Language Switcher

V2025

තබ්බෝව ගොවි ජනපදයේ අලි මිනිස් ගැටුමක අවධානමක්

පවතින අධික වර්ෂාවත් සමග තබ්බෝව ගොවි ජනපදයට අයත් තේවනුවර ඇතුළු ගම්මාන රැසකට මේ දිනවල කඩා වදින වල් අලි රංචුවක් සිය වගා බිම් මුළුමනින්ම විනාශ කර දමන බවට ගොවි ජනතාව මැසිවිලි නගති.

 1967 ඉඳලා පදිංචිය

 1967 වර්ෂයේ ආරම්භ කරන ලද පුත්තලම තබ්බෝව ගොවිජන පදයේ ජීවත් වන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇත්තේ කෘෂිකර්මාන්තයයි. මීට අමතරව මෙම ජනපදයේ වැසියන් පොල් සහ අතුරුභෝග වගාවන් සිදුකරන අතර, තවත් සෙසු පිරිසක් ධීවර කර්මාන්තය වැනි සුළු රැකියාවලද යෙදෙන බව කියයි.

 මෙම ගොවි ජනපදයේ ආරම්භයේ සිටම මේ දක්වා මෙහි ජීවත් වන වැසියන් මුහුණදී ඇති ප්‍රධානතම ගැටළුව බවට පත්ව ඇත්තේ වන අලියන් ගම්වැදීමයි. මෙම වල් අලි ගම් වැදීම හේතුවෙන් තේවනුවර ගොවි ගම්මානයේ වැසියන් බහුලව මෙම අලි මිනිස් ගැටුමට මුහුණ දෙන බව ඔවුන් පවසති.

දරාගන්න බැරි පීඩාවක්

ඒ අනුව තබ්බෝව ගොවි ජනපදයට අයත් නෙල්ලි වැව, මහකොන්වැව, පාවට්ටාමඩුව, තේවනුවර, ප්‍රදීපාගම, මයිලන්කුලම යන ගම්මාන රැසක ජනතාව වන අලියන් ගම්වැදීම හේතුවෙන් මහත් පීඩාවට පත්ව ඇති බව කියති.

 තේවනුවර ගොවි ගම්මානයේ ගොවි පවුල් 320ක් ජීවත් වන අතර, මොවුන් මේ දිනවල සම්පූර්ණයෙන්ම ගොවිතැන් කටයුතු වලින් බැහැරව ඇත්තේ තබ්බෝව ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන නිසාවෙනි. නමුත් තමන් අතුරු වගාවක් ලෙස සිදුකරගෙන යනු ලබන පොල් වගාවට වල් අලි නිරන්තරයෙන් විනකටින බවට ඔවුන් මැසිවිලි නගති.

 ඒ අනුව මේ වන විට පොල් අක්කර 20ක් පමණ දිනෙන් දින විනාශයට ලක් කරන මේ වල් අලියන් ඊට අමතරව අඹ,කොස්,කෙසල් වැනි ශාක කොටස් ආහාරයට ගැනීමටද දැඩි ප්‍රියතාවයක් දක්වන බව කියයි.

 අලි රංචුව 50ට වැඩියි

විල්පත්තුව ජාතික වනෝද්‍යානය සහ තබ්බෝව අභය භූමිය ඔස්සේ පැමිණෙන මෙම වල් අලි රංචුවේ වල් අලීන් 50න් යුත් කණ්ඩායමක් සිටින බව ජනතාව පෙන්වා දෙති.

08මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී තේවනුවර ගොවි ගම්මානයේ පදිංචි එස්.එම්.කපුරු බංඩා මහතා පවසා සිටියේ මෙවැන්නකි.

''කාට කීවත් අපිට කිසිම සහනයක් නෑ- එස්.එම්.කපුරු බංඩා මහතා''

“අපිට අලි ගැටළුව උග්‍රව තියෙනවා. කිසිම ඉඩමක ගොවිතැනක් බතක් කරගෙන ජීවත් වෙන තත්ත්වයක් අපිට නෑ. මේ සම්බන්ධව බලධාරින්ට කොච්චර කීවත් අපිට කිසිම සහනයක් නෑ. මේකට ප්‍රධානම හේතුව තමයි. රක්ෂිත කියලා ගම්මැද්දෙ කෑලි කෑලි තැන් තැන් වල ඉතුරු කරලා අපිට ගොවිතැන් කරන්න දෙන්නෙ නෑ. එක හේතුවක් අනික තමයි තේවනුවර ගමේ අලි වැටක් ඉදිකරලා තියෙනවා. ඒ අලි වැට ආරක්ෂා කරන්න කියලා සිවිල් ආරක්ෂක නිළධාරි කොතෙක් දැම්මත් වැඩක් නෑ. හොර ජාවාරම් කාරයන්ට කැලේට ඇතුල් වෙන්න අලි වැට කඩලා ඉඩ දෙනවා. ඒ විතරක් නෙමෙයි දැන්නම් අපිට වස බොන්න වෙලා තියෙන්නෙ මොකද කිව්වොත් උකුලෙ, කරේ, කර ගැට දානකම් පණයනකම් වතුර ඇදලා ඇදලා පොල් ගහක් ලොකු මහත් කරනවා කියන්නෙ දරුවෙක් හදනවටත් වඩා අමාරු දෙයක් ඒ හදලා දවසින් මේ වල් අලි හැතිකරේ මෙහෙම කරද්දි ඇත්තටම දරා ගන්න බැහැ”

මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී තේවනුවර ගොවි ගම්මානයේ පදිංචි ඒ.එම්.ධර්මසේන මහතා පවසා සිටියේ මෙවැන්නකි.12

 බලධාරියෝ පඩිය ගන්නවා විතරයි- ඒ.එම්.ධර්මසේන මහතා

අපි මේ දවස් වල කරන්නෙ ගොඩ ගොවිතැන් අපිට මේ වැස්සත් එක්ක ගොවිතැන් බතක් කරන්න විදියක් නෑ හවස 4-5 වෙද්දි ගෙවල් වටේට අලි එනවා. අලි එන්න හේතුව තමයි පළමුවෙන්ම විදුලි වැට අද විදුලි වැටක් කියලා එකක් ගම වටේට ඇදලා තියෙනවා. හැබැයි කරන්ට් එක නැහැ. ඉතිං අලි එන එක අමුතුවෙන් කියන්න දෙයක්කැයි. මම දැන් මේ පොල් හිටවලා තියෙන්නෙ පස් වෙනි වතාවට සේරම පීදෙන කිට්ටුව තමයි හානි කරන්නෙ ඉතිං අලි කඩනවා අපි හිටවනවා අලින්ට ලැජ්ජත් නැහැ අපිට ලැජ්ජත් නැහැ. බළධාරියො කියලා පිරිසක් ඉන්නවා ඒ ඉන්නෙ දවසෙ පඩිය ගන්න විතරයි අපිට අලි ගහලා මැරුවත් උන්නෙමේ ඇහැක් ඇරලා බලන්නෙ. හැබැයි අලියෙකුට පොඩි තුවාලයක් වෙලා බලන්න එපායැයි ජීප් පුරවගෙන ඇවිල්ලා අලියා බලන්නත් කලින් තුවාල කරපු එකාව හොයන්නෙ.

 15මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී තේවනුවර ගොවි ගම්මානයේ පදිංචි ඒ.එම්.ඉසුරුපාල මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“අපිට හැමදාම මේ අලි කරදරේ තියෙනවා. මේක අදක ඊයෙක ඉදලා තියෙන එකක් නෙමෙයි අපි උපන් දා ඉදලා තියෙනවා අද වෙනකම් මේ ප්‍රශ්ණයට විසදුමක් දෙන්න කිසිම බළදාරියෙකුට බැරුව ගියා. ඒක තමයි අපිට තියෙන ගැටළුව අනෙක රටක යුද්ධය සදහටම නවත්වන්න පුලුන්නම් ඇයි මේ වල් අලි හිරිහැරය නවත්වන්න බැරි වුනේ. කියන මම අහන්න කැමතියි. හවස මළ හිර බහිද්දි අලි ටික ගෙවල් වටේට රජ කරනවා. අපි ටික ගේ ඇතුලට වෙලා කදුළු බොනවා මොකද එළියට බැහැලා එළවන්න හදන්න බැහැ අපිට කරදරයක් කෙරුවොත් කව්ද වන්දි ගෙවන්නෙ ගෑණු දරුවො මහ පාරේ යන්න වෙයි. මොකද රජයෙන් එයි කියලද”

 ප්‍රියංකර කළුපහන -පුත්තලම