Language Switcher

V2025

භූතානයේ රාජකීය පවුලේ පිරිසක් ලංකාවේ සංචාරයක

භූතානයේ සිවුවැනි රජුගේ බිසව වන ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව ඇතුළු රාජකීය පවුලේ දූත කණ්ඩායමක් පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති අතර ඔවුන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් සඳහා එක්වුහ.

එහිදී කොළඹ හුනුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර සහ ආචාර්ය කිරින්ඳේ අස්සජි හිමිවරුන් විසින් ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව සහ ජිග්මේ ජිග්ටෙන් වැන්ග්චැක් කුමරු ඇතුළු දූත කණ්ඩායම පිළිගත් අතර භූතාන රජ පවුලට, භූතාන වැසියන්ට සහ ශ්‍රී ලංකාවාසී සැමට ආශිර්වාද කරමින් බෝධි පූජාවක්ද පවත්වා ඇත.

එසේම 1976 වසරේ අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණි එවකට භූතානයේ ජිග්මෙ සින්ගි වැන්චාග් රජු විසින් මුල්ගල තබා ආරම්භ කරන ලද බෝධි බැම්ම විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ද එහිදී සිදුව ඇත.

මේ අවස්ථාව සඳහා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන්, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.