සිරිසේන වැඩ අරඹයි : හිස්බුල්ලාගේ ස්ථාන මාරු අවලංගුයි !

සිරිසේන වැඩ අරඹයි : හිස්බුල්ලාගේ ස්ථාන මාරු අවලංගුයි !

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාගේ නියෝග මත නැගෙනහිර පළාතේ දමිළ පාසල්වලින් ස්ථානමාරු කර යැවූ සියළු මුස්ලිම් ගුරුවරුන්ගේ ස්ථානමාරු ජනාධිපති සිරිසේනගේ නියෝග මත අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ පියවර ගෙන ඇති බවත් මේ පිළිබඳ ලිඛිත නියෝගය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මන්සූර් විසින් මාරුවීම් සිදුකළ විදුහල්වල විදුහල්පතිවරුන් වෙත (24)වනදා යොමු කර ඇති අතර මාරුවීම් ලද ගුරුවරුන් පෙර සේවය පාසල්වල රාජකාරී සදහා අනිවාර්යෙන්ම වාර්තා කළයුතු බවටද එහිදී නියෝග කර ඇති බවත් වාර්තා වෙයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සිය බලතල අනිසි ලෙස ක්‍රියාත්මක කරමින් නැගෙනහිර පළාතේ දෙමළ පාසල්වල ඉගැන්වීම් කරන මුස්ලිම් ගුරුවරුන් මුස්ලිම් පාසල් වෙත මාරුකරමින් සිටින බවට හා කාත්තාන්කුඩියේ මුස්ලිම් සිසුන් වෙනුවෙන් වෙනම අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට සැරසෙන බවට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් ජනාධිපති සිරිසේන වෙත පැමිණිලි කර තිබිණි.

මේ පිළිබඳ අවධානය යොමුකර ඇති ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරයා දුරකතන මගින් සම්බන්ධ කර ගනිමින් එකී ස්ථාන මාරු වහාම අවලංගු කරන ලෙසට නියෝග කොට තිබිණි.

මේ අනුව නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් මෙකී මාරුකිරීම් සියල්ල අවලංගු කර ඇති අතර ඒ පිළිබඳ ලිපි සියළු විදුහල්පතිවරුන් වෙත යවා තිබේ.

ඒ අනුව මාරු වීම් ලද මෙම ගුරුවරුන් පෙර රාජකාරී කළ විදුහල්වල රාජකාරී සඳහා වාර්තා නොකළහොත් වැටුප් රහිත නිවාඩු ලබාදෙන ලෙසටද විදුහලතිවරුන්ට උපදෙස් දී තිබේ.

මේ අතර හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා විසින් මුස්ලිම් පාසල් 30ක් එක්කරමින් කාත්තාන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමේ උත්සහායද ව්‍යර්ථ වී ඇතැයි වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න