පාස්කු ප්‍රහාරයට වසරක් ගතවිය. ඒ ශාපලත් ක්‍රියාවට වගකිව යුත්තෙක් අදටත් නැත. එහෙත් එල්ලකළ වුන් මුස්ලීම් ජාතිකයන් බැවින් මුස්ලීම් ප්‍රජාව විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයේ සිටින දේශපාලනඥයන්ට පාස්කු ප්‍රහාරයේ ඇඟිල්ල දිගුව ඇති බවක් පෙනෙන්නට ඇත. ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේත් ඊට වසරක් ගත වූ තැනත් දක්නට ඇත්තේ එයයි.

පාස්කු ප්‍රහාරය එල්ලවන්නේ 2019 තීරණාත්මක මැතිවරණ වසරක් අභිමුවය. එහෙත් එය අහඹුවක් ලෙස යමෙකුට පැවසිය හැකිය. තවත් අයෙකුට එය  සැලසුම් සහගතව, කාලානුරූපීව, නිසි වෙලාවට මහජනයා නොමඟ යැවීමේ චේතනාව මුල්කරගෙන, බල ලෝභීව එල්ල කළ ප්‍රහාරයක් බව පැවසිය හැකිය. නමුත් ප්‍රශ්නය ඇත්තේ පාස්කු ප්‍රහාරය අවස්ථාවේ සිට මේ දක්වා වන විට ආණ්ඩු මාරුවක් සිදුව තිබියදී පවා සැබෑ චුදිතයන් සොයා ගැනීමට නොහැකිව සමස්ථ සහෝදර ප්‍රජාවක් අපවාදයට සහ අවලාදයට පොදුවේ ලක්කිරීමය. මේ වන විට පෙනෙන්නට ඇත්තේ ආණ්ඩුවට සහයෝගය නොදෙන්නේ නම් කිසිඳු සාධාරණ විනිශ්චයක් නොමැතිව ඉහත තත්ත්වයට නිරාවරණය කර දැමීමය.

2009 වසරේ ත්‍රස්තවාදී යුද්ධය අවසන් කර 2010 ජනාධිපතිවරණයට යොමුවන්නේ පාලකයා මහරජා බවට පත්වී, දුටුගැමුණු බවට පත්වී, දේශයේ යාවජීව නායකයා ලෙසිනි. පසුව 2015 පාලක රෙජීමය පරාජයවීමෙන් පසුවත් අඛණ්ඩව ඔවුන් තේමාව කර ගත්තේ බෙදුම්වාදය සහ ජාතිවාදයයි.

00001

අප මඳක් ඒ  අතීතය සිහිපත් කරමු.2009 , 2010 කියන්නේ රටේ ජනතාව යුද්ධයෙන් හෙම්බත්ව සිටි කාලයකි. මෙම කාලවකවානුවේදී මිනිසුන් තමන්ට යුද්ධයෙන් තොර වටපිටාවක් නිර්මාණය වීම සැබෑ ආශිර්වාදයක් කොට සැලකු බව සැබෑවකි. විශේෂයෙන්ම රටේ බහුතරයක් වූ සිංහල ජනතාව මෙන්ම යුද්ධයෙන් බැට කෑ අතිමහත් වූ මුස්ලිම් ජනතාව මෙම යුද්ධය අවසන් වීම ආශිර්වාදයක් කොට සැලකු බවට වාදයක් නැත. ඉතින් ඒ අනුව එවකට පාලකයා 2010 ජනාධිපතිවරණයේදී ඉතිහාසගත වුණු විශිෂ්ට ජයක් ලබා ගන්නේ යුද්ධයේ ජයග්‍රහණයට පිංසිද්ධ වෙන්න යන්නත් වාදයක් නැත.

එහිදී ප්‍රධාන සටන් පාඨ කොටි ඩයස්පෝරාව, බෙදුම්වාදී ත්‍රස්තවාදය,  මානව හිමිකම්, විදුලි පුටුව, යුධ විරුවන් දඩයම, වූ අතර ජනාධිපතිවරණය ජයගත්තේ සත්‍ය හෝ අසත්‍ය ඒ සටන් පාඨ ජනතාව පිළිගත් නිසාය. 2015 ද ඒ සටන් පාඨ වෙනස් වන්නේ නැත. ප්‍රධානතම පාඨය යළි යළිත් යුද ජයග්‍රහණය විය. එසේම මානව හිමිකම් කොමිසම, විටෙක රණවිරු දඩයම, විදුලි පුටුව, බෙදුම්වාදී ත්‍රස්තවාදය යන පැරණි තේමා පාඨයන් ඔවුන්ගේ සටන් පාඨ බවට නැවතත් අවශ්‍ය අඩුවැඩිය ඇතුව පත්විය.

නමුත් 2015ට එය ප්‍රමාණවත් වූයේ නැත. ජනතාව යුද වාතාවරණයෙන් පසුව අවශ්‍ය ලෙස සැළකුවේ ප්‍රජාතන්ත්‍රවාදය , සංවර්ධනය , පාරදුෂ්‍ය රාජ්‍ය කරණය, සම්මුතිවාදී ආණ්ඩුකරණය, වැනි කරුණුය. යුද්ධය අවසන් කර වසර 6කට පසුව යුද වීරයා වූ එවකට පාලකයා සාමාන්‍ය අමාත්‍යවරයෙකුට ජනාධිපතිවරණයේදී පරාජයට පත්වන්නේ ඒ අනුවය. මෙය ශ්‍රී  ලාංකීය ජන මනස හඳුනාගැනීමට ප්‍රබල අවස්ථාවක් වූ බවට සැකයක් නොමැත. පරාජිතයන් පරාජයට හේතු සොයනවා වෙනුවට ඔවුන්ගේ ඉලක්කය වූයේ 2019/ 2020 පවත්වන ප්‍රධාන මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමය.

ඒ සඳහා තවදුරටත්  ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදය එහෙම නැත්නම් යුද ජයග්‍රහණය ප්‍රමාණවත් වූයේ නැත. 2014 වසරේ අග අත්හදා බලමින් තිබු නමුත් මුළුමනින් පෙරට ගැනීමට නොහැකිවූ  ඉස්ලාම් විරෝධය පෙරට ගන්නේ ඒ අනුවය. එසේත් නැත්නම් මුස්ලිම් මූලධර්මවාදය, එසේත් නැතිනම් ඉස්ලාම් වහාබිවාදය, ඊට ලෝකය පුරා මතුව තිබු විරුද්ධත්වයත් මෙයට දායක විය. කෙසේ වුවත් මේ ඉස්ලාම් විරෝධය පසුගිය වසර කිහිපය තුළ විවිධාකාර වූ සැලසුම් තුල ඉතා සූක්ෂමව ‍ක්‍රියාත්මක වූ බවක් පෙනෙන්නට තිබිණ.

0002

මෙහිදී ප්‍රධාන වශයෙන් බෞද්ධ ජනයා තුළ මුස්ලිම්, ඉස්ලාම් විරෝධයක් ඇති වෙන ආකාරයට ක්‍රියා කිරීමට විවිධ අය, විවිධ පුද්ගලයන්, විවිධ සංවිධානයන්, අලුතින් ඇති කරනු ලැබිණ. මේ සඳහා ප්‍රධාන වශයෙන් ඇතැම් චීවරධාරීන් භික්ෂුත්වයට කොහෙත්ම නොගැලපෙන ලෙස ඉතාම නින්දිත ආකාරයට  හා බෞද්ධ ආගමේ ඉගැන්වීම් වලට විරුද්ධ වන ආකාරයට මෛත්‍රිය, කරුණාව, උපේක්ඛාව, මුදිතාව, අමතක කර ඔවුන් ක්‍රෝධය, වෛරය, ඊරිසියාව පතුරුවන්න කටයුතු කළා මතක ඇත.

මෙම තත්ත්වයන් විවිධ අවස්ථාවන්වලදී මුස්ලිම් ජනතාවගේ ජීවිතවලට හා දේපළවලට හානිදායක අයුරින් යෙදවිණ. විවිධ ගම්මානවල මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් ප්‍රහාර  එල්ල කෙරින. මුස්ලිම් ජනතාව බියෙන් ජීවත් වෙන්න බලකෙරෙන තත්ත්වයක් ඇති විය. මුස්ලිම් ජනතාව බෞද්ධ ජනතාවගේ විරුද්ධවාදීන් හැටියට ප්‍රසිද්ධියේ හඳුන්වාදෙනු ලැබිණ. මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාර වර්ජනය කරන්න කටයුතු සිද්ධ විය. මුස්ලිම් ජනතාවගේ ආහාර ගැනීමේ ආකාරයේ සිට කාන්තාවන් විලි වසාගන්නා ඇඳුම් , මුස්ලිම් ඇවතුම් පැවතුම්, මුස්ලිම් නැමදුම් අවමානයට පත් සහ විවේචනයට ලක්විය. මේ හැම දෙයක්ම 2015 වූ පරාජයෙන් පසුව සැලසුම් සහගතව සිද්ධවූ බවක් පෙන්නුම් කෙරෙයි. එහෙත් ඒ මුස්ලිම් විරෝධයට කිසිදු හරයක් නොතිබුණු බව විචාර බුද්ධියක් ඇති ඕන අයෙකුට පැහැදිලි වෙයි.

0003

පාස්කු ප්‍රහාරය එල්ල වන්නේ ඒ පසුබිමේය. ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු මෙන්ම අනෙකුත් ප්‍රහාරකයන් සියලුම දෙනා මුස්ලිම්වරුන් ය. දැන් ශිෂ්ට සමාජයේ ප්‍රශ්නය මෙහි සියලුම වගකීම් මුස්ලිම්වරුන්ට පැවරිය හැකිද? යන්නය. නමුත් සිදුවුයේ කුමක්ද ? ප්‍රහාරය සිදුවී පැය විසිහතරක් යෑමට පෙර යම් යම් දේශපාලඥයන් පාර්ලිමේන්තුවේදී, මෙන්ම පිටතද මුස්ලිම් දේශපාලනඥයන්ට කෙලින්ම ඇඟිල්ල දික් කිරීමය. මෙහි ප්‍රධානම ඉලක්කය බවට පත් වන්නේ මුස්ලිම් ඡන්ද දායකයන්ට බලපෑමක් කල හැකි දේශපාලන චරිතය.

 අනෙකුත් මුස්ලිම් දේශපාලනඥයන්ට මෙම චෝදනාවන් එල්ල වුවත්,සැලසුම් සහගතව සංවිධානාත්මකව සියලුම මුස්ලිම් දේශපාලනඥයන් නොව මුස්ලිම් සමාජයේ ජනප්‍රිය චරිත  ඉලක්ක වූ බව පැහැදිලි නිරීක්ෂනයක්ය.

දැනුත් එය එසේමය. වෙනසක් නැත. එම සැලසුම්කරුවන්ගේ ඉලක්කයන් තවමත් සර්ව සම්පූර්ණ වී නොමැත. ඔවුන්ගේ ඉලක්කය ප්‍රධාන ඵලය වනු ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයයි. එම මහ මැතිවරණය දක්වා ඔවුන් මුස්ලිම් විරෝධී රැල්ල ඉදිරියට ගෙන යාවී යන උපකල්පනය වැරදි නැත්තේ මේ පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශපාලන දඩයම දිගටම සිදුවීම තාර්කික කරුණක් වන නිසාය. එය වඩාත් නිවැරදි උපකල්පනයක් වන්නේ කොවිඩ් 19 ගෝලීය වසංගතය තුල පවා මුස්ලිම් විරෝධය මතුකරමින්, අන්ත ජාතිවාදී සහ නින්දිත ආකාරයට මාධ්‍ය මෙහෙයුම් පවා දියත්වූ නිසාය.

එහෙත් ඇත්ත කොතනද යන්න මේ මොහොතේ පවා දැකීම දුෂ්කර නැත. වඳ පෙති, වඳ ඇඳුම්, වඳ කෑම අද ඉතිහාසයේ අපිව විකාර කල විගඩම් ප්‍රචාර බව තහවුරුව ඇත.   මැතිවරණ ජයගන්න ගෙනෙන තෝරාගත් මුස්ලීම් නායකයන් සහ ප්‍රජාව ඉලක්ක කළ "ගෙරි හමට තලන න්‍යාය" යොදා ගැනෙන්නේ අවසානයේ සිංහල ජනතාව විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාව රැවටීමට මිස අනෙකක් නිසා නොවන බවත් පැහැදිළිය. මුලාකර බලය ගත්තට පසුව සියල්ල යටපත්ය. නැවත මුස්ලීම් විරෝධය කවරයට වැටෙන්නේ ඕන වුන වෙලාවක වැඩේට ගන්නය.

එනිසා හෙටත් ඔවුන්ගේ මැතිවරණ ඉලක්කයට යාම සදහා එහි දී ඔවුන්ගේ ගෙරි හම බවට පත්ව ඇති ජනප්‍රිය මුස්ලිම් නායකයින්ට  තඩිබානු ඇත. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ සිංහල බෞද්ධයා තව තවත් මුලාකොට බලය ලබාගැනීමය, එතෙක් මුස්ලිම් විරෝධය  යන ගාථාව දොඩමින් නානලාව යකාට අන්දවා සිංහලයා ගොනාට අන්දනු ඇත. ඒ බොරුද හැරිලා බලන්න.

- සමීර් දෑසමන් -