාර්ශවයෙන් කර නැති බවය. ඒ ගැන පරීක්ෂණ කර ඇත්තේ පොලිසිය බවය. 
 
යුද හමුදාපතිවරයා මාධ්‍ය හමු පවත්වමින් සහ මාධ්‍ය සාකච්ඡා ලබාදෙමින් මේ දිනවල පෙනී සිටින ආකාරය පිළිබඳ  කරන ලද විමසීමකදී සිය නම සඳහන් නොකරන්නැයි ඉල්ලා සිටි යුද තොරතුරු විශ්ලේෂකයකු පැවසුවේ යුදහමුදාපතිවරයා ඔහුගේ ඊළඟ සේවා දිගුව ලබා ගැනීම සඳහා මෙවන් හැසිරීමක් පෙන්නුම් කරමින් සිටින බව තම මතය බවයි.
 
යුද හමුදාපති මහේෂ් සේනානායකට ජනාධිපති මීට පෙර ලබාදුන් සේවා දිගුව 2019 අගෝස්තු 18 දින අවසන් වෙයි.
 
(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න