ඕනෑම රටක් මේ මෙහොතෙහි දී මුහුණ දෙන හදිසි අභියෝගය කොවිඩ් 19 වසංගතය පාලනය කර ගැනීම බවට විවාදයක් නැත. ඒ වෙනුවෙන් මූලික වගකීම පැවැරී ඇති රජයන් විසින් ගනු ලබන සෞඛ්‍ය ආරක්ෂන ක්‍රියා මාර්ගයන්ට සහය දීම සෑම පුරවැසියකුගේ ම වගකීම ය. එමෙන්ම මෙම සටනෙහි පෙරමුණු බලඇණිය වන්නේ දේශපාලඥයින් නොව සෞඛ්‍ය වෘත්තිකයින් ඇතුලු අනෙක් සියලු සහායක බලකායන් ය. ඒ සියලන්ට ම අපගේ ගෞරවාදරය නොඅඩුව හිමි විය යුතු ය. සෑම සැන්දැවකම පස්වරු 9.00ට මා ජීවත්වන මහල් නිවාසයෙහි සඳළු තලයට ගොස් එම පෙරමුණූ බලකාය වෙනුවෙන් අපේ ගෞරවය පුද කරමින් අප අත්පොලසන් දෙන්නේ ලොව පුරාම දිවි පරදු කොට සිය යුතුකම ඉටු කරන එවැනි පිරිමින් සහ ගැහැණුන් මතකයට නංවමිනි.

ඒ අතරම කොවිඩ් 19ට විරුද්ධ සටන පුවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පාගා දැමීමේ අවස්ථාවක් බවට පත් කර නොගැනීම ද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවල වගකීම වේ. මෙම කාරණ දෙකෙහි දීම යහපත් දේට සහය දකවන අතරම අයහපත් දේට විරුද්ධ වීමට පුරවැසියන් වන අපට අයිතියක් තිබේ.

ශ්‍රී ලංකාවෙහි මේ වන විට සිදුව ඇත්තේ කොවිඩ් මරණ හතරක් පමණ ය. වාර්තාගත අසාදිත පුද්ගලයින් ගණන 200කට අඩු ය. එසේ නමුත් අසාදිත පුද්ගලයින් හදුණා ගැනීම සඳහා මෙරට කොපමණ පරීක්ෂාවන් කර ඇත්ද යන්න රහසකි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඒ පිළිබඳව නිහඩ ය. කොවිඩ් 19 අසාදනය පැතිරයාම වැළැක්වීමේ ප්‍රධාන උපාය මාර්ගයන් අතර අසාදිත පුද්ගලයින් හදුණා ගැනීමත් ඔවුන් නිරෝධායනයට යොමු කිරීමත් ප්‍රමුඛ ය. ලෝක සෞඛ්‍ය සංවිධනයේ ප්‍රධානී ටෙඩ්රොස් “ පරික්ෂා කරන්න, පරීක්ෂා කරන්න, පරීක්ෂා කරන්න” යැයි කීවේ එනිසා ය.

එවැනි අත්‍යවශ්‍ය තොරතුරු අප නොදන්නා නමුත් දිනපතා මෙරට පුරවැසියන් සහ වාහන කොපමණ සංඛ්‍යාවක් ඇදිරි නීති කඩකිරීම නිසා අත්අඩංඟුවට ගන්නේ ද අපට එසැණ පුවත් ලෙස ලැබේ. එමගින් අපට පෙන්වන්නේ රාජ්‍යයේ මර්දනකාරී බලය යි. අප්‍රේල් 02 බ්‍රහස්පතින්දා වන විට එළෙස අත්අඩංඟුවට ගන්නා ලද පිරිස 9,466ක් විය. වාහන සංඛ්‍යාව 2000 පැන තිබුණි. මෙළෙස අත්අඩංඟුවට ගන්නා අයවලුන්ට පොලිස් ඇප ලබා නොදෙන බව නිවේදනය කර තිබූ බැවින් මෙම පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු ය. නැත්නම් රඳවා තැබිය යුතු ය. එවැනි ඉරණමකට මුහුණ දී සිටින දස දහසක් තරම් වන මෙම පිරිස ගැන තොරතුරක් මෙරට මුද්‍රිත ජනමාධ්‍යන්හි නැත.

මේ අතර වැඩබලන පොලිස්පතිවරයා කියා සිටින්නේ රජයේ නිලධාරින්ගේ කටයතුවලට අවහිර වන අන්දමින් සමාජ මාධ්‍ය ජාලාවන්හි අදහස් පළ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. දැනටමත් පසු දෙනෙකු එළෙස අත්අඩංඟුවට ගෙන තිබේ. නමුත් මෙම පියවර ගනු ලබන්නේ කුමණ නීතියක් යටතේදැයි හෝ අදහස් දැක්වීම් රජයේ නිලධාරීනට අවහිරයක් බවට තීරණය කරන්නේ කවර නිර්ණායක යටතේ දැයි එම නිවේදනයේ දක්වා නැත. දැනට පෙනන හැටියට මේ වනාහී කොවිඩ් 19 වංසගතය අපාලිතව පැතිර යන තත්වයක් මෙරට තුළ ඇතිවුවහොත් සමාජ ජාල අදහස් දැක්වීම් පුළුල් ලෙස වාරණය කිරීමේ මුල් පියවරකි.

මේ අතර වඩාත් ම බියකරු වර්ධනයක් වන්නේ කොවිඩ් 19 මුස්ලිම් ජනයාට වැළදෙන නැත්නම් ඔවුන් විසින් බෝ කරන රෝගයක් ලෙස දැක්වීමට ගෝඨාභය රාජපක්ෂ අයත් වන පොදුජන පෙරමුණේ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ අනුගාමිකයින් ගෙන යන ප්‍රචාරය යි. ගෝඨාභය රාජපක්ෂට ජන්දය දෙන්නේ නම් මහනුවරට මුස්ලිම් පාසැලක් ලබා දෙන බවට පොරොන්දු වූ වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරයකු රූපවාහිනී මාධ්‍ය සාකච්ජාවක දී කියා සිටියේ විසි දෙනෙකුගෙන් 19 දෙනෙකුම එක් ප්‍රජාවකට අයත්වන බවයි. නමුත් දැනට රෝගය වැළදී තිබෙන 148දෙනාගෙන් කී දෙනෙකු කුමණ ජනවර්ගයකට අයත් වන්නේදැයි ඔහු කීවේ නැත. එම රූපවාහිනී මාධ්‍ය වැඩටහන මෙහෙය වූ රාජපක්ෂවාදී මාධ්‍යවේදියා කියා සිටියේ “ගහන්න ඕනෑ” බවත් බේරෙන්න බැරි (එම ජන ප්‍රජාවම නම් කරමින්) සෙට් එකෙන් බවයි. ලේ බේරෙන ජාතිවාදය අලෙවි කිරීම සිය පැවැත්ම බවට පත් කරගෙන ඇති රාජපක්ෂවාදී රූපවාහිනී නාලිකා දැන් කොව්ඩ් 19 වසංගතය තත්වය ද උපයෝගී කර ගනිමින් තිබෙන්නේ මෙරට සුලුතර ප්‍රජාවන් මැඩලීමේ තවත් අවස්ථාවක් ලෙස ය.

මෙම වර්ගවාදී දේශපාලනය දැන් සමාජ ජාල හරහා රට ගිනිතැබෙන තරමට නපුරු ස්වභාවයක් ගෙන තිබේ. කොව්ඩ් 19 අසාදනය වී මිය යන පුද්ගලයින්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද නිර්දේශ කර ඇති පරිදි, මිහිදන් කිරීමට අවසර දෙන ලෙස මෙරට ප්‍රමුඛතම මුස්ලිම් දේශපාලන නායකයා වන රවුෆ් හකීම් විසින් කරන ලද ඉල්ලීම පදනම් කොට රාජපක්ෂවාදී ප්‍රචාරකයෝ රට ගිනි තියමින් සිටිති. ඒ කෙතෙක් ද යත් ගෝඨාභය රාජපක්ෂගේ සමාජ ජාල ප්‍රචාරකයකු, රවුෆ් හකීම් සහ ප්‍රභාකරන් අතට අත දෙන පැරණි ඡායාරූපයක් ලක්ෂ සංඛ්‍යාත ගණනාවකට බෙදා හැරියේ මියයන්නන්ගේ අවසන් කටයුතු පිළිබඳ විවාදයට පිළිතුරක් ලෙස ය. ගෝඨාභය රාපක්ෂගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ප්‍රසිද්ධ ආයාචනයක් කරමින් ‘ රවුෆ් හකීම් එන්නේ මොකාටදැයි” කියන විනාඩි දෙකක වීඩියෝ සකස් කර තමා වෙත එවන ලෙස ඉල්ලා සිටියේ ය.

මෙම සියලු ක්‍රියාකාරකම්හි එකතුව අපට කියන්නේ දැනුවත්වම කොවිඩ් 19 වසංගත තත්වය සිය පටු දේශපාලන අරමුණූ සඳහා යොදා ගැනීමට රාජපක්ෂවරු කටයුතු කරමින් සිටින බවයි.

මේ සියල්ලටම ඉහළින් දැන් සිදුවෙමින් පවතින නරකම තත්වය නම් රටෙහි නීතියේ නීතිය වන ව්‍යවස්ථාව නොසළකා කටයුතු කරන තැනකට ආණ්ඩුව පත්ව තිබීම යි.

ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය අසංග වැලිකල පෙන්වා දෙන්නේ රට පුරා පැනවෙන පොලිස් ඇදිරි නීතිය පිළිබඳ නෛතික පදනම පිළිබඳව තවමත් දැනුම් දී නොමැති බවයි. මෙය බරපතල ව්‍යවස්ථාමය ඇඟවුම් සහිත ගැටළුවක් බවට පත්වෙමින් ඇති බවත් ප්‍රකාශිත නෛතික පදනමක් නොමැතිව ක්‍රියාත්මක වන ඇදිරි නීතිය තුළ මිනිසුන්ගේ නිදහසේ ගමන් කිරීමේ නිදහස සඳහා බලහත්කාරයෙන් පනවා ඇති සීමාවන් විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් ය.

ආණ්ඩුවකට කිසිම තත්වයක් යටතේ හිතුවක්කාර ලෙස කටයුතු කළ නොහැකි ය. අත්තනේමතික රාජාණ්ඩු පෙරළා දමා මහජනයා විසින් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයන් පිහිටුවා ගත්තේ ඒ නිසා ය. එහි පදනම නීතියේ පාලනය යි. ඇදිරි නීකිය හෝ නගර පිටින්ම වසා දැමෙන ලොක් ඩවුන් කිරීම් කර ඇති සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එම පියවර ගනු ලැබෙන්නේ කුමන ව්‍යවස්ථානුකූල තත්වයක් යටතේද යන්න රටවැසියන්ට දන්වා තිබේ. බොහෝ රටවල කොවිඩ් 19 සමඟ සටන් කිරීම සඳහා ගනු ලැබූ ප්‍රථම පියවර වුයේ එයයි. අප දන්නා පරිදි ලබ්බට තුබූ අත පුහුලට තැබීම මහ කජ්ජක් නොවේ. අද කොවිඩ් 19 සමග සටන් කිරීමේ නාමයෙන් ව්‍යවස්ථාව පාගා දමන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට වෙනත් තත්වයක් යටතේ දී එයම නොකරනු ඇත් ද?

මෙරට මානව හිමිකම් කොමිසම විසින් ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ද දේශීය සහ අන්තර් ජාතික මානව හිමිකම් ප්‍රජාව විසින් ද හෙළා දැක ඇති මිරුසවිල් සමූහ ඝාතකයාට ජනාධිපති සමාව දී නිදහස් කිරීම අප සළකා බැලිය යුත්තේ ද මෙම අවනීතියේ පාලනයේ පසුබිම තුළ ය. කවරකුට හෝ ජනාධිපති සමාව දීමට පෙර අනුගමනය කළ යුතු කිසිදු ව්‍යවස්ථානුකූල පියවරක් ගෝඨාභය රාජපක්ෂ එහිදී අනුගමනය කළේ නැත.

ආණ්ඩුවේ අලුත්ම සැළැස්ම වනු ඇත්තේ පොදු අරමුදල් පාලනය ව්‍යවස්ථාදායකයෙන් පිටත ජනාධිපතිවරයාගේ තනි පාලනයට ගැනීම බව පෙනේ. සෑම ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදී රටකම අර්බුදකාරී කාලයක රට මෙහෙයවීම විධායකය සතු බව පිළිගන්නා නමුත් සෑම ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදයක්ම ස්ථිරවම කියා සිටින්නේ පොදු අරමුදල් පාලනය ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව විසින් හැසිරවිය යුතු බවයි. එම කොන්දේසිය කඩ කරන ආණ්ඩුවක් තවදුරටත් සුජාත ව්‍යවස්ථානුකූල ආණ්ඩුවක් වන්නේ නැත. ශ්‍රී ලංකාව අප්‍රේල් මාසය අවසානයේ දී මුහුණ දෙනු ඇති දෙවන ව්‍යසනය එයයි.

මෙම වර්ධනය වන ව්‍යවස්ථා විරෝධී පාලනය අද මෙරට සිදුවෙමින් ඇති යුද කරණය සමඟ සම්බන්ධ කළ විට ලැබෙන උත්තරය බිය ජනකය. ලොව කිසිදු රටක කොවිඩ් 19 වසංගතය පරාජය කිරීමෙහි නායකත්වය ශ්‍රී ලංකාවෙහි මෙන් යුද හමුදාපතිට පවරා නැත. එමෙන්ම ආරක්ෂක බුද්ධි අංශ ජාලාවන් කොවිඩ් 19 සටනට කැඳවා නැත. ජනාධිපතිවරයාගේ සිට ආරක්ෂක ලේකම් හරහා කොවිඩ් මෙහෙයුම් ප්‍රධානී තනතුර දක්වා හිටපු යුද හමුදා නිලධාරීන් විසින් දරන අන් රටක් ද නැත. පසුගිය කාලය පුරා වී මිලදී ගැනීමේ සිට රථවාහන හැසිරවීම දක්වා ද යුද හමුදාවන්ට පැවරූ පරිද්දෙන්ම දැන් අගමන විගමන ප්‍රධානියාගේ සිට අතිශ්‍ය වැදගත් රාජ්‍ය තනතුරු දුසිම් ගණනාවක් සදහා හිටපු යුද හමුදා නිලධාරීන් අතට පත් කර තිබේ. රාජ්‍ය පාලනය මෙතරම් යුදකරණයකට ලත් කරන ලද වෙනත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී රටක් ද අද ලෝකයේ නැත.

මේ සියල්ල මෙරට ප්‍රජාතන්ත්‍රවාදය මත වැටී ඇති සෙහොන් ළකුණු ය.

අප කොවිඩ් 19 පරාජය කිරීම අද දවසේ අප හැම මුහුණ දෙන අභියෝගය බව පිළිගනිමින් ඒ සදහා එක්ව ක්‍රියා කරන අතරම පශ්චාත් ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුම ය. ඒ කොව්ඩ් 19 වසංගතය පරාජය කර මිලිටරි පාලනයකට යෑමට අප කැමැති නැති නිසා ය.